දැනුම

ගබ්සා වීමේ අවධානම කල්තියා හදුනාගත හැකි පරීක්ෂාවක්

ගර්භනී සමයේ පළමු සති 12 තුළ කෙරෙන රුධිර පරීක්ෂාවක් ඇසුරින්, ගබ්සාවීම හෝ නොමේරු දැරූ උපතක් පිළිබඳ අවදානම කල් තියා හඳුනාගැනීමේ හැකියාව ඇති බව ඒ සම්බන්ධයෙන් කළ පර්යේෂණයක් මුල් අවස්ථාවේ පෙනීගොස් තිබේ.

බරපතල උපත් සංකුලතා පිළිබද ලක්ෂණ මතුවීමට මාස කිහිපයකට පෙර ම, එවැනි උපත් සමග සම්බන්ධයක් තිබිය හැකි, රුධිරයේ ඇති අණු සොයාගත් බවට ඇමෙරිකානු වෛද්‍යවරුන් පිරිසක් විශ්වාස කරති.

මේ සොයා ගැනීම හේතුවෙන් නොමේරූ දැරූ උපත් වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට ඉඩ ලැබෙනු ඇතැයි කියැවේ.

කෙසේවෙතත්, පර්යේෂණ තත්ත්වයේ ඇති “කුඩා බව හා මුල් අවස්ථාව” පිළිබද පෙන්වාදෙන ඇතැම් විශේෂඥයින්, ඒ සම්බන්ධයෙන් පමණට වඩා ප්‍රකාශ කිරීම කෙරෙහි අනතුරු අඟවා ඇත.

එක්සත් රාජධානිය තුළ සෑම ගර්භණී තත්ත්ව පහකින් එකක් ගබ්සාවීමකින් කෙළවර වන අතර යුරෝපයේ වැඩි ම නොමේරූ දැරූ උපත් සහිත රටවල් අතරට ද අයත් වේ.

යෝජිත රුධිර පරීක්ෂණය කෙරෙන්නේ රුධිර සෛලවල හමුවන මයික්‍රෝආර්එන්ඒ (microRNA) නම්වූ අණු ඇසුරෙනි.

ගර්භණී සමයේ පළමු සති 12 ඇතුළත ගබ්සාවීම් හා පූර්ව එක්ලැම්සියා (ගැබ් වලිප්පුව) තත්ත්වය පිළිබඳව පුරෝකථනය කිරීම සඳහා microRNA සෛලවලට ඇති හැකියාව තක්සේරු කරනු ලැබුවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ප්‍රජනන වෛද්‍ය හා ප්‍රතිශක්තිකරණ විද්‍යාගාරයේ කණ්ඩායමකි.

ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන 4ක් තුළ උපත් 160ක් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

පූර්ව එක්ලැම්සියාව යනු, ගර්භණී සමය තුළ අසාමාන්‍ය ලෙස අධි රුධිර පීඩනය හා වෙනත් ගැටලු වර්ධනය වන බරපතල තත්ත්වයකි.

මුල්වරට ගැබ්ගනීම්වලින් 10% ප්‍රමාණයකට ම එම තත්ත්වය බලපාන අතර නොමේරූ දරු උපත්වලට ද නිතර තුඩු දෙයි.

ගබ්සාවීම මෙන් නොව, පූර්ව එක්ලැම්සියාව හා නොමේරු දරු උපත් වෛද්‍ය මැදිහත්වීම මත හසුරුවාගත හැක.

අධ්‍යයනයේ ප්‍රධානීන් පෙන්වා දෙන්නේ ඇතැම්විට වෙනත් පරීක්ෂාවන් සමග බද්ධව සිය පරීක්ෂණය ද කළ හැකි බවය.

“මේ ප්‍රතිඵල නිවැරදි ද කියන එක තහවුරු කරගන්නට නම් පුළුල් පශ්චාත් අධ්‍යයන ගණනාවක් කරන්නට අවශ්‍යයි” යනුවෙන් ඔක්ස්ෆර්ඩ් සාඵල්‍යතා ආයතනයේ අධ්‍යක්ෂ මෙන්ම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ටීම් චයිල්ඩ් පැවසුවද මේ පර්යේෂණයේ ඇති වැදගත්කම ඔහු බැහැර නොකරයි.

“පූර්ව එක්ලැම්සියාව, නොමේරු දැරූ උපත් හා ගබ්සාවීම් ලෝකය පුරා ම දකින්නට ලැබෙන සුවිශේෂ ගැටලු. ඒ නිසා ඒ පිළිබඳ ඕනෑම පර්යේෂණයක් වැදගත්” යැයි ඔහු බීබීසී ප්‍රවෘත්ති සමග පැවසීය. එහෙත් ඔහු අවධාරණය කරමින් පෙන්වා දුන්නේ “අධ්‍යයනවලින් විමසා බලන ලද සිදුවීම් ප්‍රමාණය සීමාසහිත වනවිට පරීක්ෂණ සහ සංකුලතා අතර දකින්නට ලැබෙන සංඛ්‍යාත්මක සම්බධතාව ඉතා වැඩියි” යනුවෙනි.

වැදෑමහට අදාළ රෝගවලට තුඩු දෙන “මූලික හේතුව” අවබෝධ කරගැනීම සඳහා දැනට ක්‍රියාත්මකවන පර්යේෂණය වෛද්‍යවරුන්ට සහායක් වනු ඇති බව ද ඔහු පැවසීය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top