දැනුම

අතීත ග්‍රීක මිථ්‍යා කතාවල පටන් පැවත එන ‘රොබෝ සංකල්පය’

රොබෝ යන්ත්‍ර නූතන තාක්‌ෂණික වංශකතාවේ අග්‍රඵලයක්‌ ලෙසයි පිළිගැනෙන්නේ. මිනිසා ගෙන් වෙන් කරගත නොහැකි තරමේ රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය කිරීම තවත් දශක ගණනාවක්‌ ඈතින් පැවතුණත් අද වන විට ද බොහෝ කාර්යයන් සඳහා යොදාගත හැකි රොබෝවන් අප අතර පවතිනවා. රොබෝවන් සත්‍ය වශයෙන් ම ප්‍රායෝගික ව බිහි කළ මට්‌ටමට පැමිණෙන්නට පෙර පවා අපට මිනිසුන් සේ හැසිරෙන මේ තනි ව ම චලනය විය හැකි යන්ත්‍රවල පැවැත්ම පිළිබඳ ව පුරෝකථනය කිරීම අපහසු වූයේ නැහැ.

එහෙත් මේ රොබෝවන් පිළිබඳ සංකල්පය කෙතරම් ඈතක සිට අප අතර පැවත එන්නක්‌ දැයි ඔබට අනුමාන කළ හැකි ද? අවුරුදු පනහක්‌? සීයක්‌? පන් සීයක්‌? මෙයට පිළිතුර වසර දෙ දහසකටත් වැඩි කාලයක්‌ දක්‌වා ම දිව යනවා කිව හොත් සමහර විට ඔබ පුදුමයට පත් විය හැකියි.

තඹ දැවැන්තයා

රොබෝ යන්ත්‍රයක්‌ ලෙස සැලකිය හැකි දෙයක්‌ පිළිබඳ පළමු සටහන අපට දකින්නට ලැබෙන්නේ ක්‍රිස්‌තු පූර්ව හත්වැනි සියවසේ ජීවත් වූ හිසියඩ් (Hesiod) නම් ග්‍රීක කවියාගේ නිර්මාණ තුළයි. ග්‍රීක දේව කතාවල අන්තර්ගතයන් තම නිර්මාණවලට ග්‍රහණය කරගත් ඔහු තම කතාවල Talos නම් දැවැන්ත තඹ යෝධයකු ගැන පවසනවා. ටේලෝස්‌ගේ ආරම්භය ගැන විවිධ කතා තිබෙනවා.

එක්‌ අදහසකට අනුව ඔහු අතීතයේ ජීවත් වූ තඹ මිනිස්‌ වර්ගයක අවසන් මිනිසායි. අනෙක්‌ අදහසට අනුව ටේලොස්‌ ග්‍රීක දේව කතාවල එන Hephaestus නම් දෙවියන්ගේ නිර්මාණයක්‌. කම්මල්කරුවකු හා ඉංජිනේරුවකු ලෙස සැලකිය හැකි හිෆිස්‌ටස්‌ අපේ දේවකතාවල එන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට සමාන අයෙක්‌. ග්‍රීක දේව සභාවේ නායකයා වන සියුස්‌ගේ අණක්‌ අනුව ක්‍රීට්‌ දිවයින ආරක්‌ෂා කිරීම සඳහා නිර්මාණය කරන මේ ලෝහමය දැවැන්තයා දිනකට තුන් වරක්‌ දූපත වටා ගමන් කරන අතර එය ආක්‍රමණය කරන්නට පැමිණෙන නැව්වලට ගල්වලින් පහර දීමට කටයුතු කරනවා.

කතාවට අනුව අවසානයේ Medeia නමින් හැඳින්වෙන කුමාරිකාවක්‌ ටේලෝස්‌ ව මරා දැමීම සඳහා ඔහු නිදා සිටින අවස්‌ථාවක ඔහුගේ කකුලේ සවිකර තිබෙන ඇණයක්‌ ගලවා ඉවත් කරනවා. ටේලෝස්‌ගේ හිසේ සිට දෙපතුල දක්‌වා දිවෙන නහරයක පුරවා ඇති, ඊට පණ පොවන දිව්‍යමය ද්‍රdවණය මෙමඟින් ඉවතට ගලා යන අතර ටේලෝස්‌ ඉන් අක්‍රිය වී යනවා.

පැන්ඩෝරා කෘත්‍රිම බුද්ධියක්‌?

ග්‍රීක දේව කතාවල එන ජනප්‍රිය චරිතයක්‌ වන පැන්ඩෝරා ද කෘත්‍රිම බුද්ධියක්‌ සහිත රොබෝවරියක ලෙස සමහරු සලකනවා. හිසියඩ්ගේ Theogony වෘතාන්තයට අනුව මිනිසුන්, දෙවියන් ගෙන් ගින්දර සොරකම් කිරීමට එකට එක කිරීමක්‌ ලෙස දෙවිවරු පැන්ඩෝරා නමින් කාන්තාවක නිර්මාණය කොට එවකට පුරුෂයන් පමණක්‌ ජීවත් වූ පොළොවට එවනවා.

පැන්ඩෝරා ද නිර්මාණය කෙරෙන්නේ හිෆිස්‌කස්‌ විසිනුයි. දෙවියන්ගේ උපාය සාර්ථක කරමින් ඇය පොළොව මත ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය ආදි දේ වයිරසයක්‌ මෙන් පතුරුවා හරින අතර කාන්තා වර්ගයා බිහි ව ඇත්තේ ඇය ගෙන් බවයි ඒ ප්‍රවාදයට අනුව කියවෙන්නේ.

මීට අමතර ව හිෆිස්‌කස්‌ තම නිවසේ කටයුතු කිරීම සඳහා රන්වලින් ගෘහ සේවිකාවන් නිර්මාණය කර තිබූ බවට හෝමර්ගේ විස්‌තර කිරීම්වල කියෑවෙනවා. මේවා සතු ව දෙවියන්ට හිමි දැනුම තිබූ බවයි එහි වැඩිදුරටත් පැවසෙන්නේ. මේ විස්‌තර කිරීම් වඩා සමීප වන්නේ කෘත්‍රිම බුද්ධියකටයි.

පියාඹන පරෙවියා

කෙසේ වෙතත් පසුකාලීන ව දෙවියන් වහන්සේ විසින් නො ව මිනිසුන් විසින් නිර්මාණය කරන ලද රොබෝ යන්ත්‍රවලට සම කළ හැකි යන්ත්‍ර සූත්‍ර පිළිබඳව ද අපට අසන්න ලැබෙනවා. ක්‍රිස්‌තු පූර්ව 350 පමණ ජීවත් වූ පිලේටෝගේ මිතුරකු ලෙස සැලකෙන Archytas නම් ගණිතඥයා හා දේශපාලකයා සතු ව හුමාලයේ බලයෙන් ක්‍රියාත්මක වන ලී පරෙවියකු සිටි බවට තොරතුරු වාර්තා වනවා. ඔහු විසින් නිර්මාණය කරන ලදැයි සැලකෙන මේ පරෙවියාට පියාපත් සලා වාතයේ පියඹා යා හැකි බවයි කියවෙන්නේ.

අද බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ පරෙවියා තුළ ඇති කුටීරයක සම්පීඩිත වාතය ඇතුළු කර එය කුඩා සිදුරකින් පිට වීමට සලස්‌වා එය පා කර හැර යවන්නට ඇති බවයි. ඒ සමඟ අත්තටු ද සෙලවීමට යාන්ත්‍රණයක්‌ සකස්‌ කිරීමෙන් එය අත්තටු සලා යන බවට හැඟෙන්නට සලස්‌වන්නට ඇති බවයි ඔවුන්ගේ අදහස. කෙසේ වෙතත් මේ නිර්මාණය රොබෝ ඉතිහාසයේ මුල් යුගය සනිටුහන් කරන බව පොදුවේ පිළිගැනෙනවා.

අරාබියේ අසම සම නිර්මාණ

මිථ්‍යා කතාවලින් බැහැරට පියවර තැබීමේ දී සැබෑ ලෙස ම යාන්ත්‍රික නිර්මාණ ගැන අපට ලිත සාක්‌ෂs දකින්න ලැබෙන්නේ මීට ශතවර්ෂ හත අටකට පෙරයි. ක්‍රිස්‌තු පූර්ව දොළොස්‌ වැනි හා දහ තුන්වැනි සියවස්‌වල ජීවත් වූ අරාබි බහුශ්‍රැතයකු වූ Al-Jazari යාන්ත්‍රික නිපැයුම් පිළිබඳව නම් දැරූ අයෙක්‌.

ඔහු විසින් කෝප්පවලට වයින් වක්‌ කරන යාන්ත්‍රික සේවකයකු, ජල බලයෙන් ක්‍රියාත්මක වන ඔරලෝසුවක්‌, අත් සේදීමේ දී ස්‌වයංක්‍රීය ව සබන් හා තුවා සපයන යන්ත්‍රයක්‌ ආදි නිර්මාණ කරන ලද බව කියවෙනවා. ක්‍රිස්‌තු වර්ෂ 1206 දී පළ කරන ලද ‘Book of Knowledge of Ingenious Mechanical Devices’ නම් කෘතියට අනුව Al-Jazari එකල ජලය මත පා වන බෝට්‌ටුවක සිට වාදනය කරන යාන්ත්‍රික සංගීත කණ්‌ඩායමක්‌ නිර්මාණය කර තිබෙනවා.

බෙර වාදකයන් දෙදෙනකු, බටනළා වාදකයකු හා වීණා වයන්නකු මෙන් ම බෝට්‌ටුව පැද යන යාන්ත්‍රික ඔරුකරුවකු ගෙන් ද සමන්විත බවයි පැවසෙන්නේ. කැරකෙන බැරලයක්‌ බඳු බඳක සවි කළ කූඤ්ඤ, ලීවර මත වැදී ඒවා ක්‍රියාත්මක වීමෙන් සංගීතය පැනනැඟෙන ලෙස සකසා තිබූ මේ උපාංගයෙහි කූඤ්ඤ ගලවා වෙනස්‌ තැන්වල සවි කිරීමෙන් වෙනස්‌ මාදිලියේ සංගීත ඛණ්‌ඩ වාදනය කරවීමට හැකි ව තිබූ බවටයි සැලකෙන්නේ. ඒ නිසා ඔහුගේ මේ රොබෝ වාද්‍ය වෘන්දය ලොව ප්‍රථම ක්‍රමලේඛනය කළ හැකි පරිගණක අතරින් එකක්‌ ලෙස සමහරුන් තර්ක කරනවා.

ඩාවින්චිගේ යාන්ත්‍රික නයිට්‌වරයා

අතීත ලෝකයේ කැපී පෙනෙන ඉංජිනේරුවකු ලෙස වැජඹෙන ලියනාඩෝ ඩාවින්චි ද මේ ස්‌වයංක්‍රීය යන්ත්‍ර ගැන කතා කිරීමේ දී අමතක කළ නොහැකි ම චරිතයක්‌. කාල තුවක්‌කුවල සිට හෙලිකොප්ටර් දක්‌වා ම නිර්මාණ ඇතුළත් මේ අනාගතවාදියාගේ සටහන් පොත්, රෝබෝ යන්ත්‍රවල අතීතය ගැන හාරා අවුස්‌සන්නකු මුලින් ම බැලිය යුතු තැනක්‌.

සත්‍ය වශයෙන් ම ඔහුගේ මේ ඉතිරි ව ඇති සටහන් පොත්වල රොබෝ යන්ත්‍ර යෑයි හැඳින්විය හැකි නිර්මාණ තිබෙනවා. මේ අතරින් වඩාත් කැපී පෙනෙන නිර්මාණය වන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද ලෝහ සන්නාහයක්‌ පැළැඳි නයිට්‌වරයාගේ රූ සටහනයි. තන්තු, කප්පි හා දැති රෝදවලින් සම්බන්ධිත බාහිර යාන්ත්‍රික බලයකින් ක්‍රියාත්මක කළ හැකි මේ නයිට්‌වරයාට ඉඳගැනීම, නැඟී සිටීම, හිස හැරවීම, අත් බැඳගැනීම මෙන් ම තමන්ගේ මුහුණු ආවරණය එසවීම වැනි දේ ද කළ හැකි ව තිබූ බවයි පැවසෙන්නේ.

මේ නිර්මාණයේ සම්පූර්ණ විස්‌තර අදට ඉතිරි ව නැතත් 1495 මිලාන්හි ආදිපාදවරයාට සේවය කරමින් සිටි අවධියේ ඔහු විසින් සැබවින් ම මේ යාන්ත්‍රික නයිට්‌වරයා ගොඩනඟන්නට ඇති බවට සාක්‌ෂි තිබෙනවා. මෑතක දී NASA ආයතනයේ රොබෝ විශේෂඥවරයකු වන Mark Rosheim විසින් ඩාවින්චිගේ මේ ඉතිරි ව ඇති සටහන් උපකාරී කරගනිමින් මෙවැනි ක්‍රියාකාරීත්වයක්‌ ඇති රොබෝ යන්ත්‍රයක්‌ බිහි කරන්නට උත්සාහ කර ඇති අතර එය සාර්ථක වී තිබෙනවා. මින් පෙනී යන්නේ බොහෝ දුරට ඩාවින්චි පහළොස්‌ වැනි සියවසේ දී රොබෝ තාක්‌ෂණයට පුරෝගාමීත්වය දැරූ අයකු ලෙස සැලකිය හැකි බවයි.

ස්‌පාඤ්ඤයේ යාන්ත්‍රික පූජකයා

ක්‍රිස්‌තු පූර්ව දහ සය වැනි සියවසේ ස්‌පාඤ්ඤයේ නිර්මාණය වූ යාන්ත්‍රික පූජකයා අදටත් දැකගත හැකි ලෙස ඉතිරි ව තිබෙන, ඉතිහාසයේ යාන්ත්‍රික විශ්වකර්මයක්‌. එය නිර්මාණය වී ඇත්තේ ස්‌පාඤ්ඤයේ දෙවැනි පිලිප් රජු දෙවියන්ට ඔප්පු කළ භාරයක්‌ නිසා බවයි පැවසෙන්නේ. තම පුතා ඔත්පල වූ පසු ඔහු ව සුව කර දුන හොත් තමා ද ආශ්චර්යයක්‌ කරන බව ඔහු දිව්‍යලෝකයට පොරොන්දු වී තිබෙනවා.

කුමරු සුවපත් වූ පසු ඔහු එකල ජීවත් වූ Juanelo Turriano නම් නව නිර්මාණකරුට පවරා තිබෙන්නේ කාගේත් ගෞරව බුහුමානයට පත් වූ, ශාන්ත දියෝගෝ ලෙස පසු ව ශාන්ත වරයට එසවුණු පූජකවරයකු ව ජීවමාන වන අන්දමින් ප්‍රතිනිර්මාණය කරන ලෙසයි. 1560 ගණන්වල සම්පූර්ණ කර ඇති මේ නිර්මාණය අඟල් 15ක උසකින් යුත් ජපමාලයක්‌ අතින් ගත් පූජකයකු ලෙස දිස්‌ වනවා. දුනු බලයෙන් ක්‍රියාත්මක වන රෝද මතින් කොටුවක හැඩයට චලනය වන මේ යාන්ත්‍රික පූජකයාගේ කකුල් ද ඇවිදින්නා සේ එහෙ මෙහේ චලනය වනවා.

ඊට අමතර ව එය කිසියම් නිහඬ ජප කිරීමක නිරත වී සිටිනවාක්‌ මෙන් මුව චලනය කරන අතර හිස ද සැබෑ පූජකයකු මෙන් විටින් විට සොලවනවා. වම් අතින් විටින් විට පපුවට තට්‌ටු කරගන්නා මේ පූජකයා දකුණතින් විටින් විට කුරුසය ඔසවා එය සිඹින අන්දම ද දැකගත හැකියි. අදටත් ක්‍රියාත්මක වසර 450ක්‌ පැරැණි මේ යාන්ත්‍රික පූජකයා ඇමෙරිකාවේ වොෂින්ටන්හි Smithsonian කෞතුකාගාරයේ දැකිය හැකියි.

ස්‌විට්‌සර්ලන්තයේ යාන්ත්‍රික බෝනික්‌කන්

ඉහළ පැළැන්තියේ ඔරලෝසු නිර්මාණය කිරීම පිළිබඳ ව ප්‍රකට ව සිටි ස්‌විස්‌ නව නිර්මාණකරුවකු වූ Pierre Jaquet-Droz, දහ අට වැනි සියවසේ කැපී පෙනෙන සුවිශේෂීතම යාන්ත්‍රික නිර්මාණ තුන බිහි කළ පුද්ගලයා ලෙස අද ප්‍රකට ව සිටිනවා. 1768 දී ඔහු මුලින් ම, ‘ලේඛකයා’ ලෙස හඳුන්වන නිර්මාණය කළ අතර එමඟින් මේසයක්‌ ඉදිරිපස පුටුවක වාඩි වී සිටින අඩි දෙකක්‌ උසැති දරුවකු නිරූපණය වනවා.

මේ යාන්ත්‍රික දරුවාට පන්හිඳක්‌ තීන්ත කූඩුවේ ඔබා එය යොදාගනිමින් කලින් ලබා දුන් අකුරු 40ක්‌ දක්‌වා දිග වාක්‍ය ඛණ්‌ඩයක්‌ කඩදාසියක්‌ මත ලිවිය හැකියි. එසේ ලියන අතරතුර ඒ හා සමගාමී ව ඔහුගේ දැස ද චලනය වන සේ ඉතා සියුම් ව මේ නිර්මාණය සකසා තිබෙනවා.

පසුව Jaquet-Droz විසින් තම පුතා හා තවත් සහායකයකු සමඟ තවත් මෙබඳු ම මානවරූපී රොබෝ දරුවන් දෙදෙනකු නිර්මාණය කරනු ලැබුවා. ‘සටහන්කරුවා’ ලෙස හැඳින්වෙන ඉන් එක්‌ අයකුට පහළොස්‌වැනි ලුයිස්‌ රජතුමාගේ චිත්‍රයක්‌ ඇතුළු චිත්‍ර හතරක්‌ ඇඳිය හැකි අතර අනෙක්‌ දැරියට සැබෑවට ම ක්‍රියාත්මක වන කුඩා ඕර්ගනයක සංගීත ඛණ්‌ඩ පහක්‌ වාදනය කළ හැකියි.

මේ සංගීතකාරිය සැබැවින් ම හුස්‌ම ගන්නාක්‌ මෙන් පපුව උස්‌ පහත් වන අන්දමින් මෙන් ම වාදනයක්‌ අවසන් වූ සැම විට ම ප්‍රේක්‌ෂකයන්ට ආචාර කරන අන්දමින් සකසා තිබීම නිර්මාණකරුවන් කුඩා දේටත් දක්‌වා ඇති අවධානය මනාව පෙන්නුම් කරනවා. දහ අටවැනි සියවසේ අගභාගයේ දී රාජකීයයන් විස්‌මයෙන් අමන්දානන්දයට පත් කළ මේ අපූරු නිර්මාණ අදටත් මනා ව ක්‍රියාත්මක වන අතර ස්‌විට්‌සර්ලන්තයේ Musée d’Art et d’Histoire කෞතුකාගාරයේ දැකිය හැකියි.

යාන්ත්‍රික රොබෝවන් පිළිබඳ සංකල්පයට මෙන් ම එය යථාර්ථයක්‌ කරගැනීමට දැරූ වෑයමට ද බොහෝ දිගු ඉතිහාසයක්‌ පවතින බව මින් පැහැදිලි ව පෙනී යනවා. අතීතයේ පැවැති තාක්‌ෂණික හැකියාවන්ට සාපේක්‌ෂ ව ඔවුන් කර ඇති දේ විස්‌මය දනවනසුලුයි. තවමත් සාමාන්‍ය මිනිසාගේ එදිනෙදා කටයුතු සම්පූර්ණයෙන් භාරගැනීමට යාන්ත්‍රික රොබෝවන් සමත් ව නැති නමුත් ඉදිරියේ දී එය සිදු වීම ද නොවැළැක්‌විය හැකියි.

වසර දහස්‌ ගණනකට පෙර සිට මිනිස්‌ නිර්මාණකරුවන්ට සිහින දැකිය හැකි වූ මේ යාන්ත්‍රිකයන් අපේ අනාගතය කෙලෙස වෙනස්‌ කරනු ඇත් ද යන්න හරියට ම කිව හැක්‌කේ කාලයට පමණයි.

දමිත නිපුණජිත්

උපුටා ගැනීම විදුසර ඇසුරිණි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top