gossip

ටැටූ මුද්‍රණය කරන ප්‍රින්ටරය

ටැටූ කලාව එහෙමත් නැත්නම් පච්ච ගැසීම මෑත අතීතයේ පටන්ම සමාජයේ ප්‍රචලිත ශරීර සැරසුම් කලාවක්. මෙයට විවිධ මති මතාන්තර සමාජයේ තවමත් කතා බහට ලක් වන නමුත් ඒවාට ප්‍රිය කරන අයගේ ද ඒ වගේ ම අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. අසූ-අනූ ගණන්වලදී කොටි මුහුණක් බාහුවේත්, ‘අම්මා බුදු වේවා’ කියා පපුවේත් ගසා ගැනීම තමන්ගේ සවි ශක්තිය පෙන්වීමේ ක්‍රමවේදයක් ලෙස භාවිත වුණා. මේ නිසාම පච්ච ගැසීම චණ්ඩින්ට ම උරුම වූ දෙයක් බවට පත්ව තිබූ අතර තවමත් ඒ සඳහා කෙනකුගේ සිත යොමු නොවීමට එය ද හේතුවක් බවට පත්ව තිබෙනවා.

සෞඛ්‍යයමය අතින් ද වර්තමානය වන විට නිසි ආකාර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ ශරීරයට හිතකර තීන්ත බිහි වී තිබුණ ද කලක් පිළිකාකාරකයක් ලෙසත්, පච්ච කෙටීමේදී කටු මාරු නොකිරීම නිසා එය ඒඩ්ස් පතුරු වන මාධ්‍යයක් ලෙස ද ටැටූ ශිල්පය පත්ව තිබුණා. මේ වනවිටත් කොටුවේ මෙවන් ආකාරයේ අඩු මිල පච්ච ගැසීම් මෙන් ම ඉතා කුඩා මිල පරතරයක් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම අනතුරක් වෙනුවෙන් ස්වයංවම කැප කරනා පාසල් දරුවන්ගේ ද අඩුවක් දකින්නට ලැබෙන්නේ නැහැ.

පච්ච ගැසීමේදී ඉතා සියුම් කටුවකින් සම සිදුරු කොට, සම අභ්‍යන්තරයට තීන්ත එබ්බවීම සිදු කෙරෙනවා. මෙම තීන්ත සමේ නිතර අලුත් නොවන කොටසට යන නිසා සහ ඉක්මණින් ඉවත්ව නොයන තීන්ත වර්ගයක් වීම නිසා ජීවිත කාලය පුරාම සමේ නව සෛලවලට ද වර්ණකයක් ලෙසින් ක්‍රියා කරමින් කා වැදී පවතිනවා. මෙසේ සම සිදුරු කිරීමේදී රුධිර නාල සමඟ එය ගැටීම නිසා ඊට වඩාත් සෞඛ්‍යාරක්ෂිත කටුවක් භාවිත කළ යුතු වෙනවා. නැතහොත් වන්නේ අවසානයේ ජීවිත කාලයටම ඇඟේ රැඳෙන ටැටූ එකත් එක්කම සමාජ රෝගයකුත් ඔබට උරුම වීමයි.

මේ සඳහා භාවිත කරන තීන්ත ද ශරීරයට අහිතකර එකක් වුවහොත් ප්‍රදාහයන්ගෙන් ඇරඹී අවසානයේ චර්ම පිළිකාවක් බවට ම පත්වීමේ හැකියාවක් තිබෙනවා. ටැටූ ඉවත් කිරීමේදී සිදුවන්නේ ද සම සිදුරු කොට, නැවතත් තීන්ත රැඳවුණු ප්‍රදේශ යළි මතු කොට ඉවත් කරලීමයි. මේ සඳහා නූතනයේ ලේසර් තාක්ෂණය භාවිත කරමින් සමට හානි නොකොට තීන්ත පමණක් විසුරුවා ඉවත් කිරීම සිදු කෙරෙනවා.

නමුත් මේ ටැටූ ගැසීමත්, ඉවත් කිරීමත් ටිකක් කරදරකාරී කටයුත්තක් නිසා එකක් ගහනවා ද, නැද්ද යන්න කල් තියාම සිතන එක වැදගත්. අපි සාමාන්‍යයෙන් කොහොමටත් ජීවිතය ගැන අද වැරදි තීන්දු අරගෙන තව අවුරුදු දෙකකින් විතර ඒ ගැන කල්පනා කරමින් දුක් වෙන එකේ මේ වගේ ස්ථිර දෙයක් ගැන නම් දහවරක් විතර සිතන එකයි හොඳ.

තාක්ෂණය කියන්නේ නිතරම අපිට එදිනෙදා එන ප්‍රශ්නවලට විසඳුම් සොයන දෙයක්. අපිට ඉහත ඇතිවුණු ගැටලු එනම්, ටැටූ ගැසීමේදී හා ඉවත් කිරීමේදී ඇතිවන වේදනාකාරී බව, ටැටූ යනු ජීවිත කාලයේම පවතින ස්ථිර දෙයක් වීම, ශරීර සෞඛ්‍යයට ඇති විය හැකි අවදානම් සහ අත්හදා බැලීමට ආශා කරන අයට ඊට බියක් ඇතිවීම යන දේවල් සියල්ලටම පිළිතුරක් මේ වසරේ පැවැත්වුණු අන්තර්ජාතික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේදී හඳුන්වා දුන්නා.

කොරියාවේ ‘ස්කෙච්-ඔන්’ සමාගම විසින් එළිදැක්වූ ‘ප්‍රින්කර්’ ලෙස හැඳින්වුණු මේ උපකරණය මුද්‍රණ යන්ත්‍රය හෙවත් ‘ප්‍රින්ටර්’ සහ පච්ච ගසන උපකරණය හෙවත් ‘ඉන්කර්’ යන දෙවදන එක් කොට නම් කරන ලද්දක්. එහි පෙනුම රතු ගඩොල් දෙකක් පමණ එක මත එක තැබුවාක් මෙන් උස සහ පළලැති පෙට්ටියක්.

නමුත් තනි අතින් සෙළොස් හැවිරිදි දරුවකුට වුව භාවිත කළ හැකි තරම් බරින් අඩුයි. අපිට පරිගණකයෙන් කිසිවක් මුද්‍රණය කර ගැනීමට අවශ්‍ය වූ විට එය තිරය මත නිමවා ප්‍රින්ටරය අමතනවා. එවිට එය සැනෙකින් කොළයක මුද්‍රණය වී අපට ලැබෙනවා. මේ උපකරණයේත් ඊට වඩා තවත් වෙනසක් නැති තරම්.

ප්‍රියංකර උපකරණයක් වන ‘ප්‍රින්කර්’ සමඟ ස්මාර්ට් දුරකතනවල ස්ථාපනය කළ හැකි ඇප් එකක් ලැබෙනවා. ප්‍රථමයෙන් එය විවෘත කොට අපට අවශ්‍ය පින්තූරයක් එය මතට ලබා දීම හෝ අකුරින් ලිවීම, ඇඳීම සිදු කර එය ප්‍රින්කර් වෙත ලබාදිය යුතුයි. ඉන්පසු සාමාන්‍ය ප්‍රින්ටරයක හිස කොටස චලනය කරන්නාක් මෙන් වමේ සිට දකුණට අපේ අත මත ප්‍රින්කර් උපකරණය ගෙනයාම පමණයි කළ යුත්තේ. එවිට අත මත ටැටූ එක මුද්‍රණය වෙනවා.

මේ ආකාරයට තත්පර කිහිපයකින් ඔබේ සිතේ ඇති නිර්මාණය අත මතට පහසුවෙන්ම ලබා දෙන මේ උපකරණයෙන් කිසිදු වේදනාවක් ඇති වන්නේ නැහැ. චුවින්ගම් සමඟ ලැබෙන පච්චයක් අතේ අලවා ගන්නාක් මෙන් ඔබට ඉතාම පහසුවෙන් තාවකාලික පච්චයක් මේ සමඟ කොටා ගන්නට දැන් අවස්ථාව තිබෙනවා.

මෙය භාවිතයෙන් ජීවිත කාලයේම එකම පච්චයක් තබා ගන්නවා වෙනුවට තැනේ හැටියට පච්චයක් ගසාගෙන යහළුවන් අතරට යන්නට, ඇඳුමේ හැටියට ගැලපෙන පච්චයකින් උත්සවවලට සහභාගී වන්නට වගේ හොඳ වාසියකුත් මේ සමඟ ලැබෙන අතර හුදෙක් සබන්වලින් අතුල්ලා සෝදා හැරීමෙන් මෙය ඉවත් කරලිය හැකියි. සමට කිසිදු හානියක් නොකොට මුද්‍රණය වන නිසා ශරීරයට අහිතකර බවක් ද නොමැති අතර මෙම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වූ කුඩා දරුවන් පවා තම සිතැඟි පරිදි පච්චයක් මුද්‍රණය කරවා ගන්නා ආකාරය දකින්නට ලැබුණා.

මෙහි භාවිත කර ඇති තීන්ත වර්ගය රෙදිවල පින්තාරු කිරීම සඳහා ගන්නා සෞඛ්‍යාරක්ෂිත තීන්තයක් වන අතර රසදිය වැනි ධූලක අඩංගු වන්නේ ද නැහැ. රුපියල් තිස් දහසකට පමණ වෙළෙඳපොළට පැමිණීමට නියමිත මේ උපකරණය නිෙවසේ භාවිතයට මෙන් ම ටැටූ සේවාවන් පවත්වාගෙන යන ආයතනයන්ට වඩාත් ලාභ ලැබිය හැකි උපකරණයක් ලෙස හැඳින්විය හැකියි. මෙහි ඇති ඕනෑම තැනක ගෙනයා හැකි බව නිසා බස් එකේ, කෝච්චියේ පවා ප්‍රින්කර් එකක් අතැතිව “ටැටූ එකක් දහයයි” කියමින් ඇවිදින අයත් ඉදිරියේදී දකින්නට ලැබේවි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top