දැනුම

දැනට ලොව ක්‍රියාත්මක වන විශිෂ්ටතම රහස් ඔත්තු සේවා මෙන්න

Image result for sherlock holmes

ඉස්සර අපේ යාලු බුවෙක් හිටියා. පොර කියන්නේම පොර වැඩකරන්නේ පොලිසියේ කියලා. ඉතින් මේ අවුරුදු විසි කීපයක් වෙච්චි හුජ්ජ කොල්ලා රස්තියක් ගහන්නෙ නැති වෙලාවට ගෙදර තමා පැල් බැඳගෙන ඉන්නෙ කියලා අපි දන්න නිසාම අපිට ඕක පිලිගන්න බෑනේ. ඉතින් අපි කියනවා “පලයන් ඩෝ යන්න, උඹේ කොහෙද පොලිසියේ වැඩ කරන ලුක් එකක් තියෙන්නේ” කියලා.

එතකොට මූ අපි දිහා බලාගෙන ඉඳලා කියනවා, “පුතාලා නොදන්න දේවල් කියන්න එපා. එහෙම පොලිස් ලුක් එකක් නැත්තේ මම වැඩ කරන්නේ රහස් පොලිසියේ හින්දා” කියලා. කාල වරෙන්කෝ. හැබැයි ඇත්තටම පොරට රහස් ඔත්තුකාරයෙක් කියලා පෙන්නගන්න පුදුම උණක් තිබ්බේ. හැබැයි ඌට වැ‍රැද්දක් කියන්නත් බෑ.

මොකද හොලිවුඩ් පිචර් කෑලි බලපු අපි හැමෝටමත් ඔය උණ තිබුණනේ. ඉතින් ඒ හින්දා ඔය උණ ගතිය හොඳ වෙන්නත් එක්ක බලමු ලෝකේ තියෙන එලම රහස් ඔත්තු සේවා ඒජන්සි කීපයක් ගැන. ආය දැනකියාගෙන හිටියහම කවදාහරි ගිහින් බැ‍ඳෙන්න හරි බැරියෑ!

හැබැයි තව එකක්. රහස් ඔත්තු සේවා කිව්වහම කොයි තරම් නං තියෙනවද. අන්න ඒ නිසා අපි මේ සඳහන් කරන්නේ තමන්ගේ රටින් පිට, තමන්ගේ රට වෙනුවෙන් ඔත්තු බලන ඒජන්සි ගැන තමයි. ඔව් ජේම්ස් බොන්ඩ් එහෙම වැඩ කළෙත් ඒ වගේ එකක තමා!

1. C. I. A. (Central Intelligence Agency) – ඇමරිකා එක්සත් ජනපදය

Image result for C. I. A.

දැන් ඕනම පොරක් රහස් ඔත්තුකාරයෙක් වෙන්න හිතන්නේ සී. අයි. ඒ එකට බැඳිලනේ. මොකද ඒ තරමටම අපිට හොලිවුඩ් ‍ෆිල්ම් වලින් සී. අයි. ඒ එකේ වැඩ පෙන්නලා අපිව පිස්සු වට්ටලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ තියෙන්නේ ඇමරිකාවේ ප්‍රතිපත්ති වලට හානිදායක වෙන්න හරි බලපෑමක් වෙන්න හරි පුලුවන් රටවල රහස් ඔත්තු බලන විශාලතම ඒජන්සිය. මේකෙන් ඔත්තු හොයන්නේ හැබැයි වෙන රටවල රජයන්, රාජ්‍ය යාන්ත්‍රණ ගැන විතරක් නෙවෙයි.

දැවැන්ත සමාගම්, තනි පුද්ගලයෝ වගේ ඇමරිකාවට හොඳ හෝ නරක බලපෑමක් කරන්න පුලුවන් හැම කෙනෙක්වම මේ අයගේ රේඩාර් එකට අහුවෙනවා. හැබැයි ඉතින් ඔය එක එක රටවල රජයන් එහෙම පෙරළනවා වගේ අප්සෙට් වැඩ විතරක් නෙවෙයි, තමන්ට අයිති නැති වැඩත් සී. අයි. ඒ. එකෙන් කරනවා කියලා චෝදනා එහෙමත් එල්ල වෙනවා. හැබැයි සී. අයි. ඒ. එක කොච්චර සිරා කියලා කිව්වත්, ඒ අයගේ ඇස් වහලා අල් කයිඩා එකෙන් එහෙම දියත් කරපු මිෂන් ගැනත් අමතක කරන්න බෑ.

2. M. I. 6 (Secret Intelligence Service) – එක්සත් රාජධානිය

Related image

 

දැන් ජේම්ස් බොන්ඩ් ‍ෆිල්ම් බලල තියෙන ඕන කෙනෙක් දන්නවනේ ජේම්ස් බොන්ඩ් අයිති රහස් ඔත්තු සේවය මොකක්ද කියලා. ඒ තමයි මහ‍රැජිණගේ ඔත්තු සේවය හෙවත් එම්. අයි. 6 එක. හැබැයි ඇත්තටම මේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය වගකියන්නේ විදේශ කටයුතු සහ පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයට තමයි. ඇමරිකානු සී. අයි. ඒ. එක වගේම බ්‍රිතාන්‍යය වෙනුවෙන් බ්‍රිතාන්‍යයට බලපෑමක් වෙන්න පුලුවන් පුද්ගලයින්, සමාගම්, රටවල්, රාජ්‍යයන් ගැන ඔත්තු බලන එම්. අයි. 6 එක ගැන මරු ආරංචියකුත් එක පාරක් එලියට ආවා.

ඒ තමයි ජේම්ස් බොන්ඩ් ‍ෆිල්ම් වල තියෙනවා වගේ ඇත්තටම මේ ඒජන්සිය වෙනුවෙන් ගැජට් ඩිසයින් කරන Q කියලා ඩයල් එකක් ඉන්නවාය කියන එක. හැබැයි M කෙනෙක් නම් එම්. අයි. 6 එකේ නෑ. ඒ වෙනුවට ඉන්නේ C කෙනෙක්ලු. කොහොම වුනත් සී. අයි. ඒ එක වගේම විවිධ චෝදනා වලටත් ලක් වෙන එම්. අයි. 6 එක අදත් ලෝකේ රහස් ඔත්තු සේවා අතරේ ප්‍රබල තැනක තියෙනනවා.

3. S. V. R. (Foreign Intelligence Service) – රුසියාව

Related image

රුසියාව කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කේ. ජී. බී රහස් ඔත්තු සේවාව ගැනනේ. හැබැයි එකක් කේ. ජී. බී. එකක් දැන් නෑ. අනික රුසියාවට එල්ල වෙන්න පුලුවන් ත්‍රස්ත ක්‍රියා මැඩලන්න සහ රටින් පිට රුසියාවට බලපෑම් කරන්න පුලුවන් ඕනෑම කෙනෙක්, ඕනෑම දෙයක් ගැන ඔත්තු බලන්න විශේෂයෙන්ම පිහි‍ටුවලා තියෙන්නේ එස්. වී. ආර්. එක. සමහර වෙලාවට ඒ අය වැඩියෙන්ම ඔත්තු බලන්නේ ඇමරිකාවේ වෙන්න පුලුවන්. අපි දන්නෙ නෑ ඉතින් ඒක. ඒත් අහන්න ලැබෙන විදියට සීතල යුද්ධය කාලේ ඉඳන්ම තමන්ගේ දැඩි ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් මේ අය සීමා කරලා නැහැලු.

4. Mossad – ඊශ්‍රායලය

Image result for Mossad

 

මොසාඩ් කියන්නේ ලෝකේ තියෙන ප්‍රබලතම වගේම නවත්වන්න බැරි රහස් ඔත්තු සේවයක් කියන එක ඔවුන් නැවත නැවතත් ඔප්පු කරලා තියෙනවා. ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලි වල ක්‍රියාකාරකම් එක්ක සටන් කිරීමේ විශේෂඥයන් වුණු මොසාඩ් එක ඊශ්‍රායලයේ සතුරන්ට කිසිම මොහොතක සමාවක් දීලා නම් නැහැ.

විශේෂයෙන්ම නාසි නායකයෙක් වුණු ඇඩොල්ෆ් අයික්මාන් ආජන්ටිනාවෙන් 1960 දී පැහැරගෙන ඒම, 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේදී ඊශ්‍රායල ක්‍රීඩක කණ්ඩායම ඝාතනයට වගකියන්න ඕන

හැම කෙනෙක්වම අවුරුදු විස්සක් ඇතුළත ලුහුබැඳ ගිහින් මරා දැමීම වගේම 84 දී ඉතියෝපියානු යුදෙව්වන් දහස් ගණන් රහසේ රටට ගුවන් මගින් අරගෙන ඒම වගේ දේවල් මොසාඩ් එකත් එක්ක ඇහෙන කතාන්තර. මේ වෙනකොට මොසාඩ් රහස් ඔත්තු සේවය වඩාත් පැහැදිලි සහ පාරදෘශ්‍ය බවකින් වැඩ කරනවා කියලා පෙනුනත්, තවමත් ක්‍රාව් මගා ප්‍රහාරයක් වගේම මොසාඩ් එකේ වැඩ කිඩ තාක්ෂණීයයි, එල්ලය නිවැරදියි වගේම බිහිසුණුයි.

5. I. S. I. (Inter-Services Intelligence) – පාකිස්තානය

Image result for I. S. I. (Inter-Services Intelligence)

පකිස්තානයේ විදේශ රහස් ඔත්තු සේවයට තියෙන්න පුලුවන් අරමුණ මොකක්ද? සරලයි. ඉන්දියාවට කෙලවා දැමීම. මෙන්න මේ කාරණාව ඉෂ්ට සිද්ධ කරගන්න පකිස්තාන් අයි. එස්. අයි රහස් ඔත්තු සේවය කැපවෙලා ඉන්නේ. හැබැයි මේ වෙනකොට ලෝකේ තවත් ප්‍රබලතම රහස් ඔත්තු සේවයක් විදියට මේ රහස් ඔත්තු සේවය වර්ධනය වෙලා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, පකිස්තානයේ දේශපාලනය පි‍ටුපස්සේ බොහොම ප්‍රබලව ඉන්න අයි. එස්. අයි එක තමයි පකිස්තානයේ මිලිටරි එක විරුද්ධ පාක්ෂිකයින්ගෙන් ‍රැකගන්නත් ලොකු වැඩ කොටසක් කරන්නේ.

එතකොට පකිස්තානය තුළ ඉන්න ඉස්ලාම් අන්තවාදීන්ට විරුද්ධව වැඩ කරනවා කියලා අයි. එස්. අයි එක කිව්වත් ගොඩක් දෙනෙක් චෝදනා කරනවා ඇත්තටම පකිස්තාන් රහස් ඔත්තු සේවය දෙපැත්තටම උදවු කරනවා කියලත්. මේ කොහොම වුනත් ඉන්දියාව ඇතුළේ ඉන්න පන්ජාබ් සීක් බෙදුම්වාදීන්ට සහාය ලබාදීම ඇතුළුව ඉන්දියාව ඇතුලේ වෙන ත්‍රස්තවාදී ක්‍රියා බොහෝමයකට අයි. එස්. අයි එක වක්‍රාකාරව හරි වග කියන්න ඕන කියන එක නම් බොරුවක් නෙවෙයි.

6. M. S. S. (Ministry of State Security) – චීනය

Image result for M. S. S. (Ministry of State Security)

චීන රහස් ඔත්තු සේවා ගැන තියෙන පොදු මතයක් තමයි, ඇමරිකාව රුසියාව විතරක් නෙවෙයි, අනික් හැම ලෝක බලවතෙකුගේම නහය යට චීන ඔත්තුකාරයෝ රඳවලා තියෙනවා කියන එක. විශේෂයෙන්ම ඇමරිකාවේ චීනය තමන්ගේ රහස් ඔත්තු බැලීමේ කටයුතු බොහොම දරුණුවට ක්‍රියාත්මක කරනවා කියලා අපි හිතනවා. ඒකට හේතුව මීලඟ ලෝක දැවැන්තයා වෙන චීනයට ඇමරිකාවේ තියෙනා හමුදා තාක්ෂණයන් සහ අධි තාක්ෂණික කාර්මික රහස් වුවමනා වීම වෙන්න පුලුවන්.

අනික් විශේෂ කාරණාව තමයි ලෝකේ අනික් රහස් ඔත්තු සේවා ඔත්තු බලනකොට, චීන රහස් ඔත්තු සේවාවන් දත්ත එකතු කිරීම සහ විශ්ලේෂණය කිරීමට වැඩි බරක් ලබාදීම. කොහොම වුනත් දැන් වැඩිපුර හොලිවුඩ් ‍ෆිල්ම්, ටෙලි සීරීස් වල එහෙම පෙන්නන විදියට ශිෂ්‍යයන්, ව්‍යාපාරිකයන් වගේ ඇමරිකාවට එන දහස් ගණන් චීන ජාතිකයන්ගෙන් ඔත්තුකාරයෝ කවුද නැත්තේ කවුද කියලා අඳුනගන්න එක මාරම අමාරු වැඩක්.

7. R. A. W. (Research and Analysis Wing) – ඉන්දියාව

Image result for R. A. W. (Research and Analysis Wing)

ඉන්දියාවේ රෝ රහස් ඔත්තු සේවාව ගැන ලංකාවේ අපිට සෑහෙන්න අහන්න ලැබෙනවනේ. වෙන එකක් තියා හිටපු ජනපති මහින්ද රාජපක්ෂත් එක පාරක් කියා හිටියා තමන්ව පරාජය කරන්න ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙනුත් වැඩ කොටසක් සිද්ධ වුනා කියලා. කොහොම කළත් රෝ එක අල්ලපු රටේ වැඩකටයුතු ගැන අවධානයෙන් ඉන්නවා කියන එක පුදුමයක් නෙවෙයිනේ.

රෝ එක පිහිටවෙන්නේ ඇත්තටම පකිස්තානයත් එක්ක ප්‍රශ්න ඇතිවුනාට පස්සේ, ඉන්දියාව ඇතුලේ ඉන්න පකිස්තානයට සහාය ලබාදෙන ආයුධ සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව ක්‍රියාත්මක වෙන්න තමයි. හැබැයි කාලය ගතවීමත් එක්ක රෝ ඔත්තු සේවාව ලෝකේ තියෙන විශිෂ්ටතම ඔත්තු සේවාවක් විදියට වර්ධනය වෙනවා විතරක් නෙවෙයි, පකිස්තානය ඇතුළේ වගේම බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය වගේ කලාපයේ වෙනත් රටවලත් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.

උදාහරණයක් විදියට ගත්තොත් බංග්ලාදේශය පකිස්තානයෙන් නිදහස ලබාගන්න දියත් කරපු ව්‍යාපාරය පිටිපස්සේ රෝ එක ඉන්නවා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම රෝ එකට චෝදනා එල්ල වෙනවා අනික් රටවලට විරුද්ධ සන්නද්ධ කල්ලි වලට හොරෙන්ම සහාය ලබාදෙනවා කියන එක ගැන.

8. D. G. S. E. (Directorate-General for External Security) – ප්‍රංසය

Image result for D. G. S. E. (Directorate-General for External Security)

ප්‍රංසයෙන් පිටත බුද්ධි අංශ කටයුතු සහ ප්‍රති-බුද්ධි මෙහෙයුම් වලට වගකියන ඒජන්සිය තමයි ඩී. ජී. එස්. ඊ කියන්නේ. හැබැයි මේ ඒජන්සිය ප්‍රංසයේ පිහි‍ටුවලාත් ඒ තරම් කාලයක් නැහැයි කියන එක කියන්න ඕන. මේ අයගේ ප්‍රධානතම වැඩ කටයුතු වෙන්නේ ප්‍රංසයෙන් පිට ඕනෑම රටක්, ඕනෑම කෙනෙක්, ඕනෑම සමාගමක් ප්‍රංසයේ හමුදාමය හරි දේශපාලනමය හරි ප්‍රතිපත්ති වලට බලපෑමක් සිද්ධ කරනවා නම්, ඒ ගැන තොරතුරු එකතු කිරීම. කොහොමත් පන්දාහකට අධික සේවක ප්‍රමාණයක් ඉන්න මේ ප්‍රංස විදෙස් ඔත්තු සේවාවට ලොකු බජට් එකක් එහෙමත් වෙන් වෙනවා කියලා කියනවා.

9. B. N. D. (Bundesnachrichtendienst) – ජර්මනිය

Image result for B. N. D. (Bundesnachrichtendienst)

ජර්මානු චාන්සලර්වරයාගේ කාර්යාලය යටතේ තියෙන බී. එන්. ඩී එක තමයි ජර්මනියේ විදෙස් බුද්ධි අංශය විදියට වැඩ කරන්නේ. මේ ඒජන්සිය ගැන කතා කරන කෙනෙක් මුලින්ම කියන දේ තමයි මේ අයගේ තියෙන ටෙක්නොලොජි දියුණුව.

විශේෂයෙන්ම ජර්මානු රජයට විදේශයන්ගෙන් එල්ල වෙන තර්ජනයන් ගැන කලින්ම ජර්මානු ආණ්ඩුව දැනුවත් කරන්න තියෙන අනතුරු හැඟවීමේ සිස්ටම් එකක් විදියට වැඩ කරන බී. එන්. ඩී එක ජාත්‍යන්තර ත්‍රස්තවාදය, සංහාරක අවි, නීතිවිරෝධී තාක්ෂණයන් හුවමාරුව, සංවිධානාත්මක අපරාධ, ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මුදල් විශුද්ධීකරණය විතරක් නෙවෙයි, නීතිවිරෝධී සංක්‍රමණය ගැනත් ඇහැ ගහගෙන ඉන්නේ.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top