එක්දින තරග පරාජයන් වැලක එල්ලී සිටින ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට සේන්දුවීමේ දැඩි අධිෂ්ඨානයකින් ඉන්දියාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට හෙට (10 දා) සහභාගි වේ. දිවා තරගයක් වන මෙය ධර්මශාලාහිදී පැවැත්වේ.
තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල අභියෝගයක් කර මත පැටවී තිබේ. නමුත් වත්මන් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාව සමග ප්‍රසාද ලකුණු 120 බැගින් සම තත්ත්වයේ ලබා සිටින ඉන්දියානුවන් පළමු තැන ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පහරදීමට තුරුම්පු සකස් කරමින් සිටියි.
මේ වසරේදී සහභාගි වූ එක්දින තරග 26 කදී ශ්‍රී ලංකාව ලබා ඇත්තේ ජයග්‍රහණ හතරක් පමණි. පිට පිටම එක්දින තරග 12 ක් පරාජය වී සිටින අතර එම පරාජයන් වැලට තිත තැබීමට හෙට තරගය ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් වී තිබේ. නමුත් තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න සහ ප්‍රහාරාත්මක පිතිකරුවන් වන කුසල් ජනිත් පෙරේරා මෙන්ම ධනුෂ්ක ගුණතිලකටද කණ්ඩායමේ ස්ථානය හිමිව තිබීමෙන් ඉන්දියානුවන්ට සටනක් දිය හැකි සංයුතියක් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්ව සිටියි.
නිත්‍ය නායක විරාට් කෝලි විවේක ගැන්වීම හේතුවෙන් රෝහිත් ෂර්මාට ඉන්දියානු කණ්ඩායම මෙහෙයවීමට සිදුවන අතර ශ්‍රී ලංකාව දෙසින් එය තරමක අස්වැසිල්ලක් වනු ඇත. නමුත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවැති එක්දින තරග ඉතිහාසයේදී දෙපිල මුණ ගැසුන අවස්ථා 155 කදී ශ්‍රී ලංකාව ජයග්‍රහණ 55 ක් ලබා ගන්නා අතරවාරයේ ඉන්දියානුවන් ජයග්‍රහණ 88 ක් උදුරාගෙන තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් පැවැති එක්දින තරගාවලිවලදී ශ්‍රී ලංකාවට ජය හිමිව ඇත්තේ දෙවරක් පමණි. 1993 දී සහ 1997 අදාළ තරගාවලි ජය ගෙන ඇති අතර ඉන් අනතුරුව පැවැති සියලුම එක්දින තරගාවලි ජය ඉන්දියානුවන් ඩැහැ ගැනීමට සමත් විය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් වරට පැවැති එක්දින තරග 20 න් ශ්‍රී ලංකාවට ජය හිමිව ඇත්තේ තරග 3 ක පමණි. ඒ අනුව අතීත වාර්තා ඉන්දියානුවන්ගේ මානසික ඒකාග්‍රතාව පිනවන්නක් වෙද්දී සත්කාරකත්වයේ වාසිය ඔවුන්ගේ ශක්තිය තිව්ර කරවන්නක් වී තිබේ.
‘අපි පළමු තරගය ජය ගෙන ඉදිරියට යන්න තමයි සැලසුම් කරන්නේ. හොඳ කණ්ඩායමක් ඉන්නවා. මම හිතනවා අපිට හොඳ සටනක් ලබාදිය හැකියි කියා.’ යනුවෙන් තිසර පෙරේරා තරගාවලිය පිළිබඳව අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා කණ්ඩායම
ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, කුසල් ජනිත් පෙරේරා, සචිත් පතිරණ, තිසර පෙරේරා (නායක), දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, චතුරංග ද සිල්වා, නුවන් ප්‍රදීප් සහ සධීර සමරවික්‍රම
ඉන්දියානු කණ්ඩායම
රෝහිත් ෂර්මා (නායක), ජස්ප්‍රිට් බුම්රා, ෂිකර් ධවාන්, මහේන්ද්‍ර සිං දෝනි, යුස්වෙන්ද්‍ර චහල්, ෂර්යස් ලියර්, කීඩර් ජදවේ, දිනේෂ් කාර්තික්, සිදාර්ත් කහුල්, කුල්දීප් යදව්, භුවනේෂ්වර් කුමාර්, මනීෂ් පාණ්ඩ්‍යා, අක්ෂාර් පටෙල්, හාර්දික් පාණ්ඩ්‍යා සහ අජින්කෙයා රහනේ