ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ ඌව පළාත්වල ඝන කැළෑ ප්‍රදේශවල ඈත අතීතයේ “නිත්තෑවන්” නමින් හැඳින්වූ මිනිස් හැඩරුවට සමාන සිරුරකින් යුතු වූ ජීවීන් කොට්ඨාසයක් ජීවත් වූ බවට මත පළවී තිබිණි.

උසින් අඩු කිසියම් ජීවියෙකු දක්නට ලැබුණු බව අම්පාර තොට්ටම ප්‍රදේශයේ වැසියන් කිහිප දෙනෙකු පසුගිය දා පැවසීමත් සමග නිත්තෑවන් පිළිබඳ කතාබහක් යළිත් මතු වී තිබේ. නිත්තෑවන් සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ විවිධ මත ගොඩ නැඟී තිබෙන අතර ඒ අතරින් එකක් වන්නේ, ආදිවාසීන් (වැදි ජනයා) සහ නිත්තෑවන් අතර පැවති බව කියන එදිරිවාදිකමකි.

මේ පිළිබඳව තොරතුරු ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හමු වී ලබා ගැනීමට බීබීසී පුවත් සේවය සමත් වී තිබේ.
එහිදී, ආදිවාසී නායක වන්නිල ඇත්තන් පවසා ඇත්තේ , නිත්තෑවන් එක් තැනකට කොටු කළ ආදිවාසීන් ඔවුන් සමූල ඝාතනය කළ බවට පවතින මතය තමා පිළිනොගන්නා බවය.
නිත්තෑවන් ආදිවාසී දරුවන් කා දැමූ නිසා ඔවුන්ව විනාශ කළ බවක් තමාට තමාගේ පියා හෝ වෙනත් මුතුන් මිත්තෙකු කිසි දිනෙක පවසා නැති බව ද ඔහු පැවසීය.
“නිත්තෑවො එකතු කරල ගල් ගුහාවකට දාල ගිනි තියල මරල දැම්ම කියන ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි. ඒ ඇත්තො මීයෝ වගේ නෙමේ නෙ, එකතු කරල ගන්න. අනික එහෙම කණ්ඩායමක් මේ රටේ හිටිය නම් ඒ අය එක් කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කට්ටියක් ඉන්න ඕන. ඒ අයගෙත් පරම්පරාවක් තියෙන්න ඕන. ඉතිං මේ ඔක්කොම නිත්තෑවන් එකතු කෙරුවයි කියල විශ්වාස කරන්න අමාරුයි.” යැයි ආදිවාසී නායකයා පැවසීය.
“අපේ අප්පිල ඇත්තන්ගෙ මුත්තිල ඇත්තන්ටයි කිරි අප්පිල ඇත්තන්ටයි කැළෑවෙදි හමුවෙලා තියෙනව මේ නිත්තෑවෝ. හැබැයි මටවත් මගේ අප්පිල ඇත්තන්ටත් මේ නිත්තෑවන් හමුවෙලා නම් නෑ.”
ආදිවාසී නායකයා හෙළි කළේ මීට දශක ගණනාවකට පෙර සිය ගමේ ද “වැඩිය උස නැති පවුලක්” වාසය කර ඇති අතර ඔවුන්ගේ උස අඩි 3 ක් පමණ වූ බවය.
“ඒ හින්ද ඒ අයටත් නිත්තෑවන් කියල නමක් දාල තිබ්බ. ඒ මගේ අප්පිල ඇත්තන්ගෙ අප්පිල ඇත්තන්ගෙ කාලෙ ඒ කියන්නෙ අවුරුදු 200කට විතර එහාදි.”
“කවද හරි නිත්තෑවන් මගේ ඇස් දෙකින් දැක්කොත් මෙන්න නිත්තෑවන් කියල ලෝකෙට ම ප්‍රකාශ කරනවා. ඔය නිත්තෑවන් සම්බන්ධව මේ දක්වා ම අපේ රැහේ කොහෙන්වත් නම් ආරංචි වෙලා නෑ.”
“නිත්තෑවන් රතුගල අම්පාරෙදි මුණ ගැහුණ, කැළැවෙදි දැක්ක කියල කතාවක් තියෙනව. ඒ කතාව ඇත්ත නම් මම හිතනව ඒ නිත්තෑවන් කියන පරම්පරාවෙ තවත් ඈයො ඉතුරු වෙලා ඉන්න ඇතියි කියල. ඒ ඇත්තන්ගෙන් කැකුළියො කැකුළො ඇති වෙන්න ඇති,” ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පැවසීය..
අනිත් අයටත් කියවන්න share කරන්න