දැනුම

මාසෙ පඩිය මදිද ?

කොතරම් වැඩි වුවත් අනිවාර්යෙන්ම මදි වන එකම දේ තමයි මාසේ පඩිය. එක එක මට්ටම් වල පඩි ගන්න අය හිටියට මේ හැම දෙනාම තමන්ගේ මාසික වැටුප ගැන සෑහීමට පත් වන්නේ නැහැ. රුපියල් 5,000 ක් මාසික පඩිය ගන්න කෙනෙත් රුපියල් 100,000 ක් පඩිය ගන්න කෙනෙත්දෙන්නටම ජීවත් වෙන්න පඩිය මදි. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ජීවත් වෙන්න මාසේ පඩිය මදි අයට මුදල් ටිකක් ඉතිරි කර ගන්නා ක්‍රම කිහිපයක්.

දින 30 නීතිය අනුගමනය කරන්න.

Related image

පඩිය වැඩි වන විට අපේ හිතේ තියෙන ආසාවන්ද වැඩි වෙනවා. මේ නිසා අපේ වැඩි වන පඩියට ගැලපෙන්න අළුත් වියදම් අපේ ජීවිතයට එකතු කර ගන්නවා. අපිට මොනවා හරි දෙයක් මිලදී ගන්න අවශ්‍ය වුනාම ඒක මිලදී ගන්නකන් අපට ඉවසිල්ලක් නෑ. සමහර විට නිනද යන්නෙත් නෑ. නමුත් බොහොමයක් මිලදී ගත් පසු අපට සිතට එන සිතුවිල්ලක් තමයි අපරාදෙ ඒකට වියදම් කලේ කියන එක.

අපට මොනවා හරි දෙයක් මිලදී ගන්න ආස හිතුනම අපට මුලින්ම ඇතිවන අසීමිත ආසාව නිසා අපට එහි අඩුපාඩු දැනෙන්නේ නෑ. අපේ ආර්ථික තත්වයත් අපි විමසා බලන්නේ නෑ.

මේ නිසා මොනවා හරි මිලදී ගන්න ආස හිතුනම එය මිලදී ගැනීමට ආසාව ඇති වූ දින සිට දින 30 ක් කල් ගන්න. දින 30 ගත වූ පසුව ඔබට තවමත් එම භාණ්ඩය මිලදී ගැනීමට අවශ්‍ය දැයි ඔබෙන්ම විමසා සිටින්න. ඇතැම් විට ඔබේ සිතම එය එතරම්ම අනවශ්‍ය බව පවසාවි. ඔබ දින පොතක් භාවිතා කරනවා නම් මිලදී ගැනීමට අවශ්‍ය දෑ දිනපොතේ දින 30 ක් ඉදිරියෙන් ලියන්න. 30 වන දිනය පැමිණි විට මිලදී ගැනීමේ තීරණය නැවත විමසා බලන්න. දින 30 නීතියෙන් අපි හදිසි වෙලා කරන ගොඩක් අනවශ්‍ය වියදම් අඩු කර ගන්න පුළුවන්.

භාණ්ඩ මිලදී ගැනීමේදී මිල එකිනෙක අතර සසඳන්න.

Related image

එකම භාණ්ඩය කිහිප තැනක විවිධ මිල ගණන් වලට තිබෙන්න පුළුවන්. භාණ්ඩයේ වෙළඳ නාමයට අනුව ඒවායේ මිල වෙනස් වෙනවා. සමහර විට 400g පැකට්ටුව මිලදී ගන්නවාට වඩා 1kg පැකට්ටුව මිලදී ගැනීම ඔබට ගොඩක් ලාභදායී වෙන්නට පුළුවන්්‍

මේ නිසා භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවායේ මිළ, වෙළඳ නාම, අන්තර්ගත ප්‍රමාණය ඉතා හොඳින් සන්සන්දනය කරන්න. ඖෂධ මිලදී ගැනීමේදී සෑම විටම වෛද්‍යවරයාගෙන් සහ ෆාමසියෙන් වෙළඳ නාමයෙන් නොව ඖෂධ නාමයෙන්ම මිල අඩු බෙහෙත් ලබා දෙන ලෙස ඉල්ලන්න.

වැටුප ලැබුණු ගමන් කොටස් වලට වෙන් කරන්න.

Image result for salery

ගෙදර වියදමට, ගමන් බිමන් යන්න, අධ්‍යාපනයට, හදිසි අවශ්‍යතාවයකට, මේ ආකාරයෙන් විවිධ කොටස් වලට ඔබ කැමති පරිදි වැටුප වෙන් කරන්න. ඔබට එක් එක් වර්ගයේ වියදම් සඳහා වියදම් කළ හැකි උපරිම සීමාවන් තියෙනවා. මාසය පුරා එම සීමාව දැන ගෙන එක් එක් වර්ග වලට අයත් වියදම් පරිස්සමින් සිදුකරන්න. සල්ලි කවදාවත් අතේ තියාගෙන ඉන්න එපා. හැකිනම් බැංකු ගිණුම් කිහිපයක් සාදා වැටුප ලැබුණු විගස එක් එක් වර්ග සඳහා වෙන් කර මුදල් ඒ ඒ ගිණුම් වල දමන්න. ඔබට යම් වියදම් අංශයක් අඩු කර ගත හැකි නම් අදාළ ගිණුමේ මුදල් ඉබේම ඉතුරු වෙනවා ඇති.

අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වට්ටම් සොයා යන්න.

Related image

ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩයකින්ම රුපියල් 5 ක් අඩු වුනානම් මාසයකට රුපියල් 1000 කටත් වඩා ඉතිරි කරන්න පුළුවන්. ඒ මුදල ප්‍රමාණවත් නිවසේ විදුලි බිල ගෙවන්න. තොග කඩයකින් බඩු මිලදී ගැනීම, එළවළු මිලදී ගැනීමට මාර්කට් එකට යාම සහ එළවළු සහ පළතුරු මිලදී ගැනීමේදී එම කාලයේ මිල අඩු වී ඇති එළවළු සහ පළතුරු පමණක් මිලදී ගැනීමෙන් ඔබේ මුදල් ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන්.

සුපිරි වෙළඳසැල් වලින් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ඉතා විශාල වට්ටම් ලබා දෙනවා. එවැනි විශේෂ වට්ටම් ගැන හොඳ අවදියෙන් සිටින්න. ඔබට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඒවා අතර තිබේදැයි සැලකිලිමත් වන්න.

ඉතිරි කරන සල්ලි ලේසියෙන් ගන්න පුළුවන් තැනක තියන්න එපා.

Related image

ඔබ මාර්කට් එකට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගනිද්දි රුපියල් 200 ක් ඉතිරි කරගත්තා යැයි සිතන්න. ඒ මුදල ඔබේ පසුම්බියේම තියෙන්න හැරියොත් ඔබ නොදැනීම වෙනත් කාරණයකට වියදම් වෙලා යනවා. එතකොට ඔබ ඉතිරි කරපු මුදල පිළිබඳ වටිනාකම දැනෙන්නේ නෑ. එය ඇත්තටම කිව්වොත් ඉතිරි වෙලා නෑ නේද? මේ නිසා දිනපතා ඔබ ඉතිරි කරන මුදල් රුපියල් 5 හෝ 10 වේවා ඔබ අරපිරිමැස්මෙන් ඉතිරි කර ඒවා වෙන් කරන්න.

වඩා හොඳයි මෙම මුදල් දිනපතා වෙනම බැංකු ගිණුමක දැමිය හැකිනම්. නමුත් ඒසේ කළ නොහැකි නම් ගෙදර තියෙන කැටයකටවත් දාන්න. මෙම කැටයට කාසි විතරක් නෙමෙයි. මුදල් නෝට්ටුද දාන්න. හැම මාසෙම අන්තිමට කැටය කඩලා ඉතිරි කළ මුදල් ටික බැංකු ගිණුමකට දාන්න. නැතිනම් ඔබට අත්‍යවශ්‍ය වියදමකට යොමු කරනන්. මේ ආකාරයට දිනපතා කුඩා මුදල් එකතු වෙන්න තැබුවාම ඔබ නොදැනීම ඔබට හදිසියකට ගන්න මුදල් ටිකක් ඉතුරු වෙනවා. ඔබ කරන හැම වියදමකින්ම ඔබ පිරිමසා ඉතිරි කරගත් මුදල් මාසය පුරා ඉතුරු කරනකොට ඔබ පුදුම කරවන ලොකු මුදලක් ඉතිරි වෙලා තියේවි.

Credit Card වහාම අවලංගු කරන්න.

Image result for credit card

Credit Card කියන්නේ ඔබේ සාක්කුවේ සිටින භයානකම සතුරෙක්. ලෝකේ හැමෝම වාගේ Credit Card වල වහලෙක් වෙලා අවසානයි. 2% ක් -3% ක් අතර අධික මාසික පොළියක් අයකරනවා විතරක් නෙමෙයි සල්ලි ගෙවන්න දවසක් හරි පරක්කු වුනොත් දඩයකුත් ගහනවා. වාර්ෂික ගාස්තු අර ගාස්තු, මේ ගාස්තු කියලා ඔබ දන්නෙම නැතිව 3000 ක් – 4000 ක් ගිණුමෙන් කපාගන්නවා. අතේ සල්ලි නැතත් කාඩ් එකෙන් ණයට ගන්න පුළුවන් නිසා භාණ්ඩයක් මිලදී ගන්න හිතුන ගමන් පස්සෙ හෙමීට ගෙවනවා කියලා අපි භාණ්ඩ මිලදී ගන්න මේ නිසා පුරුදු වෙනවා.

මාසේ අන්තිමට ගිණුම් ප්‍රකාශනය ආවාම තමයි අපි හැමෝටම තරු පෙනෙන්නේ. හැබැයි බැංකුවත් මුළු මුදලම නොගෙව්වත් මාසෙකට පොළී විතරක් දාන්න දෙන හින්දා අන්තිමට අපි හැමෝම පොළිය ගෙව ගෙවා ඉන්න පුරුදු වෙනවා. මාසෙකට 2 1/2% පොළියක් කියන්නෙ වාර්ෂිකව 30% ක පමණ පොළියක්. ශ්‍රී ලංකාවේ Credit Card භාවිතා කරන සෑම පුද්ගලයෙක්ම අවම වශයෙන් රුපියල් 50,000 ක් වත් බැංකුවට ගෙවන්නැතුව පොළී ගෙවනවා කියලයි වාර්තා වල සඳහන් වෙන්නේ.

Credit Card වලින් ලබාදෙන බොහෝ වට්ටම් ඉතා ආකර්ෂණීය වුවත් අන්තිමේදී ඒවාට ගෙවන පොළිය එක්ක බලනකොට ඒ වට්ටම් ලාභ නෑ.

ආහාර සඳහා යන වියදම් හරි අඩකින් අඩු කරන්න.

Related image

සමහර අය කන විදියට අපිට හිතෙනවා ඒ අය කන්නෙ ජීවත් වෙන්න නෙමෙයි ජීවත් වෙන්නෙ කන්න කියලා. අපේ ඇඟවල් වලින්ම තේරුම් ගන්න පුළුවන් අපි කනවා වැඩිද කියලා. නිතරම කෑම ගෙදර උයලා කන්න පුරුදු වෙන්න. ඔබ රාත්‍රී ආහාරයට අවන්හලකට ගොස් වියදම් කරන මුදලින් සමහර විට සතියක් කන්න හාල් එළවළු ගන්න පුළුවන්. වැඩිපුර කාලා ලෙඩවෙනවාට වඩා නිරෝගී සරල ආහාර කන එක හැම අතින්ම හොඳයි. පුදුමෙ කියන්නේ අපි ගොඩක් සල්ලි වියදම් කරන ආහාරම තමයි අපේ ශරීර සෞඛ්‍යටත් අහිතකරම. නිතර මස් වර්ග කෑම, නූල්ඩ්ස්, සොසේජස්, අයිස්ක්‍රීම් වැනි ආහාර අපේ ආහාර වලට යන වියදම් වලින් හරි අඩකටත් වඩා වගකියනවා. අන්තිමට කාලා ලෙඩ වුනාම බෙහෙත් හේත් වලටත් තව වියදම් කරන්න වෙනවා. ඔබ මිතුරන් සමඟ ආහාර ගැනීමට එළියට යාමට සිටිනවානම් ඒ වෙනුවට නිවසට ආරාධනා කිරීමෙන් වියදම හරි අඩක් අඩු වෙන්නට පුළුවන්.

ගොඩක් පිරිසිදුව සිටින්න, ගොඩක් වතුර බොන්න.

Image result for water
වතුර බොන එකෙයි, පිරිසිදුවට ඉන්න එකෙයි, මුදල් ඉතිරි කිරීමෙයි තියෙන සම්බන්ධය මොකද්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. හොඳට වතුර බොන අය ඉතාමත් නීරෝගියි. ලෙඩ වෙනවා අඩුයි. හොඳින් දෑත් පිරිසිදුව තියෙන තරමට අපේ ශරීරයට බැක්ටීරියා සහ වෛරස් ආසාදනය වීමේ සම්භාවිතාව අඩුවෙනවා. මේ නිසා හොඳට වතුර බොන සහ පිරිසිදුව ඉන්න පවුල් වල අය ලෙඩ වෙනවා ගොඩාක් අඩුයි.

ඔබ නොදැන සිටියත් මේ කාරණා 2 ක පවත්වාගෙන නොයාම නිසා ඔබේ පවුලේ අයට ඇතිවන සෙම්ප්‍රතිශාව, උණ වැනි රෝග වලිනුත් මසකට ඔබේ පසුම්බියෙන් සැලකිය යුතු මුදලක් නාස්ති වෙනවා. එම කාල සීමාව තුළ වැඩ කිරීමේ හැකියාවත් නැති වෙනවා. කුඩා ළමයි සිටින පවුල් වලට මෙම අවවාදය විශේෂයි. අත සෝදන ජල කරාමය ළඟ අනිවාර්යෙන්ම සබන් කෑල්ලක් හෝ Hand Wash එකක් තබන්න.

විදුලිය පිරිමසින්න.pennwell.web.300.465
රුපියල් 2,000 ක් විතර විදුලි බිල එන ගෙදරකට රුපියල් 1000 ක් විතරම කියන්නේ නිරපරාදෙ නාස්ති කරපු විදුලිය. පහත ක්‍රම වලින් විදුලිය පිරිමසන්න උත්සාහ කළොත් විදුලි බිලෙන් හරි අඩක්ම ඉතිරි කරන්න ඔබට පුළුවන්.

නිකරුනේ දැල්වෙන විදුලි පහන් නිවා දැමීම.
CFL හෝ LED විදුලි බල්බ පමණක් භාවිතා කිරීම.
රූපවාහිනිය නරඹන කාලය අඩු කිරීම සහ රූපවාහිනියේ දීප්තිය Brightness මට්ටම අඩු කර තැබීම.
ජලය උණු කිරීම වැනි කාර්යයන් සඳහා ගෙදර දර ලිපයක් භාවිතයට පුරුදු වන්න.

මස් මාංශ වැනි ආහාර නොමැති අවස්ථා වල ශීතකරණය තාවකාලිකව විසන්ධි කොට තැබීම.
වියදම් කරන සෑම සතයක්ම ලියන්න.

මාසෙ අවසානයේදී විවිධ අංශ සඳහා කොතරම් වියදමක් ඔබ කර ඇත්දැයි හොඳින් බලන්න. ඉතිරි කිරීම හා සම්බන්ධ අනිවාර්යම අංගය මෙයයි. මෙලෙස දෛනිකව වියදම් ලියන විට ඔබ ඔබේ වැටුප වියදම් කරන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්නවා. ඔබ නොදැනීම වියදම් අඩු කරන්න පෙළඹෙනවා. සෑම විටම පසුගිය මාසෙට වඩා මේ මාසේ වියදම් අඩු කරන්න. වියදම් සටහන් එකිනෙක සන්සන්දනය කරන්න.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top