gossip

බල්ලන්ට රජ සැප

චිරාත් කාලයක සිට සුනඛයා මිනිසාට ළෙංගතු සත්ත්වයෙකි. ඒ හේතුවෙන් මිනිසුන් සුනඛයින් තමන්ගේ සමීපතම හිත මිත්‍රයා බවට පත් කර ගෙන ඇත. එපමණක් නොව මේ වන විට ලෝකයේ බොහෝ රටවල සුනඛයින්ට පමණක් විශේෂිත වූ ස්ථාන ඉදි කර තිබීමෙන් ද සුනඛයින්ට සමාජයේ හිමි ස්ථානය පෙන්වා දී තිබේ. ඒ අයුරින් දකුණු ආසියාවේ ඉදිකළ ප්‍රථම සුනඛ හෝටලය පිළිබඳ පුවතක් පසුගිය දා වාර්තා වී තිබුණි.

“Critterati“ යනුවෙන් නම් කර තිබෙන සුනඛයින්ට පමණක් ආවේණික වූ හෝටලය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ ගුරුග්‍රම් ප්‍රදේශයේ ය. මෙය දකුණු ආසියාවේ ප්‍රථම සුනඛ හෝටලය යනුවෙන්ද හදුන්වනු ලබයි. මිනිසුන්ගේ හෝටලයක් මෙන් මෙහි පැය 24 ක කාලය පුරා සුනඛයින්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම්, සුනඛයින්ට පමණක් විශේෂීත වූ ශරීර සම්භාහන සේවාව, සුවපහසු නිදන කාමර යනාදී සුඛෝපභෝගී අංග සියල්ලක්ම ඇත. විශේෂයෙන් ම මෙම හෝටලය ඉදි කර තිබෙන්නේ සුනඛයින්ගේ අයිතිකරුවන් දීර්ඝ කාලයක් නිවසින් බැහැර වී යන අවස්ථාවන්හිදී සුනඛයින් නවත්වාලීම සඳහා ය.

සුනඛ අයිතිකරුවකුට තමන්ගේ සුනඛයකු මෙම හෝටලයෙහි එක් රාත්‍රියක් නවතාලීම සඳහා ඩොලර් 70 (£52) ක් වැය වේ. මෙහි තිබෙන සුනඛ කාමරවල සුනඛයකුගේ කායික මානසික සුවතාව මනාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සෑම පහසුකමක් ම සහ සුනඛයින්ට අවට පරිසරය මැනවින් දැක බලා ගැනීම සඳහා බැල්කනි ද තිබේ.

තව ද මෙම හෝටලයෙහි සුනඛයින්ට පමණක් විශේෂිත වූ රූපලානව්‍යාගාරයක් තිබීම ද විශේෂත්වයකි. එහි දී නිවෙස්වලින් රැගෙන එන සුනඛයින්ගේ ලොම් නිසි ලෙස කපා විවිධ මෝස්තරයන්ට අනුව සුනඛයා සැකසීම සිදු කරයි. රටෙහි සංස්කෘතියට අනුගතව බොහෝ දෑ සිදු කරන ඉන්දියාවෙහි මේ අයුරින් සම්ප්‍රදායට අනුගත නොවී මෙවැනි හෝටලයක් ඉදි කිරීම සුවිශේෂී සිද්ධියක් වේ.

මෙම හෝටල් ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක වන දීපක් චවුලා සඳහන් කරන්නේ ලෝකයේ සංවර්ධිත රටවල සුනඛයින්ට හිමි වී ඇති පහසුකම් දකුණු ආසියාවේ ද ඇති කිරීම මෙවැනි හෝටලයක් ඉදි කිරීමේ පරමාර්ථය වී ඇති බව ය. 2002 වර්ෂයේ දී ඉන්දියාවේ සුනඛ ප්‍රමාණය මිලියන 2 ක් වු අතර 2016 වර්ෂයේ දී සුනඛ ප්‍රමාණය මිලියන 16 ක් විය. වසරින් වසර ඉන්දියාවේ සුනඛ සංඛ්‍යාව වර්ධනය වීමේ දී සුනඛයින්ටත් පොදු වු මෙවැනි ස්ථාන ඉදි කිරීම දකුණු ආසියාතික රටක් ලෙස කළ යුතු අනිවාර්යය කටයුත්තක් බව ඉන්දීය මාධ්‍ය තම ලේඛන දත්ත ඇසුරින් පෙන්වා දී තිබේ.

සුනඛයින් උදෑසන 7 පමණ අවදිකර නිසි කාලසටහනකට අනුව උදේ ආහාර, දහවල් ආහාර සහ රාත්‍රී ආහාර මෙන් ම ඔවුන්ට අවශ්‍ය ජලජ ක්‍රීඩාවන්ට ද යොමු කරනු ලබයි. මෙම හෝටලයෙහි විශාල පිහිනුම් තටාකයක් මෙන් ම සුනඛයින්ට කෙළිදෙළෙන් ගත කිරීම සඳහා සෙල්ලම් කාමරයක් ද ඉදි කර තිබෙන්නේ ද පෝෂණයට අමතරව ඔවුන්ගේ ශාරීරික සුවතාව රැක ගත යුතු නිසා ය.

“ඔහු කැමති තැඹිලි වතුරවලටයි, විටමින් මිශ්‍ර කරලා හදලා තියෙන වතුරවලටයි. ඔහුට චිකන් කෑමට ආසාවක් ආ විට ඒ බව මට හඟවනවා. ගොඩාක් වෙලාවට මම ඔහුට චිකන් කෑමට දෙනවා. ඔහු මෙම හෝටලයේ කාලය ගත කරන්නේ දරුවකු වගෙයි“ යනුවෙන් මෙම හෝටලයේ විධායක තනතුරක් දරන අයිෂිස් අරෝරා මෙම හෝටලයේ නවාතැන් ගන්නා තම සුනඛයා පිළිබඳව අදහස් ප්‍රකාශ කළේ ය.

සුෙඛා්පභෝගී අන්දමින් ඉහළ මිල ගණන්වලින් සමන්විතවන වන මෙම හෝටලය වසර ගණනාවක් පවත්වා ගැනීම සඳහා ඉන්දීය ජනතාවගේ මාසික ආදායම් තත්ත්වය ඉහළ මම්ටමකට පැවතිය යුතු බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලබයි.

අන්තර්ජාලය ඇසුරිණි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top