දැනුම

බැක්ටීරියාවක් නිසා ඇති වන හදවත් රෝගය

කුඩාදරුවන්ට උපතේදි ඇතිවන හෘද්‍යාබාධ මෙන්ම හදවත් සිදුරු කපාට සිහින්විම් පිළිබදව පසුගිය සතියේ අප දැනුවත් කළා. නමුත් කුඩා අවදියේදි ඔබේ දරුවාට වැළදෙන රුමටික් උණ රෝගය නිසා දරුවා සදාකාලිකවම හෘද රෝගියෙක් වන බව ඔබ නොදන්නවා විය හැකියි. දැනටමත් ඔබේ දරුවා රුමටික් උණෙන් පෙළෙනවා නම් මේ ලිපිය කියවා ඔබේ දරුවාට කඩිනම් ප්‍රතිකාර සදහා යොමු කරන්න.

රුමටික් උණ යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?

රුමටික් උණ ලෙස හඳුන්වන්නේ Streptococcus නැමැති බැක්ටීරියාව ශරීරගතවීමෙන් උගුරේ ඇතිවන ආසාදනයක්. මේ ආසාදන තත්ත්වයට නිසි ප්‍රතිකාර නොලැබීමෙන් රුමටික් උණ තත්ත්වය ඇතිවන්නට පුලුවන්. අවසානයේ දී මේ තත්ත්වයත් උග්‍රවී හෘද වස්තුවටත් මෙය බලපාන්නට පුළුවන්.

මෙය හැඳින්වෙන්නේ Rheumatic Cardiotis යනුවෙන් මෙම බැක්ටීරියාව වැළඳුනු රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන්නට පුලුවන්. කිවිසුම් සහ ස්වසන ආශ්‍ර‍්‍රයෙන්, නමුත් Streptococcus බැක්ටීරියාව ශරීරගත වූ සියලුම දෙනාට රුමැටික් උණ සෑදෙන්නෙත් නැහැ. රුමටික් උණ සෑදුන සියලු දෙනාටම හෘද රෝග අවදානම ඇතිවන්නේත් නැහැ.

මෙම බැක්ටීරියා වෛරසය හෘද ආබාධයක් දක්වා ගමන් කරන්නේ කිනම් ආකාරයට ද?

මේ බැක්ටීරියාව ශරීරගත වීමේ දී ස්වභාවයෙන් අප සිරුරේ බැක්ටීරියාවට විරුද්ධව සටන් කිරීමක් (ප්‍රතිශක්තිය නිපදවීමක්) සිදු කෙරෙනවා. සිරුර තුළම නිපදවන මේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දී සිරුරේ ඇති ප්‍රතිදේහ බැක්ටීරියාවට විරුද්ධව සටන් කර විනාශ කරන අතරතුර සිරුරේ ඇති කපාට මේ සමඟ විනාශ වන්නට බොහෝදුරට ඉඩකඩ තිබෙනවා.

නිතර නිතර බැක්ටීරියා ශරීරගතවී උගුරේ ආසාදන තත්ත්වය ඇති වී ඒවාට නිසි ප්‍රතිකාර නොගත්තොත් රුමටික් උණ සෑදී අවසානයේ හදවතේ කපාට තුවාල වී හදවත අකර්මන්‍ය තත්ත්වයට පත්වනවා. කපාට සිහින් වීම නිසා කපාට වලින් රුධිරය ආපස්සට ගමන් කරන්නට පටන් ගන්නවා. බැක්ටීරියාව ශරීරගත වී උගුරේ ආසාදනය ඇතිවි සති 2 කට පමණ පසුව ඇකියුට් රුමටික් උණ හැදෙනවා.

ඇකියුට් රුමැටික් උණ තත්ත්වයේ රෝග ලක්ෂණ මොනවාද?

තද උණ ඇතිවීම, හන්දි ඉදිමීම, (මෙම හන්දි ඉදිමීම ඇති වන්නේ දණහිස, වළලුකර වැලමිට විලුඹ වැනි ප්‍රධාන හන්දිවලට පමණි.) හන්දි ඉදිමීමේ ස්ථාන දිනෙන් දිනට මාරු වීම සිදුවනවා. අද ඉදිමෙන්නේ දණහිස සන්ධිය නම් හෙට ඉදිමෙන්නෙන් වළලු කරයි. මෙහ හඳුන්වන්නේ මයිග්‍රේටරි පොලි ආතරයිටීස් යනුවෙනි.

එසේ ම චර්ම ආසාදනය (බිබිලි rash) ඇතිවීම, රුමැටික් නොඩියුල් Rheumatic nodule අත් යට කකුල්වල පිටුපස, ඔලුව පිටුපස කුඩා ගැටිති ඇති වීම, එසේම කෝරියා තත්ත්වයක් ඇතිවීම කෝරියා තත්ත්වය යනු අතපය වෙව්ලීම, හරිආකාරව වැඩකටයුතු කිරීමට නොහැකිවීම. අතපය ගැස්සීම, ක්‍රියා කිරීමට නොහැකිවීමයි.

මේ රෝගී තත්ත්වය ස්ථිරව සොයා ගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ මොනවාද?

මෙවැනි රෝග ලක්ෂණ ඇති රෝගීන්ගේ රුධිරය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිඵල ලෙස රුධිරයේ සුදු රුධිරානු වැඩිවීමක් පෙන්නුම් කරනවා. E.S.R වැඩිවනවා.

E.C.G.. පරීක්ෂණයක් කළොත් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. Throught sobe පරීක්ෂණය සිදු කර උගුරේ කුඩා Sobe එකක් අරගෙන බැක්ටීරියා රෝපණය කර Streptococcus බැක්ටීරියාව තිබේදැයි හඳුනා ගන්නවා. ASOT රුධිර පරීක්ෂණයක් මගිනුත් රුමැටික් උණ හඳුනාගත හැකැයි.

රුමටික් උණ මැඩපැවැත්වීම සඳහා සිදු කෙරෙන ප්‍රතිකර්ම මොනවාද?

Streptococcus බැක්ටීරියාව ට මැඩපැවැත්වීමට. පෙන්සිලින් නැමැති ඖෂධය ලබා දිය යුතුයි. Streptococcus බැක්ටීරියාවට පෙනිසිල් ඖෂධය අතිශයින් සංවේදීයි. රුමැටික් උණ රෝගීන්ට දියයුතු හොඳම ඖෂධය මෙයයි. මුල් අදියරේ පෙති ලෙස පෙනිසිලින් ලබා දුන්නද පසුව පෙනිසිලින් එන්නත් මාර්ගයෙන් සිරුරට ලබාදීමක් සිදු කෙරෙනවා. පෙනිසිලින් එන්නත මගින් බැක්ටීරියා විනාශ වනවා.

මේ බැක්ටීරියාව තිබෙන භයානකම තත්ත්වය වන්නේ රෝගය කෙනෙකුගෙන් තවකෙනෙකුට බෝවීමට හැකි වීමයි. ප්‍රථමයෙන් මේ බෝවීම වළක්වා ගැනීමට පෙනිසිලින් එන්නත් කරනවා.

එවිට රුමැටික් උණ තත්ත්වයටත් හෘද රෝග තත්ත්වයටත් වර්ධනය වීම වළක්වාගත හැකියි. මෙවැනි රෝගීන්ට හන්දි ඉදිමෙන්නට පටන් ගන්නවා. රෝගියාගේ හන්දි ඉදිමීම වළක්වා ගැනීමට Asprin භාවිතා කරනවා. මේ අයගේ හන්දි ඉදිමීම හරිම වේදනාකාරියි. ඒ නිසා Asprin විශාල මාත්‍රාවක් ලබාදිය යුතුයි.

මේ තත්ත්වය රෝගියාගේ හෘදවස්තුවට කොතරම් බලපා ඇත්දැයි බැලීමට Echocardiogram පරීක්ෂණය සිදු කරනවා. ඒ හරහා හදවතේ කපාටවලට මෙය කෙතෙක් දුරට බලපා තිබේ දැයි දැන ගත හැකියි. කපාටවලිනුත් මූලිකව බලපාන්නේ ද්විතුන්ඩ කපාටයට.

(mitral valves) සහ සංස්ථානික මහා ධමනිය මුල ඇති කපාටයයි. (Aortic valve) මේ බලපෑම නිසා කපාටය අකර්මන්‍ය වී ලේ ආපසු ගමන් කිරීමක් සිදුවනවා. මයිට්‍රල් වෑල්ව පිහිටා ඇත්තේ වම් කර්ණිකාවට සහ වට කෝෂිකාව අතර කෝෂිකාවට එන ලේ ආපසු යෑම වළක්වන්නේ මේ ද්විතුන්ඩ කපාටයෙන්.

රුමැටික් උණ සෑදී මේ කපාට තුවාල වූ විට භෲද වස්තුවේ ක්‍රියාවලියට බාධා පමුණුවනවා. ඉවතට යා යුතු රුධිරයෙන් කොටසක් ආපස්සට යනවා. එවිට හෘද වස්තුවේ සංකෝචනය හරියාකාරව සිදුවන්නේ නැහැ. මේ තුවාල තත්ත්වය සුවවීමේ දී කැළලක් ඇතිවනවා.

මේ කැලැල් සුවවීමේ දී කපාට සිහින් වනවා. කපාට හරහා තිබෙන පෘෂ්ඨිය අඩු වී කපාට සිහින් වී කර්ණිකාවේ සිට කෝෂිකාවට රුධිරය ගමන කිරීමට ආපහසු තත්ත්වයක් ඇතිවනවා. කපාට සිහින් වීම අවස්ථා හඳුන්වන්නේ Cronic Rheumatic heart disease යනුවෙන්. මෙයට හේතුව හරියාකාරව ප්‍රතිකාර නොගැනීමයි.

රුමටික් උණ රෝගය ඇතිවන්නේ කුමන වයස් කාණ්ඩවලට අයත් අයට ද?

අවුරුදු 5 – 12 දක්වා වූ පාසල් යන දරුවන්ට. සාමාන්‍යයෙන් අවුරුදු 18 – 20 වනතුරු හැදෙන්නට පුලුවන් නමුත් අවු. 40 ඉක්මවූ අයට හැදෙන්නේ නැහැ.

කුඩා අවදියේ හැදුණත් වයසට යද්දි මේ කපාට තුවාලවීම නිසා හදවත රෝගි වනවා.

මේ රෝගයෙන් සමනය වීමට ඔබ නිර්දේශ කරන්නේ කුමන ආකාරයේ ප්‍රතිකාර ක්‍රමයක් ද?

රුමටික් උණ සැදී හෘද වස්තුවට බලපෑ දරුවෙකුට දිය යුතු හොඳම ප්‍රතිකාර ක්‍රමය තමයි පෙනිසිලින් නික්ෂේපණය (injection) මෙය තට්ටමේ මාංශ පේශීන්ට එන්නත් කරනවා. රුමටික් උණ හෘදවස්තුවට බලපෑ දරුවෙකුට සති 3කට වරක් මේ එන්නත ලබා දිය යුතුයි.

සති 3 කට වරක් දිය යුතු වන්නේ මේ බැක්ටීරියාවට එරෙහිව සටන් කරන පෙනිසිලින්වල බලය සති 3කින් ක්‍රමයෙන් අඩු වී යන නිසා නැවත ආසාදනය ඇතිවන්නට පුලුවන්. ඇතැම් විට බොන බෙහෙතක් වශයෙන් ලබාදිය යුතුයි. එය එතරම් සාර්ථක නොවන්නට පුලුවන් මෙම එන්නත අතිශයින් වේදනාකාරි වුවත් එයින් ලැබෙන ප්‍රතිඵලය විශිෂ්ටයි. ඇතැමුන් පෙනිසිලින් එන්නතට බියයි.

කලාතුරකින් ආසාත්මිකතා ඇතිවන්නට ඉඩ තිබෙන නිසා පෙනිසිලින් ශරීරයට එන්නත් කිරීමට ප්‍රථම ආසාත්මිකතාවයට ලක්වේද යන්න රෝහල්වල පරීක්ෂා කෙරෙනවා. මේ එන්නත නොගෙන සිටියොත් ඇතැම් විට ජීවිතය පවා අහිමි වන්නට පුලුවන්.

කුඩා දරුවකුට රුමටික් උණ සෑදී හදවතට ස්වල්ප වශයෙන් බලපා ඇත්නම් ඒ දරුවාට වයස අවු. 18 – 20 වනතෙක් එන්නත නොකඩවා සති 3කට වරක් ලබාදිය යුතුයි. හෘද වස්තුවේ කපාට බොහෝමයකට හානි සිදුවී ඇත්නම් ඒ දරුවාට වයස අවුරුදු 40 වනතෙක් (Life long) මේ එන්නත ලබා දීමෙන් දරුවාගේ හදවත ආරක්ෂා කර දිය හැකියි.

බොරැල්ල රිචිවේ ආර්යා ලමා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ

දීප්ති ෆොන්සේකා

උපුටා ගැනීම දිනමින

ගොඩක් අයට ප්‍රෙයා්ජනවත් වෙයි අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top