අතීතය අනාගතය ඉක්මණින් වෙනස් වෙමින් තිබෙනවා. මිනිස් සිතුම් පැතුම් හා තාක්ෂණය අතර ඇති පරතරය එන්න එන්න ම තුනී වී යනවා. තාක්ෂණික ආශ්චර්යයන් හා වඩාත් වේගවත් ව හා සමීප ව කටයුතු කිරීමට මිනිසා තුළ ඇති අනවරත ආශාව තෘප්තිමත් කිරීමට එම ද්විත්වය අතර ඇති සබඳතාව වඩා පුළුල් කිරීමට සිදු වනවා. තාක්ෂණ ලෝකයේ අනාගතය රı පවතින්නේ මේ අසීමිත සබඳතාව තුළයි.

5G තාක්ෂණය මිනිස් වර්ගයා තාක්ෂණය හා පවත්වන මේ සබඳතාව තර කරගැනීමේ අලුත් ම ජයග්‍රහණය ලෙස සැලකිය හැකියි. හුදු ඇමතුමක් ගැනීම පමණක් කළ හැකි ව තිබූ ජංගම දුරකථනය අද ජීවිතයේ සමීපත ම හිතවතා බවට පත් කිරීමට සමත් වූ තාක්ෂණික විප්ලවයක අලුත් ම පරිච්ඡේදය මෙයයි. අතීතයේ ලොව පුරා පැතිරුණු තාක්ෂණයන් ශ්‍රී ලංකාව වැනි රටවලට සමීප වූයේ බොහෝ මන්දගාමීවයි. එහෙත් මේ වන විට මෙකී නව තාක්ෂණයන් දියුණු රටවල් තුළ පැතිර යන ඉක්‌මනින් ම අපේ රට තුළ ද පැතිර යනවා.
ශ්‍රී ලංකාවේ ද මේ වන විට සමාගම් කිහිපයක් ම 5G තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා. එහෙත් මේවායෙන් කෙතරම් දුරට අපට වැඩගත හැකි වනු ඇත් ද යන්න පිළිබඳ ව ඇත්තේ ගැටලුවක්. 5G තාක්ෂණයේ සුපිරි හැකියාවන් ගැන උදම් අනනවාක් මෙන් ම ඒවායේ ඇති ප්‍රායෝගික සීමාකාරී බව ගැන දැන සිටීම ද සබුද්ධික පාරිභෝගිකයකුට වැදගත්. අද මේ ලිපියෙන් සමබර බැල්මක් ඒ වෙත හෙළන්නේ ඒ නිසයි.
ඉතිහාසය
අද අප භාවිත කරන රැහැන් රහිත දුරකථන හෙවත් ජංගම දුරකථනවල වංශ කතාව ඇරඹෙන්නේ 1982 දීයි. මේ මුල් ඇනලොග් දුරකථන සේවාවන් හැඳින්වෙන්නේ පළමු පරපුර හෙවත් 1G (1st- Generation) ලෙසයි. ඉන් පසු තාක්ෂණය කැපී පෙනෙන ලෙස නවීකරණය වී නව සන්නිවේදන තාක්ෂණ ක්‍රමවේද බිහි වීමත් සමඟ ඒවා අනුයාත පරම්පරාවන් ලෙස හැඳින්වීමට පුරුද්දක් ඇති වුණා. එයට අනුව පසුකාලීන ව හඬ ඇමතුම්වලට අමතර ව කෙටි පණිවිඩ සේවාව ද පණිවිඩ හුවමාරු කරගැනීමේ මාධ්‍යයක් බවට පත් කරමින් 1992 දී 2G කරළියට පැමිණි අතර 2001 දී පළමු වරට කරළියට පැමිණෙන 3G, අන්තර්ජාලයට ජංගම දුරකතනයෙන් පිවිසීමට මඟ විවෘත කරනවා.
කෙසේ වෙතත් නව සියවස ආරම්භ වන විට එමඟින් දත්ත සඳහා ප්‍රවේශ වීමට හැකි ව තිබූයේ තත්පරයට මෙගා බයිට් එකක වේගයකින් පමණයි. GPRS, EDGE වැනි තවත් අතරමැදි අවස්‌ථා ගණනාවකින් පසුව 2010 දී බිහි වූ 4G තත්ත්පරයට මෙගා බයිට් 100ක වේගයක් ලබා දීමට සමත් වුණා. එහි මෑතකාලීන වැඩිදියුණුවීම් තත්පරයට ගිගාබයිටයක දත්ත ප්‍රමාණයට ආසන්න වේගයකට එහි හැකියාවන් වර්ධනය කරගෙන තිබෙනවා.
කාලයක් තිස්‌සේ කළ අත්හදා බැලීම්වලින් අනතුරු ව එහි නවතම පරපුර වන 5G වාණිජ ව කරළියට පැමිණෙන්නේ 2018 වසරේ අවසන් භාගය වන විටයි. ඒ තත්පරයට ගිගාබයිට් වේගයකින් අන්තර්ජාලය හා ගනුදෙනු කිරීමේ හැකියාව මිනිසාට ලබා දෙමින්. ඇමෙරිකාව, කොරියාව, චීනය වැනි රටවල් මේ නව සම්ප්‍රේෂණ විප්ලවයේ ඉදිරි පෙළ නියෝජනය කරමින් කටයුතු කරන අතර මීළඟ වසර කිහිපය අතර එය ලොව පුරා තම ආධිපත්‍යය පතුරනු ඇතැයි අපේක්ෂd කළ හැකියි.
තාක්ෂණය

5G ලෙස අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ 5G NR තාක්ෂණයයි (NR-New Radio). මීට අමතර ව 5G FT වැනි තාක්ෂණයන් ද තිබෙනවා. 5G තාක්ෂණය 4G තාක්ෂණයෙන් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන් එය ක්‍රියාත්මක වන තරංග පරාසය වෙනස් නිසයි. කිලෝ හර්ට්‌ස් 300 සිට ගිගා හර්ට්‌ස් 300 දක්‌වා, රේඩියෝ තරංග පරාසය වන අතර 4G සේවාවන් සැපයෙන්නේ සාමාන්‍යයෙන් මෙගා හර්ට්‌ස් 700 හා ගිගා හර්ට්‌ස් 2.6 අතර ඇති තරංග කලාප (bands) හරහායි.
5G තාක්ෂණය සඳහා ඊට ඉහළින් ඇති තරංග කලාප භාවිතයට ගැනෙනවා. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි ඒ FR 1 (450 MHz – 6 GHz) හා FR 2 (24 GHz -52 GHz). මෙහි දී වැඩිවර්ධන කටයුතු සිදු වන්නේ අතිශය ඉහළ සංඛ්‍යාත (Extremely High Frequency – EHF) ගණයට වැටෙන FR 2 කලාපයේයි. මේවායේ තරංග ආයාමය මිලි මීටර්වලින් දැක්‌විය හැකි නිසා ඒවා මිලි මීටර් තරංග (Millimeter Wave – mmWave) ලෙස ද හඳුන්වනවා.
දත්ත සම්ප්‍රේෂණය සඳහා මේ මිලි මීටර් තරංග යොදාගැනීමේ හැකියාව පිළිබඳව 2013 වැනි වසරවල පටන් අධ්‍යයනයට ලක් වෙමින් තිබුණා. මේ ඉහළ සංඛ්‍යාතයක් සහිත තරංග හරහා වැඩි දත්ත ප්‍රමාණයක් සම්ප්‍රේෂණය කළ හැකි නමුත් ඒවාට ගමන් කළ හැකි දුර සාපේක්ෂ ව අවම වනවා.
වාසි
අධික වේගය
5G තාක්ෂණයේ කැපී පෙනෙන ලක්ෂණය නම් එමඟින් ලබා දෙන අධික දත්ත සම්ප්‍රේෂණ වේගයයි. මෙතෙක් කල් තත්ත්පරයට මෙගා බයිට් ලෙසින් දැක්‌වුණු බාගත කිරීමේ වේගය තත්පරයට ගිගා බයිට්‌වලින් දැක්‌වෙන ලෙස වෙනස් කිරීමට මේ හරහා හැකි වී තිබෙනවා. 4G අන්තර්ජාල සබඳතාවකට වඩා දස ගුණයක සිට සිය ගුණයක් දක්‌වා වැඩි වේගයක් අත්පත් කරගැනීමට 5G ජාලයට හැකියි.
උදාහරණයක් ලෙස රූපවාහිනී කතා මාලාවක් වැනි විශාල දත්ත ප්‍රමාණයකින් යුත් ගොනුවක් බාගත කිරීම ප්‍රශස්‌ත තත්ත්ව යටතේ තත්පර කිහිපයකින් කරගත හැකි වීමට මේ හරහා ඉඩ සැලසෙනවා. ඉතා වේගවත් සබඳතාවක් ලබාගැනීමේ ක්‍රමවේදයක් ලෙස සැලකුණු ප්‍රකාශ තන්තු මඟින් ලබා දෙන දත්ත ප්‍රවාහනය කිරීමේ වේගයට ද මේ 5G ජාලයන්හි වේගය හා තරග කළ නොහැකියි.
අඩු ප්‍රමාදය

වේගයට අමතර ව මේ නව සබඳතා ප්‍රවේශයෙහි ඇති වැදගත් ම ලක්ෂණය නම් එහි ඉතා අඩු ප්‍රමාද කාලයක් (Low Latency) තිබීමයි. මින් අදහස් වන්නේ අන්තර්ජාලය හරහා අප ලබා දෙන විධානයන්ට සේවා ජාලයෙන් ප්‍රතිචාර ලැබීමේ කාලය අවම වීමයි. උදාහරණයක් ලෙස අප යූ ටියුබ්හි වීඩියෝවක් නැරඹීමට ඒ මත ක්‌ලික් කළ විට එම ඉල්ලීම අදාළ ජාලය වෙත ගොස් එමඟින් දක්‌වන ප්‍රතිචාරයක් ලෙස වීඩියෝව ක්‍රියාත්මක වනවා.
සාමාන්‍යයෙන් මේ සඳහා ගත වන කාලය මිලි තත්පර 20ක් පමණ වනවා. එහෙත් 5G හරහා මේ කාලය මිලි තත්පර එකක් දක්‌වා අඩු කර තිබෙනවා. යූ ටියුබ් වීඩියෝවක් නැරඹීමේ දී මේ ප්‍රමාදයේ අවම බව එතරම් වෙනසක් ඇති නො කළත් ෙක්ෂaත්‍රයන් ගණනාවකට එමඟින් ඇති කළ හැකි බලපෑම ඉතා විශාලයි.
උදාහරණයක් ලෙස විදේශ රටක සිට තවත් රටක සිදු වන ශල්‍යකර්මයක් රොබෝ අත් යුවළක් ආධාරයෙන් දුරස්‌ථ ව හසුරුවන වෙද්‍යවරයකු ගන්න (මේ ක්‍රමය හැඳින්වෙන්නේ Telesurgery නමිනුයි). තමා ශල්‍යකර්මයේ සිදු වනවා යෑයි දකින දර්ශනය, සැබැවින් ම සිදු වන දර්ශනයට කෙතරම් දුරට සමපාත වන්නේ ද යන්න හා තමා දෙන විධානය කෙතරම් ඉක්‌මනකින් රොබෝවා විසින් ක්‍රියාත්මක කෙරෙන්නේ ද යන්න මෙහි දී අතිශය තීරණාත්මක වනවා.
5G තාක්ෂණය හරහා මේ දත්ත හුවමාරුවේ සිදු වන ප්‍රමාදය අවම කරන බැවින් එවැන්නක් සාර්ථක ව සිදු කළ හැකියි. 5G භාවිත කරමින් සිදු කරන ලද මෙවැනි පළමු ශල්‍යකර්මය චීනයේ සිදු කරන ලද බව පසුගිය ජනවාරියේ වාර්තා වී තිබුණා.
අනාගතයේ පැමිණෙන්නට නියමිත ස්‌වයංක්‍රීය ධාවන හැකියාව ඇති වාහනවලට ද මෙමඟින් ඉහළ සහයක් ලැබෙනවා. ඉදිරියෙන් යන වාහනය හදිසියේ තිරිංග තද කරනවා ද පසෙකින් පැමිණෙන වාහනයක් ප්‍රධාන මාවතට එක් වනවා ද යනාදි තොරතුරු වාහනයකින් වාහනයකට සම්ප්‍රේෂණය වන්නේ නම් හදිසි අනතුරු සියයට බිංදුවක් වන අන්දමේ ප්‍රවාහන පද්ධතියක් ගොඩනැඟිය හැකියි. කෙසේ වෙතත් මෙය යථාර්ථයක් වීමට නම් කිසිදු ප්‍රමාදයකින් තොර ව වාහන අතර මේ තොරතුරු හුවමාරු කරගත හැකි විය යුතුයි. 5G තාක්ෂණයේ ඇති මිලි තත්පර එකක් තරම් අඩු ප්‍රමාදය මෙයට ඉඩ සලසා තිබෙනවා.
එමෙන් ම මේ හැකියාව හරහා බලගැන්වෙන අතථ්‍ය යථාර්ථය ආදි නව ප්‍රවණතාවන් අතරින් තවත් එකක් වන්නේ අන්තර්ජාලය හරහා වීඩියෝ ක්‍රීඩා කිරීමයි. සැහැල්ලු පරිගණක ක්‍රීඩා පමණක් නො ව වැඩි පරිගණක ක්ෂමතාවක් වැය වන දියුණු පරිගණක ක්‍රීඩා ද අන්තර්ජාලය හරහා ක්‍රීඩා කිරීමට දැන් දැන් කටයුතු සම්පාදනය වනවා. ගූගල් මෑතක දී හඳුන්වා දුන් වීඩියෝ ක්‍රීඩා ස්‌ට්‍රීමින් සේවය වන ස්‌ටේඩියා මීට හොඳ උදාහරණයක්.
එහෙත් මේවාට වීඩියෝ ක්‍රීඩා ලෝලීන් ඇදෙන්නේ ඒවායේ ප්‍රතිචාර කාලය හැඳිනිය නොහැකි තරම් අවම නම් පමණයි. තමා වෙඩි තැබූ සතුරකු වෙඩි වැදී ඇද වැටෙන්නට තත්පර ගණනාවක් ගත වන ක්‍රීඩාවක් කිරීම ආශ්වාදජනක වන්නේ නැහැ. 5Gහි මේ ගුණාංගය අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා ස්‌ට්‍රීමින් සේවාවන්ට හොඳ කල දවසක් උදා කරන්නේ මේ නිසයි.
පුළුල් සබඳතාව
5G ජාලය නිර්මාණය කර ඇත්තේ සාම්ප්‍රදායික සෙලියුලර් සේවා ජාලයන්ට වඩා විශාල උපාංග ගණනකට කිසිදු ගැටලුවකින් තොර ව ඒ හා සම්බන්ධ විය හැකි ලෙසයි. 4G ජාලයෙහි ඇති සීමාකාරී බව මේ හරහා නැති වී තිබෙනවා. මේ අනුව IOT – Internet of Things ලෙසින් හැඳින්වෙන රූපවාහිනී, විදුලි පහන්, ශීතකරණ ආදි සියල්ල අන්තර්ජාලය ඔස්‌සේ එකිනෙක හා සම්බන්ධිත, දුරස්‌ථ ව පාලනය කළ හැකි අන්දමින් සැකසුණු පද්ධතීන්වල ක්‍රියාකාරීත්වයට මෙමඟින් විශාල පිටිවහලක් සැලසෙනවා.
එමෙන් ම එක ම ස්‌ථානයක සිටින විශාල පරිශීලකයන් සංඛ්‍යාවකට කිසිදු බාධාවකින් තොර ව අන්තර්ජාල සබඳතාවන් තම උපාංගයන් හරහා භාවිත කිරීමට ද මේ හරහා හැකි වනවා. උදාහරණයක් ලෙස ක්‍රීඩා තරගාවලියක් නැරඹීම සඳහා හෝ සංදර්ශනයක් නැරඹීම සඳහා හෝ ක්‍රීඩා පිටියකට විශාල පිරිසක් රැස් වන විට ඒ සියලු දෙනා හට සේවය සැලසීමට සිදු වීමෙන් දත්ත සම්ප්‍රේෂණ වේගය අඩු වීම බොහෝ විට අත්විඳිය හැකි දෙයක්. 5G ජාලයකින් සේවා සැපයීම හරහා මේ තත්ත්වය ජයගත හැකියි.
අවාසි
අඩු දුර පරාසය
5G තාක්ෂණය සඳහා භාවිත කරන සංඛ්‍යාතයෙන් ඉහළ, තරංග ආයාමය අඩු තරංග දත්ත සම්ප්‍රේෂණයෙහි ලා විශිෂ්ට හැකියාවක් ඇති කරන නමුත් ඒ සඳහා ගෙවන්නට වන මිලක් ද තිබෙනවා. ඒ මේ තරංග සම්ප්‍රේෂණය කළ හැකි දුර ප්‍රමාණය ඉතා අවම වීම නිසයි. එම නිසා 4Gවලට වඩා 5G තරංග සම්ප්‍රේෂකයකින් ආවරණය කළ හැකි වපසරිය කුඩා එකක්.
මේ නිසා පෙර දී එක් 5G සම්ප්‍රේෂක කුලුනක් මඟින් ආවරණය කරනු ලැබූ නගරයක් ආවරණය කිරීමට කුඩා ප්‍රමාණයේ 5G සම්ප්‍රේෂක ගණනාවක් නගරයේ තැනින් තැන සවි කිරීමට අන්තර්ජාල සේවා සපයන්නන්ට සිදු වනවා. එමෙන් ම ශාකයක පත්‍රයක් වැනි කුඩා දෙයකින් වුව ද මේ තරංගවල ගලා යැමට බාධා එල්ල විය හැකියි. ඒ නිසා ග්‍රාහකයා හා සම්ප්‍රේෂකය අතර අවකාශය බාධාවලින් තොර ව තබාගැනීම ගැන ද සැලකිලිමත් විය යුතුයි. අන්තර්ජාල සේවා සපයන්නන් සේවා සපයන්නේ තම ලාභය ඉලක්‌ක කරගෙන බැවින් මේ නව 5G තාක්ෂණය දියත් කිරීම සඳහා යටිතල පහසුකම් සැපයීම මුල් වරට සිදු වන්නේ, වැඩි ජන ඝනත්වයක් සහිත නාගරික ස්‌ථානවල පමණක් වීමට ඉඩ තිබෙනවා.
අනෙක් අතට සමහර විදේශ රටවල නගරවල පරිසරයේ ඇති දැකුම්කලු බවට විශේෂ වැදගත්කමක් හිමි කර දී ඇති බැවින් එවැනි තැන්වල මෙවැනි සම්ප්‍රේෂක සමූහයක් ස්‌ථාපනය කිරීමට අවසර ලැබෙන්නේ ද නැහැ. සම්ප්‍රේෂණ දුරෙහි ඇති මේ සීමාකාරී බව නිසා ලංකාව වැනි රටක අතිශය නාගරීකරණය වූ ප්‍රදේශවල හැරුණු කොට අනෙක් ප්‍රදේශවල මේ තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂd කළ නොහැකියි.
නව උපාංග අවශ්‍ය වීම
5G තාක්ෂණය ලහි ලහියේ අපේ රටවල් වෙත පැමිණියත් එම තාක්ෂණික හැකියාවන් හා ගනුදෙනු කරන්නට 4G තාක්ෂණය වෙනුවෙන් නිර්මාණය කළ උපාංගවලට කළ නොහැක්‌කක්. එම හැකියාව සහිත ව නිර්මාණය කළ ජංගම දුරකතන ආදි පොදු ජනයා පාවිච්චි කරන උපාංග තවමත් වෙළෙඳපොළට හරිහැටි පිවිස නැහැ. ඒ සඳහා තවත් කාලයක් ගත වනු ඇති. කෙසේ නමුත් ලොව ප්‍රමුඛ පෙළේ දුරකතන සමාගම් සියල්ල ම පාහේ 5G හැකියාව සහිත උපාංග නිෂ්පාදනය කිරීමට මේ වන විට පිඹුරුපත් සකසා අවසන්.
මේ වසරේ මැද භාගයේ වෙළෙඳපොළට නිකුත් වීමට නියමිත සැම්සුන්ග් එස් 10 දුරකථනය සමඟ 5G හැකියාව සහිත එස් 10 දුරකථන ද නිකුත් කිරීමට සූදානමක් ඇතැයි පැවසෙනවා. එසේ වුව හොත් එය එම හැකියාව ඇති පළමු දුරකතනය බවට පත් වනු ඇති. ඇපල් සමාගම නම් එවැනි දුරකතනයක් හඳුන්වා දෙනු ඇත්තේ 2020 දීයි.
අනෙක් අතට මෙවැනි දුරකතනයක් මිල දී ගන්නට යන්නේ නම් එය ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නා ලබා දෙන සේවා පහසුකම් සමඟ ගැළපෙන්නේ ද යන්න කල් තබා කිරා මැනබැලීම වැදගත්. ඔබ ප්‍රධාන නගරයකින් දුර ඈත වෙසෙන්නේ නම් 5G තාක්ෂණය ඒ වෙත පැමිණීමට කල් ගත විය හැකියි. මෙහි දී සලකා බැලිය යුතු තවත් දෙයක් නම් එම ජංගම දුරකතනය 3G පහසුකම ද සහිත එකක් දැයි තහවුරු කරගැනීමයි.
ඒ ඉදිරියේ දී පැමිණීමට නියමිත සමහර දුරකතන 4G හා 5G තාක්ෂණයන්ට පමණක් අනුකූලතාව දක්‌වන ඒවා වීමට ඉඩ ඇති නිසා. ලංකාවේ තවත් බොහෝ කාලයක් යන තුරු දුර බැහැර බොහෝ තැන්වල ඇති එක ම අන්තර්ජාල ප්‍රවේශය 3G පමණක් වීමට ඉඩ ඇති බැවින්, ඒ ගැන සැලකිලිමත් නො වුව හොත් ඔබ අමාරුවේ වැටිය හැකියි.
දත්ත සීමාවන්හි බාධාව
5G මඟින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ වේගය ඉහළ යැම ගැන සැකයක් නොමැති නමුත් එය ප්‍රායෝගික භාවිතයේ දී කෙතරම් ආශ්වාදජනක ලෙස භාවිත කරන්නට හැකි වනු ඇත් ද යන්න ප්‍රශ්නයක්. උදාහරණයක් ලෙස 5G භාවිතයෙන් තත්පර තුනක් ඇතුළත ගිගා බයිට් එකක (1 GB) චිත්‍රපටයක් බාගත කරගැනීමට හැකි වනු ඇතැයි පැවසෙනවා. එලෙස චිත්‍රපට දහයක් බාගත කිරීම යනු තත්ත්පර තිහක් ඇතුළත ගිගා බයිට් දහයක් (10 GB) අවසන් වූවා ය යන්නයි.
ඒ අනුව අප මිල දී ගෙන ඇත්තේ ගිගා බයිට් දහයක (10 GB) මාසික අන්තර්ජාල පහසුකමක් නම් එය තත්පර තිහක් ඇතුළත අවසන් විය හැකියි. මෙලෙස 5Gහි ඇති අධිවේගී බාගත වේගයේ ආශ්වාදය විඳීමට අපට කිසිදු බාධාවක් නැති නමුත් විනාඩි දෙක තුනක් යන්නටත් පෙර අපේ මාසික දත්ත සීමාව අවසන් වී යන බව මතක තබාගත යුතුයි. මේ නිසා 5G තාක්ෂණයේ ආශ්වාදය ඇත්ත වශයෙන් ම විඳීමට නම් අපට අසීමිත අන්තර්ජාල දත්ත ප්‍රමාණයක් සහිත සබඳතාවක් තිබීම අනිවාර්ය කරුණක්. එවැන්නක් අපගේ මාසික පඩි පතට කෙතරම් දුරට දරාගැනීමට හැකි වනු ඇත් ද යන්න වෙන ම කල්පනා කළ යුතුයි.
එවැන්නක් මිල දී ගත්ත ද ප්‍රායෝගික යථාර්ථය නම් කිසි ම අන්තර්ජාල සේවා සපයන්නකු, කැමැති කැමැති අන්දමින් දත්ත පරිහරණය කළ හැකි පැකේජයක් තම ග්‍රාහකයන්ට ලබා දෙන්නේ නැති බවයි. මෙවැනි අසීමිත දත්ත පැකේජ සැම එකක් ම පාහේ සකසා ඇත්තේ එක්‌තරා දත්ත සීමාවකින් පසුව සබඳතාවේ වේගය අවප්‍රමාණය වන ලෙසයි. එම නිසා මේ අසීමිත වේගය පිළිබඳ කතාව කන් හැන්දකින් කෑමට සිදු වන කිරි හට්‌ටියක් වීමට ඉඩ ඇති බව පාරිභෝගිකයන් මතක තබාගත යුතුයි.
5G තාක්ෂණය මිනිස් වර්ගයා වෙත විස්‌මයජනක අත්දැකීම් සමීප කරවන්නට සමත් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. මීළඟ දශකයක කාලය තුළ එය ලෝකයේ තාක්ෂණය විවිධ අන්දමින් හැඩ කරනවා නිසැකයි. එහෙත් එම තාක්ෂණය ලංකාවට ද හඳුන්වා දීම සමඟ ඇති කෙරුණු දැවැන්ත උද්දාමයේ තරමට ම ප්‍රතිලාභයක් ප්‍රායෝගික ව පාරිභෝගිකයාට දැන් ම ලැබෙනු ඇත් ද යන්න ගැන තරමක් සිතා බැලිය යුතුයි.
බොහෝ විට ඉඩ ඇත්තේ ඒ සඳහා තවත් වසර කිහිපයක් ම ගත වීමටයි. එමෙන් ම 5Gහි සම්ප්‍රාප්තිය 4G තාක්ෂණයේ සමුගැනීම සටහන් කරන්නේ ද නැහැ. එය ද ඉදිරියේ දී තවත් වැඩිදියුණු වීම්වලට බඳුන් වෙමින් තවත් බොහෝ කාලයක් තිස්‌සේ සාමාන්‍ය ජනතාවට සේවය සපයනු ඇති. ඇමෙරිකාවේ AT&T සමාගම 4G LTEහි ම වැඩිදියුණු කරන ලද සේවාවක් 5G E නමින් හඳුන්වා දී තිබෙනවා. මේ හරහා එක් වර ම පාරිභෝගිකයන් සිතන්නට පෙලඹෙන්නේ එය 5G සේවාවක් බවටයි. මෙවැනි වෙළෙඳ සූත්තර සමහර විට ඉදිරියේ දී අපේ රටෙනුත් මතු වීමට ඉඩ තිබෙනවා.
දමිත නිපුණජිත්
විදුසර ඇසුරිණි