ක්‍රිඩා

අසේල , මෙන්ඩිස් , කුසල් පෙරේරා , ධනුෂ්ක එක්දින සංචිතයට කැදවයි

ශ්‍රී ලංකාවේ 22 වැනි එක්‌දින නායකයා ලෙස තිසර පෙරේරා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඊයේ (29 දා) පියවර ගත්තේය. අදාළ පත්වීම ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්‌දින තරග තුන සහ විස්‌සයි විස්‌ස තරග තුන සඳහා පමණක්‌ වන අතර මෙම තරගාවලියේදී ඔහු දක්‌වන දක්‍ෂතා මත නායකත්වය ස්‌ථිර වීම හෝ අස්‌ථිර වීම රඳා පවතින බව ක්‍රිකට්‌ ආයතන ප්‍රකාශකයකු පවසා සිටියේය.

‘එක්‌දින පිලේ නායකත්වය ලැබීම සතුටක්‌. කණ්‌ඩායමට සියයට දෙසීයකින් යුතුකම් ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කණ්‌ඩායමේ සියලුම ක්‍රීඩකයන් මට සහයෝගය ලබාදෙයි කියලා විස්‌වාසයි.

ඉන්දියාවට එරෙහිව පළමු එක්‌දින තරගය ජයගෙන එතැනින් ඉදිරියට යන්න උත්සාහ කරනවා’ යෑයි ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නව නායක තිසර පෙරේරා පවසා සිටියේය.

මේ වසරේ සහභාගි වූ එක්‌දින තරග 26 න් තරග 21 ක්‌ම පරාජය වූ අතර ජයගෙන ඇත්තේ තරග හතරක්‌ පමණි. අදාළ එක්‌දින තරග 26 ඇන්ජලෝ මැතිව්ස්‌, උපුල් තරංග, ලසිත් මාලිංග සහ චාමර කපුගෙදර යන නායකයන් සිවුදෙනකු යටතේ මෙහෙයවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවට සිදුවිය. මේ වසරේදී පමණක්‌ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරග මෙහෙයවන පස්‌වැනි නායකයා වන්නේ ද තිසර පෙරේරායි.

පාකිස්‌තානය සමඟ පැවැති විස්‌සයි විස්‌ස තරගාවලියේදී පළමු වරට නායකත්වයේ ඔටුන්න දමාගත් තිසර පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරගයක්‌ මෙහෙයවන 22 වැන්නා ද වේ. නාරංගොඩ ලියනආරච්චිගේ තිසර චිරන්ත පෙරේරා හෙවත් තිසර පෙරේරා මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි සිසුවෙකි. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ද ශාන්ත ජෝශප් විදුහලේ ආදි සිසුවෙකි.

28 හැවිරිදි තිසර පෙරේරා එක්‌දින තරග 125 කදී අර්ධ ශතක හතක්‌ සමඟ මුළු ලකුණු 1441 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 17.57 කි. එහිදී ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 133 කි. උපුල් තරංග මෙහෙය වූ එක්‌දින තරග 22 කින් 16 ක්‌ම පරාජය වී තිබීම හේතුවෙන් තේරීම් කමිටුවට නව නායකයකු සොයා ගැනීමට සිදුවිය.

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්‌දින තරගාවලිය සහ විස්‌සයි විස්‌ස තරගාවලිය සඳහා අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්‌, කුසල් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක එක්‌ කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා ඇති අතර අවසන් සංයුතිය ප්‍රකාශ කිරීම අද (30 දා) සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පවසයි.

චන්දික හතුරුසිංහ වැනි පුහුණුකරුවකු යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම සතුටක්‌ බවත් තිසර පෙරේරා වැඩිදුරටත් පවසා සිටියේය

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top