ලෝකය

වසර 24 ක් පැරණි කලලයකින් නීරෝගී දරුවෙකු බිහිකරයි

වසර 24 ක් තිස්සේ මුදවා තැබුණු කලළයකින්, නිරෝගී දරු උපතක් සිදුවුණු බව ඇමෙරිකා ජාතික කලළ දායක පර්යේෂණාගාරය මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.

දරුවන් නැති යුවල සඳහා කලළ තැම්පත් කිරීම මේ වනවිට ලොව බහුලව සිදු කෙරෙන ඉතා සාර්ථක ක්‍රියාවලියකි. කෙසේ නමුත්  දශකයකට ආසන්න කාලයක් ආරක්ෂිතව ‘මුදවා තැබුණු’ කලළයකින් නිරෝගී දරු උපතක් සිදුවීම වෛද්‍ය විද්‍යාවේ පෙරැළියක් බව ‘ඇමෙරිකානු ජාතික කලළ දායක මධ්‍යස්ථානය’ වැඩි දුරටත් පවසා ඇත.

වසර 24 ක් පැරැණි කලළයෙන් දරුවකු බිහි කළේ ඇමෙරිකාවේ ටෙනීසි ජනපදයේ මවකි. ඇය 26 හැවිරිදි ටීනා ගිබ්සන්ය. ටීනාගේ සැමියා බෙන්ජමින් ගිබ්සන් රෝගී තත්ත්වයන් කිහිපයක් නිසා නිසරුබවෙන් පෙළෙයි.

දරුවන් නැති නිසා දෙදෙනා දරුවකු හදා ගැනීමට සූදානම් වුණු බවත් එම අවස්ථාවේදී වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් ඔවුන් ඇමෙරිකා ජාතික කලළ දායක පර්යේෂණාගාරයට යොමු කෙරුණු බවත් වාර්තා වේ.

ඇමෙරිකානු ජාතික කලළ දායක පර්යේෂණාගාරයේ ප්‍රධානී කැරොල් සොමර්ෆෙල්ට් කලළ තැම්පත් කෙරෙන ආකාරය පහදා දී මුදවා තැබුණු කලළවල ඡායාරූප සටහන් පවා ගිබ්සන් යුවලට පෙන්වා ඇති අතර ටීනා ඇය කැමැති කලළය තෝරා ගත් බව ද පැවැසෙයි.

මෙම කලළය ‘මුදවා’ තැබීම සිදු කෙරුණේ 1992 වසරේදීය. ඒ වනවිට ටීනාගේ වයස අවුරුදු 10 කි. අවුරුදු 24 ක් කලළයක් නිරෝගීව මුදවා තැබීම අතීතයේ අපහසු වුවත්, පවතින නවීන තාක්ෂණය යටතේ එය පහසුවෙන් කළ හැකි බව ද පැවැසෙයි.

මේ වසර මුලදී කළලය ටීනාගේ ගර්භාෂයේ තැම්පත් කෙරුණි. දරු උපත සිදුවූයේ පසුගිය නොවැම්බර් 25 වැනිදාය. අලුත උපන් බිළිදා එමා යනුවෙන් නම් කෙරුණි.

 (රොයිටර්)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top