තමා අහෝසි කළ අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික කළමනාකරණ කමිටුව ඊයේ (20) දිනයේ යළි කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඔහුගේ කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) දැඩිව දොස් පවරා තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානන්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ කැබිනට් සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙලෙස දොස් පවරා තිබේ.
මෙම ආර්ථික කළමනාකරණ කමිටුව වැඩක් නැහැ. මෙයින් පසුගිය කාලයේ කළ දෙයක් නැහැ. ඒ නිසයි මම මෙය අහෝසි කළේ. එහෙම තිබියදී මෙම කළමනාකරණ කමිටුව හරහා කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි යැයි පවසමින් ජනාධිපතිවරයා මෙහිදී අගමැතිවරයාට දොස් පවරා ඇත.
තමුන්නාන්සේලා මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් හදන්න බාරදුන්නු ජපන් සමාගමේ නිලධාරීන් ඉන්නේ එරට හිරගෙවල්වල. මම ජපානයේ කළ සංචාරයේදී අදාළ සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡා කරන්න උත්සාහ කළත් ඔවුන් එරට අධිකරණ මගින් සිරගත කර ඇති බව දැනගත්තා යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී දැඩිව ප්‍රකාශ කර තිබේ.
මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන ආර්ථික කළමනාකරණ කමිටුවකින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි ජනාධිපතිවරයා විමසා ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට තීන්දු කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේදීය. එහිදී ජනාධිපතිවරයා ඒ පිළිබඳව කැබිනට් පත්රිකාවක්ද ඉදිරිපත් කළ අතර ඒ අනුව එම ආර්ථික කළමනාකරණ කමිටුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආර්ථික සභාව යටතට පවරා ගැනීමට තීන්දු කෙරුණි.
එසේ තිබියදීත් එකී ආර්ථික කළමනාකරණ කමිටුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේදී අවස්ථා කිහිපයකදී රැස්වී තිබුණි.
ඉන්පසු ජනාධිපතිවරයා ඉකුත් 19 දා රැස්වූ කැබිනට් මණ්ඩලය වෙත මෙම ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබිය. මෙකී ආර්ථික කළමනාකරණ කමිටුවට යෝජනා ඉදිරිපත් වන්නේ නම් එම යෝජනා සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභා පත්කළ හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
එවැනි තත්ත්වයක් මත තමා අහෝසි කළ ආර්ථික කළමනාකරණ කමිටුව තමාගේ නියෝග නොතකා ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා සහ ඔහුගේ කණ්ඩායමට මෙලෙස දොස් පවරා තිබේ.
උදෑසන 9.30 ට රැස්වූ මෙම කැබිනට් හමුව දහවල් 12.30 පමණ වන තෙක් පැවැති බවද වාර්තා වේ.
උපුටා ගැනීම ලක්බිම