ස්මාර්ට් ජංගම දුරකථන (Smart Mobile Phone) නවීන තාක්‌ෂණික පහසුකම් භාවිත කරන වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත්ව ඇත.
පුද්ගල සන්නිවේදන කටයුතු සඳහා සමාජ ජාලය ඔස්‌සේ තොරතුරු ලබා ගැනීමට දැනුම වැඩිකර ගැනීම සඳහා පහසුකම් සපයා ගැනීමට ගමන් මාර්ග තොරතුරු දැන ගැනීමට දින පොතක් ලෙස භාවිතා කිරීමට වේලාව දැනුම් දෙන උපකරණයක් ලෙස භාවිත කිරීමට (Alarm) තමා ප්‍රියකරන ගීත ගබඩා කරගෙන අවශ්‍ය මොහොතක රසවිඳීමට ආදී කටයුතු රැසක් ක්‍ෂණිකව සිදුකර ගත හැකි නිසා ස්‌මාර්ට් ජංගම දුරකථනය තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගෙන තිබේ.
එය කොතෙක්‌ද යත් ශ්‍රී ලංකාවේද භාවිත වන ජංගම දුරකථන සංඛ්‍යාව ජනගහණයට වඩා දෙගුණයකි.
ඇමෙරිකා එක්‌සත් ජනපදයේ වයස අවුරුදු 11 ත් 15 ත් අතර නව යොවුන් වියේ පසුවන දැරියන් අතර ස්‌මාර්ට් ජංගම දුරකථන භාවිතය පිළිබඳව සිදුකළ සමීක්‍ෂණයකට අනුව ඔවුන් ජංගම දුරකථනයක් දිනකට පැය 3 – 4 ක් එක දිගට භාවිත කරන බවත් දිනකට දුරකථන පණිවුඩ 50 ක් පමණ හුවමාරු කරගන්නා බවත් අනාවරණය වී ඇත.
මේ අනුව ස්‌මාර්ට් ජංගම දුරකථනයත් තරුණ පරපුරත් අතර සමීප සම්බන්ධතාවක් ඇති බව වටහාගත හැකිය.
එලෙස මෙම දුරකථන සමීප සම්බන්ධතාවය නිසාම එය ඔවුනගේ ශරීර සෞඛ්‍යයට ද බලපෑම් එල්ල වන්නට පටන් ගෙන ඇත.
වෛද්‍යතුමනි, ස්‌මාර්ට් ජංගම දුරකථනය අපගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව යම් පුද්ගලයකු නිරෝගී සෞඛ්‍යසම්පන්නව ජීවත්වන බව තීරණය කරනුයේ ශාරීරික, මානසික සහ සමාජයීය නිරෝගීතාවය අනුවය.
ඒ අනුව යම් පුද්ගලයකු ශාරීරිකව යම් රෝගයකට ලක්‌ව සිටී ද එම තැනැත්තා නිරෝගී සෞඛ්‍ය සම්පන්න නැත. එසේම මානසික සහ සමාජීය වශයෙන් රෝගීව සිටීද එවැනි පුද්ගලයන්ද නිරෝගී සෞඛ්‍ය සම්පන්න නැත.
ස්‌මාර්ට් ජංගම දුරකථනයට අසීමිතව භාවිත කරන විට ඊට ඇබ්බැහි වීමක් සිදුවේ. එය හොඳින් වැටහෙන්නේ ජංගම දුරකථනය අසීමිතව භාවිත කරන පුද්ගලයකුගෙන් එම දුරකථනය පැය කිහිපයකට හෝ අහිමි වූ විටදීය. එවිට එම තැනැත්තා දැඩි කනස්‌සල්ලට පත්වේ. ඇතැම් විට මානසික පීඩාවට ද ලක්‌වේ.
ඊට අමතරව ස්‌මාර්ට් ජංගම දුරකථන දිනපතා දිගු වේලාවක් විවිධ ඉරියව් යටතේ භාවිත කිරීමේදී කායික ගැටලුවලටද ලක්‌වේ.
බෙල්ලේ කැක්‌කුම, හන්දි සහ මාංශ පේෂිවල වේදනාව, ස්‌නායු වේදනාව, නිතර ආසාදන රෝගවලට ගොදුරුවීම ඇස්‌වල ආබාධ ඇතිවීම නින්දට බාධා ඇතිවීම, ශරීරයේ බර වැඩිවීම, මාර්ග අනතුරුවලට ලක්‌වීම වැනි කායික රෝග රැසක් ස්‌මාර්ට් ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහිවීම නිසා ඇතිවේ.
වර්තමානයේ බෙල්ලේ වේදනාව, අත්වල ඇඟිලි හිරිවැටීම සහ වේදනාව වැනි රෝගාබාධ ඇති බවට පවසමින් ප්‍රතිකාර සඳහා එන තරුණ තරුණියන් බහුතරයට එම රෝග හට ගෙන ඇත්තේ ස්‌මාර්ට් ජංගම දුරකථන අසීමිත ලෙස දිනපතා භාවිත කිරීම නිසා බව ඔවුන්ගේ රෝග නිධාන පිළිබඳව සොයා බලනවිට හෙළිවී ඇත.
උපුටා ගැනීම දිවයින