News

ජනාධිපතිවරණයට එනවාද ? ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පිලිතුරු දෙයි

ප්‍රශ්නය – 2020 ජනාධිපතිවරණයට ඔබතුමා පොදු අපේක්ෂකයා විදියට එන්න සූදානමක් තියෙනවා කියලා කතාබහක් යනවා?

පිළිතුර – රට හදන්න ඕනේ, ඉස්සරහට මොකද කියලා බලමු.

ප්‍රශ්නය – ඒ කතාවේ අසත්‍යතාවයක් නැහැ නේද?

පිළිතුර – දැනට ඒකට මුකුත් නොකියා ඉන්න තමයි මම හිතන් ඉන්නේ.

ප්‍රශ්නය – සාම්ප්‍රදායික දේශපාලනයෙන් එපිටට ගිය බලාපොරොත්තුවක් ජනතාවට තියා ගන්න පුළුවන් වෙයිද?

පිළිතුර – ජනතාව දැනුවත් වෙලා ඉන්නේ ඔක්කොටම වඩා. ඒක හින්දා කාටවත් ජනතාවත් එක්ක මොනවාත් සෙල්ලම් කරන්න බැරිවෙයි ඉස්සරහාට. කොහොමත් රට සංවර්ධනය කරන විසඳුම් අරගෙන මිසක්, ඉස්සරහට කාටවත් එන්න බැරිවෙයි. මේ සමාජ මාධ්‍ය සියල්ලත් එක්ක, ජනතාව ඔක්කොටම වඩා දැනුම අරගෙන තියෙන්නේ. එක් හින්ද ඉදිරිය හොඳවෙයි කියලයි මම හිතන්නේ.

ඉහත දැක්වෙන්නේ ඊයේ (21) කොළඹ වරලත් ගණකාධිකාරී ආයතන ශ්‍රවණාගාරයේ දී පැවති සම්මන්ත්‍රණයක් අවසානයේ දී මාධ්‍යවේදිනියක විසින් යොමුකළ ප්‍රශ්න කිහිපයකට මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පිළිතුර දුන් ආකාරයයි.

ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රතිව්‍යූගත කිරීම පිළිබඳව පැවති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අමුත්තා ලෙසින් වැලිබල් සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා එක්විය. එහි ප්‍රධාන දේශනය සිදුකරන ලද්දේ ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති ඩේවිඩ් මැකිනොන් මහතා විසිනි.

සම්මන්ත්‍රණය අමතමින් ධම්මික පෙරේරා මහතා කියා සිටියේ, හැමෝම ඉලක්ක තබා ගත්තත් රටේ ඒකපුද්ගල දළ දේශීය ආදායම ඩොලර් 12,000 මට්ටමට ළඟාවන්නේ කෙසේද යන්න පිළිබඳ කිසිවකුත් ඉලක්ක සකස් කර නොමැති බවයි.

“මම හදන හැම ප්‍රතිපත්තියක්ම, ඩොලර් 12,000 මට්ටමට රට කොහොමද ගේන්නේ කියලා හදන එක තමයි මගේ යුතුකම කියලා මම හිතුවා අද වන විට ඒකපුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,000 සිට ඩොලර් 20,000 දක්වා රටවල් 71 ක් තියෙනවා. මේ හැම රටේම ඒකපුද්ගල දළ ජාතික ආදායම ඉහළ යන විට ඒ සඳහා අවශ්‍ය කෙරුණු මූලික යටිතල පහසුකම් මොනවාද යන්න සොයා බැලුවා. ජනගහනයේ පහළ මට්ටමේ රටවල් මෙකෙදි සලකා බැලුවේ නැහැ. මිලියන 10 සිට මිලියන 100 ක් දක්වා ජනතාව වෙසෙන රටවල් වෙත මෙහිදී අවධානය යොමු කළා“, යැයි ධම්මික පෙරේරා මහතා මෙහිදී පැවසීය.

මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව (NHRDC), ශ්‍රී ලංකා වරලත් ගණකාධිවරුන්ගේ ආයතනය (ICASL), පිරිස් කළමනාකරණ ආයතනය (CIPM), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වානිජ මණ්ඩලය (ICCSL), ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකාරීත්ව ආයතනය (SLITHM) එක්ව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරන ලදී.

අද දෙරණ NEWS ඇසුරිණි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top