News

ලංකාවට facebook හදුන්වා දුන්නේ මමයි – අගමැති

මේ වෙද්දි අපේ රටේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නෙ ෆේස්බුක් ඇතුළු සමාජජාලා තහනම. සමාජජාලා තහනමත් එක්ක රටේ තරුණ ප්‍රජාවගෙන් රජයට එල්ලවුනේ විශාල චෝදනාවක්. කොහොම වුනත් මෙම තහනම එළඹෙන සිකුරාදා දින ඉවත්කරන බවට වාර්තා වුනත් අද (14) කොළඹ ඉසිපතන විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වුණ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සති කිහිපයතුල ෆේස්බුක් පාලනයට නීති සකසන බවයි.

එසේම ලංකාවට පළමුවෙන්ම අන්තර්ජාලය හඳුන්වා දුන්නේ තමන් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා මෙසේද කියා සිටියා.

1993 වසරේ අගමැතිවරයා ලෙස මා අමෙරිකාවට ගොස් එවකට එරට උප ජනාධිපති ඇල්ගෝ සමග මේ පිළිබඳව ගිවිසුමක් අත්සන් කළා. අප අන්තර්ජාල ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ලෝකය සමග එකතු විය යුතු නිසයි. ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය ජාලා තුළින් වෛරී සහගත පණිවුඩ, ජාතිවාදය, වර්ගවාදී ගැටුම් වැඩිකරන පණිවුඩ ගලා යනවා. එක් කණ්ඩායමක් යම් වෛරී පණිවුඩයක් යැවූ විට අනෙක් පැත්තෙන් ඊට ප්‍රතිචාර ගලාගෙන එනවා.

පසුගිය සතියේ සඳුදා තෙල්දෙනිය, දිගන ප්‍රදේශයේ කෝලාහල ඇති වුණා. සාමාන්‍ය කෝලාහලයක් ඇතිවූ විට පළමු දිනයෙන් පසුව එය පාලනය කිරීමට හැකි වෙනවා. නමුත් එදින උදේ එම තත්ත්වය පාලනය කළත්, සවස් වන විට නැවතත් ගැටුම්කාරී තත්ත්වය ඇති වුණා.

කැබිනට් මණ්ඩලය සමග මේ තත්ත්වය සාකච්ඡා කළ විට අලුත් අභියෝගයකට මුහුණදීමට තිබෙන බව ආරක්ෂක අංශ දැනුම් දුන්නා. ෆේස්බුක් හරහා එවන වෛරී සහගත පණිවුඩ තුළින් සමාජය ගිනි තබන බව ඔවුන් දැනුම් දුන්නා. අම්පාර ප්‍රදේශයේ මේ තත්ත්වය දකින්නට හැකි වුණා. සංඝයා වහන්සේ ඝාතනය කර ඇති බවත්, පන්සල්වලට ගිනි තබා ඇති බවත් කියමින් බොරු ප්‍රචාර පතුරුවනු ලැබුවා. මේ නිසා මිනිසුන් කලබල වී නොසන්සුන්කාරී ලෙස හැසිරෙනවා.

මෙම හේතු සලකා බලා කෙටි කාලයකට සමාජ මාධ්‍යජාලා වෙත පිවිසීම අවහිර කිරීමට ආරක්ෂක අංශ යෝජනා කළා. ඊට අනුමැතිය ලැබුණු පසු අඟහරුවාදා සවස් වන විට සමාජ මාධ්‍යජාලා තාවකාලිකව අවහිර කරනු ලැබුවා. බදාදා උදය වරුව වන විට කලබල කෝලාහල පාලනය කිරීමට හැකියාව ලැබුණු බව ආරක්ෂක අංශ අපට වාර්තා කළා.

සමාජ මාධ්‍යජාල තහනම් කිරීමට කිසිවෙකුටත් වුවමනා නැහැ. නමුත් මේ අංශ පිළිබඳව අධීක්ෂණය කරන, ක්‍රියා කරන මාර්ගයක් තිබිය යුතුයි. අප මීට පෙරත් ෆේස්බුක් සමාගමට මේ පිළිබඳව දැන්වූ විට සීඝ්‍රයෙන් ක්‍රියා කළේ නැහැ.

ඊට අමතරව රජයෙන්, නීතිය හා සාමය අමාත්‍යංශයෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා නීති පද්ධතියක් ගෙන ඒම පිළිබඳව සලකා බලමින් සිටිනවා. එංගලන්තය වැනි රටවල වෛරය පතුරවන ක්‍රියා වළක්වන නීති තිබෙනවා. ඒ නිසා ජාතික, ආගමික වශයෙන් වෛරයන් ඇති කරන්නට බැහැ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top