දැනුම

අප විසින් ම ආහාරයට එක්‌ කරගනු ලබන වස විස

සෞඛ්‍යාරක්‌ෂිත, පෝෂ්‍යදායී ආහාර වේලක්‌ තම පවුලේ කෑම මේසයට එක්‌ කිරීම සැම පුද්ගලයකුගේ ම වගකීම සහ පැතුම වෙයි. මෙයට දශක කිහිපයකට පෙර මෙය ගෘහණිය සතු වගකීමක්‌ ලෙස සැලකුණ ද නූතන සමාජයේ එය පවුලේ සියලු ම සාමාජිකයන්ගේ වගකීමක්‌ බවට පත් වීම අගය කළ යුතු කරුණකි. එහෙත් එම ආහාරවලට කෘමිනාශක, රසායනික පොහොර, වල්නාශක සහ වෙනත් පරිසරයේ පවතින විෂ රසායන ද්‍රව්‍ය එක්‌ වීම පිළිබඳ ව සහ ඒවා පාලනය කිරීම පිළිබඳ ව මහජනතාවගේ උනන්දුවක්‌ වර්තමාන සමාජයේ ඇති වී ඇත.

මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස විෂ රසායන ද්‍රව්‍යවලින් තොර ව වගා කරන කාබනික ආහාරවලට නූතන සමාජයේ වැඩි ඉල්ලුමක්‌ ඇති වෙමින් පවතියි. එහෙත් මෙසේ ලබාගන්නා ආහාරවලට ආහාර පිසීමේ දී අප විසින් ම වස විස එක්‌ කරගන්නා බව ඔබ දන්නවා ද?

ආහාර පිසීමේ දී භාවිත වන වර්ණක ආහාරයේ පෙනුම වැඩිදියුණු කිරීමටත් ආහාර රුචිය වර්ධනයටත් ඉවහල් වෙයි. එහෙත් මේ කෘත්‍රිම ආහාර වර්ණක, අනුමත ආහාර වර්ණක සහ ආහාර සඳහා අනුමත නො වන වර්ණක වශයෙන් කාණ්‌ඩ දෙකකට බෙදෙයි. දැනට ශ්‍රී ලංකාවේ අනුමත කෘත්‍රිම ආහාර වර්ණක වනුයේ,

Carmoisine, Ponceau 4R, Erythrosine, Allura red, Sunset yellow FCF, Tartrazine, Indigotine, Indigo Carmine, Brilliant Blue FCF සහ Fast Green FCF ය.

Sunset yellow මඟින් වර්ණදේහවල වෙනස්‌කම් ඇති කරන බව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. එම නිසා මෙවැනි වර්ණක අනුමත වර්ණක වුව ද ඒවා ශරීරගත වීම, පිළිකා වැනි රෝග තත්ත්ව ඇති කිරීමට හේතු විය හැකි ය. සමහර ආහාර වර්ණක දරුවන්ගේ අධි ක්‍රියාකාරී (Hyperactive) රෝග තත්ත්වය වර්ධනය කිරීමට ඉවහල් වෙයි.

මෙසේ දරුවන්ගේ අධික්‍රියාශීලීත්වයට හේතු වන ආහාර වර්ණක ලෙස හඳුනාගෙන ඇත්තේ Tartrazine (E 102), Quinoline yellow (E 104), Sunset yellow FCF (E 110), Carmosine (E 122), Ponceau 4R (E 124) සහ Allura red (E 129) යන වර්ණක ය. මේ වර්ණක සමඟ දැක්‌වෙන E අගය යුරෝපීය රටවල ආහාර සඳහා අනුමත රසායන ද්‍රව්‍ය සඳහා ලබා දී ඇත.

මේ ආහාර වර්ණක සිසිල් බීම, අයිස්‌ පැකට්‌, රසකැවිලි, කේක්‌, අයිස්‌ක්‍රීම් ආදි ආහාර විශාල ප්‍රමාණයක අන්තර්ගත වෙයි. ඔබගේ දරුවා අධික්‍රියාශීලී හෝ අවධානය යොමු කිරීමේ අපහසුතාවකින් යුතු අධික්‍රියාශීලීත්වයකින් (Attention Deficit Hyperactive Disorder – ADHD) පෙළෙන්නේ නම් මේ වර්ණක ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම සුදුසු බව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත.

එහෙත් මේ රෝග තත්ත්වයන් ඇති වීම සඳහා ජාන සහ වෙනත් හේතුකාරක පවතින බැවින් මේ ආහාර වර්ණක ආහාරයෙන් ඉවත් කිරීම මඟින් පමණක්‌ විශාල ප්‍රගතියක්‌ ලබාගත නොහැකි වනු ඇත. එම නිසා දරුවාගේ ආහාර රටාව සහ හැසිරීම අධ්‍යයනයත්, වෛද්‍ය උපදෙස්‌ මත ආහාර වෙනස්‌ කිරීමත් සුදුසු වෙයි.

එසේ ම සමහරු අනුමත ආහාර වර්ණක ඉතා අධික සාන්ද්‍රණවලින් ආහාරයට මුසු කරති. ඔවුන් නො දන්නා කාරණය වනුයේ අනුමත ආහාර වර්ණක වුව ද අධි සාන්ද්‍රණයකින් යෙදූ විට එය ද ශරීරයට අහිතකර බවයි. එම නිසා අනුමත ආහාර වර්ණක වුව ද භාවිත කළ යුතු වනුයේ අවම වශයෙනි. දරුවන් වර්ණක යෙදූ වර්ණවත් ආහාරවලට රුචිකත්වයක්‌ දැක්‌වුව ද දරුවන් එහි විෂ සහිත බව පිළිබඳ ව දැනුවත් කිරීම මඟින් එවැනි වර්ණක යෙදූ ආහාර ගැනීමෙන් ඔවුන් වළකාලිය හැකි ය.

ශ්‍රී ලංකාවේ පාසලක මේ පිළිබඳ ව දැනුවත් වූ දරුවන් පිරිසකට වර්ණ යෙදූ සහ වර්ණකවලින් තොර අයිස්‌ පලම් දුන් විට ඔවුහු වර්ණක නො යෙදූ අයිස්‌ පලම් පමණක්‌ මිල දී ගත් හ. මෙමඟින් පෙන්නුම් කරනුයේ දරුවන්ට නිසි අධ්‍යාපනයක්‌ ලබා දීම මඟින් හොඳ ආහාර පුරුදු ඇති කළ හැකි බව ය. එසේ ම පාරිභෝගිකයන් මෙවැනි වර්ණක යෙදූ ආහාර ප්‍රතික්‌ෂේප කරන්නේ නම් ආහාර නිෂ්පාදකයෝ ද එවැනි වර්ණක, ආහාරවලට එකතු කිරීමෙන් වැළකී සිටිති.

එසේ ම නිවසේ පිසින ආහාර සඳහා ද අනවශ්‍ය ලෙස කෘත්‍රිම වර්ණක යෙදීමෙන් වැළකී සිටිය යුතු ය. මෙනිසා කෘත්‍රිම වර්ණක වෙනුවට කොචිනිල්, β – කැරොටින්, පැප්රිකා, ව්‍යංජන පිසීමේ දී යොදන කහ (Turmeric), ඇන්තොසයනින් වැනි කෘමීන් ගෙන් සහ ශාක මඟින් ලබාගන්නා ස්‌වාභාවික ආහාර වර්ණක ආදේශ කළ යුතු ය.

එසේ ම නූතන සමාජයේ චීන ආහාර ක්‍රමවේද පිළිබඳ ව උනන්දුවක්‌ ඇති වීමත් සමඟ ‘අජිනොමොටෝ’ හෙවත් ‘මොනො සෝඩියම් ග්ලූටමේට්‌ (MSG)’ ආහාරයට එක්‌ කිරීම සුලබ වී ඇත. අප විසින් කරන ලද පර්යේෂණයකින් පෙනී ඇත්තේ මොනො සෝඩියම් ග්ලූටමේට්‌ (MSG) මඟින් රසායනාගාර තත්ත්වයේ ඇති කරන ලද නෙමටෝඩාවකුගේ ජීවිත කාලය කෙටි කරන බවයි (විෙද්‍යාaදය සඟරාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය).

මේ නෙමටෝඩාවා මිනිසා සමඟ 80%ක ජාන සමානතාවක්‌ දක්‌වයි. එම නිසා මේ රසායන ද්‍රව්‍ය මිනිසාගේ ජීවන කාලය කෙටි කිරීමට ද ඉවහල් වීමට පුළුවන. වෙනත් පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ මේ රසායන ද්‍රව්‍ය මඟින් වකුගඩු රෝග ඇති කරන බවයි. මෙය මොළයේ ක්‍රියාකාරිත්වයට ද බලපාන අතර මීයන් යොදාගෙන කරන ලද අධ්‍යයනයන් මඟින් පෙන්වා දී ඇත්තේ මේ රසායන ද්‍රව්‍යය මඟින් මොළයේ හයිපොතැලමස ප්‍රදේශයේ රූප විද්‍යාත්මක වෙනස්‌කම් සිදු කිරීම නිසා මීයන්ගේ ක්‍රියාකාරිත්වය ඉතා ශීඝ්‍රයෙන් පහත හෙළන බව ය.

මොනො සෝඩියම් ග්ලූටමේට්‌ (MSG) හිසරදයට හේතු විය හැකි රසායන ද්‍රව්‍යයක්‌ වශයෙන් ජාත්‍යන්තර හිසරද වර්ගීකරණයේ තුන්වැනි සංස්‌කරණයෙහි (ICHD – III beta) සඳහන් වුව ද සමහර පරීක්‌ෂණවල පාලක පරීක්‌ෂණයේ හා පාලිත පරීක්‌ෂණයේ කැපී පෙනෙන වෙනසක්‌ නො දැක්‌වීම නිසා මේ පිළිබඳ ව තවදුරටත් අධ්‍යයනය නො කර නිගමනයකට එළඹිය නො හැකි වෙයි. ගැබිනි සමයේ දී මොනො සෝඩියම් ග්ලූටමේට්‌ (MSG) ලබා දුන් ඊරියන්ට උපන් පැටවුන්ගේ රුධිරගත මොනො සෝඩියම් ග්ලූටමේට්‌ (MSG) ප්‍රමාණය ඉතා අධික විය.

මේ අධ්‍යයන මඟින් පෙන්වා දෙනුයේ ගැබිනි සමයේ දී මොනො සෝඩියම් ග්ලූටමේට්‌ (MSG) සහිත ආහාර ගැනීම, කලලයට අහිතකර ලෙස බලපෑමට හැකි බව ය. කොත්තු සහ තෙම්පරාදු කර සකසන බත් සඳහා මොනො සෝඩියම් ග්ලූටමේට්‌ යෙදීම අත්‍යවශ්‍ය අංගයක්‌ ලෙස සමහර ආහාර නිෂ්පාදකයෝ සලකති. එහෙත් එම අවස්‌ථාවේ ම පිස දෙන මෙවැනි ආහාර මිල දී ගැනීමේ දී අජිනොමොටෝ නො දමන ලෙසට ඉල්ලීම් කළ හැකි ය. භෝජනාගාරයකින් ආහාර මිල දී ගන්නා විට අජිනොමොටෝ නො දැමූ ආහාර පමණක්‌ ඉල්ලා සිටීම මඟින් ආහාර නිෂ්පාදකයන් අජිනොමොටෝ යොදා ආහාර පිසීමට ඇති නැඹුරුව අඩු කළ හැකි ය.

එසේ ම ආහාරයට එක්‌ වන ලුණු ප්‍රමාණය ද වැදගත් ය. අධික ලුණු සහිත ආහාර අනුභවයට ගැනීම අධික රුධිර පීඩනය ඇති වීමට හේතු වෙයි. එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය සඳහන් කරනුයේ අධික රුධිර පීඩනය බොහෝ විට රෝග ලක්‌ෂණවලින් තොර බැවින් බොහෝ පුද්ගලයන් තමන් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බව නො දන්නා බවයි.

වැඩිහිටි පුද්ගලයකු දිනකට ලබාගන්නා ලුණු ප්‍රමාණය 6 ටකට එනම් සෝඩියම් 2.4 ටකට සීමා කළ යුතු ය. මෙය ආසන්න වශයෙන් ලුණු තේ හැන්දක ප්‍රමාණයකට සමාන වෙයි. මෙහි දී මතක තබාගත යුතු කරුණක්‌ වනුයේ මේ ලුණු ප්‍රමාණය අප ආහාරයට එකතු කරන ලුණුවලට අමතර ව, ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදකයන් විසින් එකතු කරනු ලැබ ඇති ලුණු සහ ස්‌වාභාවික ව පවතින ලුණු ප්‍රමාණ ද එකතුව ගත් කල මේ සීමාව නො ඉක්‌මවිය යුතු බව ය. දරුවන් ලබාගත යුතු දෛනික ලුණු ප්‍රමාණය දරුවාගේ වයස අනුව තීරණය වෙයි.

වයස අවුරුදු 1 සිට 3 දක්‌වා – 2 ට

වයස අවුරුදු 4 සිට 6 දක්‌වා – 3 ට

වයස අවුරුදු 7 සිට 10 දක්‌වා – 5 ට

වයස අවුරුදු 11ට වැඩි – 6 ට

වයස වසරකට අඩු (මාස 0ත් 12ත් අතර) දරුවන්ගේ වකුගඩු හොඳින් වර්ධනය වී නොමැති බැවින් ඔවුන් දිනකට 1 ටට වඩා ලුණු ආහාරයට ගැනීම අහිතකර ය. මවුකිරිවලින් පෝෂණය වන දරුවන්ට මවුකිරි මඟින් අවශ්‍ය ලුණු සහ ලවණ ලැබෙයි. ළදරුවන් සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති ළදරු කිරිපිටි වර්ගවල ද දරුවාට දිනකට අවශ්‍ය ලුණු සහ ලවණ අන්තර්ගත වෙයි. එම නිසා ළදරුවන්ගේ ආහාරවලට ලුණු මිශ්‍ර නො කළ යුතු ය.

පවුලේ අනෙකුත් පුද්ගලයන්ට සකසන ආහාරවලින් ම බිළිඳුන්ට ආහාර ලබා දෙන විට ලුණු ප්‍රමාණය පිළිබඳ ව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය. කරවල, චීස්‌, යීස්‌ට්‌ සාර, සෝයා සෝස්‌, ආහාර රස ගැන්වීමට භාවිත කරන සුප් කැට, අච්චාරු, වියළි ඉස්‌සන්, ලුණු දැමූ කජු සහ රටකජු ආදිය අධික ලුණු ප්‍රතිශතයක්‌ සහිත ආහාර වෙයි.

මේ ආහාර සීමා සහිත ව ආහාරයට එක්‌ කරගත යුතු වෙයි. එසේ ම ලුණුවලට අප ඇබ්බැහි වන බැවින්, ක්‍රමානුකූල ව ආහාරයට එකතු කරන ලුණු ප්‍රමාණය අඩු කිරීම මඟින්, අඩු ලුණු ප්‍රමාණයක්‌ සහිත ව ආහාර ගැනීමට පුරුදු විය හැකි ය.

අප විසින් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශය සමඟ එක්‌ ව ශ්‍රී ලාංකීය වෙළෙඳසල්වල විකිණීමට ඇති ආහාරවල ලුණු ප්‍රමාණය සහ ආහාර වර්ණක භාවිතය පිළිබඳව දැනට පර්යේෂණ කටයුතු සිදු කෙරෙමින් පවතියි.

අප කවුරුත් දන්නා කරුණක්‌ වනුයේ දියවැඩියා රෝගීන් සීනි භාවිතය අඩු කළ යුතු බව ය. එහෙත් අධික ලෙස සීනි ආහාරයට ගැනීම නිරෝගී පුද්ගලයන්ගේ ස්‌ථුලභාවය ඇති කිරීමට හේතු වන අතර, ස්‌ථුලභාවය සමහර පිළිකා, හෘද රෝග සහ දියවැඩියාව ඇති කිරීමට හේතු වෙයි. ලුණු මෙන් ම සීනි ද ඇබ්බැහි වීම ඇති කරන ද්‍රව්‍යයක්‌ වන බැවින් එය ක්‍රමානුකූල ව අඩු කිරීම මඟින් අඩු සීනි සහිත ආහාරවලට හුරු විය හැකි ය. වැඩිහිටියකු දිනකට සීනි 30 ටකට (සීනි තේ හැඳි 7ක්‌ පමණ) සීමා වන සේ ආහාරයට ගත යුතු අතර, වයස වසර 7ත් 10ත් අතර දරුවකු

24 ට ද (සීනි තේ හැඳි 6ක්‌ පමණ), වසර 4 සිට 6 දක්‌වා දරුවකු 19 ට (සීනි තේ හැඳි 5ක්‌ පමණ) සීමාවකට යටත් ව සීනි ලබාගත යුතු ය. මෙයට අප විසින් තේ සෑදීමේ දී යොදනු ලබන සීනි ප්‍රමාණයට අමතර ව අනෙකුත් ආහාර පාන මඟින් ලැබෙන සීනි ද අයත් වෙයි. මේ පාලනය කළ යුතු සීනි තේ, රසකැවිලි, පලතුරු යුෂ සහ සිසිල් බීමවල අන්තර්ගත වන සීනි වෙයි. එහෙත් අප ස්‌වාභාවික ව පලතුරු, එළවළු සහ කිරිවල අන්තර්ගත සීනි පාලනය කළ යුතු නැත.

ලුණු, සීනි, ආහාර වර්ණක සහ අජිනොමොටෝ (MSG)වලට අමතර ව තවත් අප ආහාර පිසීමේ දී සැලකිලිමත් විය යුතු කරුණක්‌ වනුයේ ආහාරයට එක්‌ කරන තෙල් හෝ මේද ප්‍රමාණය පිළිබඳ ව ය. ආහාරයට ගන්නා තෙල්, සංතෘප්ත සහ අසංතෘප්ත ලෙස කාණ්‌ඩ දෙකකට බෙදෙයි. මෙහි දී අප සැලකිලිමත් විය යුතු වනුයේ සියලු ම තෙල් වර්ග සමස්‌තයක්‌ ලෙස අඩු කිරීමත් සංතෘප්ත තෙල් වෙනුවට අසංතෘප්ත තෙල් යොදා ආහාර සැකසීමත් කෙරෙහි ය.

මෙයට හේතු වනුයේ සංතෘප්ත තෙල් හෘද රෝග සෑදීමට හේතු වන බව පර්යේෂණ මඟින් පෙනී යැමයි. සංතෘප්ත තෙල් බොහෝ විට මස්‌ වර්ග සහ කිරි ආහාරවල අඩංගු වන බැවින් මස්‌ වර්ගවලට වඩා මාළු ආහාරයට එක්‌ කරගැනීමට උනන්දු විය යුතු ය. සකසන ලද මස්‌ (Processed Meat) මිනිසාට පිළිකා සෑදීමට හේතු වන බව ඇමෙරිකානු පිළිකා සංගමය පවසයි. බොහෝ විට ශාක තෙල් අසංතෘප්ත වන නමුත් පොල් තෙල් සංතෘප්ත ගණයට අයත් වෙයි. පොල් තෙල් ශරීරයට හිතකර ද අහිතකර ද යන්න විවාදයට ලක්‌ වී ඇති කරුණකි.

අධික වශයෙන් තෙල් ආහාරයට ගැනීම බෝ නො වන ලෙඩ රෝග වැළඳීමට හේතුකාරක වුව ද තෙල් යනු ආහාරයට අඩංගු විය යුතු අංගයකි. සෛල පටල සැකසීම සහ ශක්‌ති ප්‍රභවයක්‌ ලෙස ශරීරයට තෙල් අවශ්‍ය වෙයි. එහෙත් ශක්‌ති ප්‍රභවයක්‌ ලෙස භාවිත නො වන තෙල් ශරීරයේ තැන්පත් වීම මඟින් ස්‌ථුලභාවය ඇති වෙයි. මෙය රෝග රාශියකට මුල පිරීමකි. එම නිසා මඳ වශයෙන් තෙල් ආහාරයට අඩංගු විය යුතු ය.

වැඩිහිටි පිරිමි අයකු දිනකට සංතෘප්ත මේද 30 gට වඩා ලබා නො ගත යුතු අතර වැඩිහිටි කාන්තාවකට එම සීමාව දිනකට 20 g වෙයි. සංතෘප්ත මේද මෙන් ම ට්‍රාන්ස්‌ ආකාරයට පවතින තෙල් ද ආහාරයට ගැනීම අවම කළ යුතු ය. මේ ට්‍රාන්ස්‌ තෙල් ආකාරය බොහෝ විට ස්‌වාභාවික ව මඳ වශයෙන් ආහාරවල අඩංගු වන අතර ඒවා බහුල වනුයේ හයිඩ්‍රජනීකරණය කර සකසන මාගරින් වැනි ආහාරවල ය.

බොහෝ දියුණු රටවල සුපිරි වෙළෙඳසල්වල මේ හයිඩ්‍රජනීකරණය කර සකසන තෙල් සහිත ආහාර විකිණීම නවතා ඇත. ශ්‍රී ලංකාව වැන දියුණු වෙමින් පවතින රටවල ද මහජනතාව මේ පිළිබඳ ව දැනුවත් කිරීම මඟින් ආහාර වෙළෙඳසල්වල එවැනි ආහාර විකිණීම නවතා ලීමට හැකි වනු ඇත. වැඩිහිටියන් දිනකට ට්‍රාන්ස්‌ ආකාරයේ තෙල් 5 gකට වඩා ලබා නො ගත යුතු ය.

සමහර ඔමේගා – 3 සහ ඔමේගා – 6 අසංතෘප්ත තෙල් වර්ග ශරීරයට අත්‍යවශ්‍ය වන අතර ඒවා අප ශරීරයට නිෂ්පාදනය කරගත නො හැකි, ආහාර මඟින් ලබාගත යුතු අත්‍යවශ්‍ය කාණ්‌ඩයකි. මේ අත්‍යවශ්‍ය තෙල් වර්ග මැකරල්, සැමන්, සාඩින් වැනි මත්ස්‍ය වර්ගවල ද සූර්යකාන්ත තෙල් සහ ඉරිඟු තෙල්වල ද ඇත. එම නිසා එවැනි ආහාර ආහාරයට එක්‌ කරගැනීම සුදුසු ය.

අපි සමහර විට කල් ඉකුත් වී දිලීර (පුස්‌) වැඩුණු ආහාරවල එම දිලීර සහිත කොටස්‌ ඉවත් කර ආහාරයට ගැනීමට පෙලඹෙමු. එහෙත් දිලීරවල, දිලීර ජාලය ආහාරයේ අභ්‍යන්තර කොටස්‌වල වැඩුණ ද අප හට දිලීර සහිත ලෙස දිස්‌ වනුයේ ඒවායේ බීජාණු සහිත ප්‍රදේශ පමණි.

මේ සමහර දිලීර වර්ග මඟින් ඇෆ්ලටොක්‌සීන් (Aflatoxins) නමැති පිළිකාකාරක රසායන ද්‍රව්‍යයක්‌ නිපදවයි. මෙයින් වඩාත් ම ප්‍රචලිත වනුයේ රටකජුවල ප්‍රධාන වශයෙන් මේ විෂ රසායන ද්‍රව්‍ය නිපදවීමට හේතු වන Aspergillus flavus නමැති දිලීරයයි. මේ විෂ රසායන සහිත ආහාර ගන්නා සතුන් ගෙන් ලබාගන්නා මස්‌ සහ කිරිවල ද එම විෂ රසායනය අන්තර්ගත වෙයි.

එසේ ම මේ විෂ රසායන ද්‍රව්‍ය සහිත ආහාර ගන්නා කිරි දෙන මවුවරුන්ගේ මවු කිරිවල ද එම විෂ රසායන ද්‍රව්‍ය අන්තර්ගත වෙයි. එමඟින් එම විෂ රසායන ද්‍රව්‍ය මවු කිරෙන් පෝෂණය වන දරුවාට ද ඇතුළු වෙයි. එම නිසා කල් ඉකුත් වී දිලීර වැඩුණු ආහාර අනුභව නො කළ යුතු ය.

පාරිභෝගිකයන් දැනුවත් වන විට ආහාර නිෂ්පාදකයන් ද සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරනු ඇත. මෙසේ සකසන ආහාරය ප්ලාස්‌ටික්‌ දවටනවල නො ව කෙසෙල් කොළයේ ඔතා ආහාරයට ගැනීමට හැකි නම් එය වඩාත් සෞඛ්‍ය සම්පන්න වනු ඇත. එසේ ම ඇඹුල් ද්‍රව්‍ය වන බිලිං, දෙහි, සියඹලා, තක්‌කාලි, ගොරකා ආදිය යොදා සකසන ආහාර කිසිදු විටෙක වත් ඇලුමිනියම් ආදි ලෝහ භාජනවල නො පිසිය යුතු ය. ලෝහ ආම්ලික (ඇඹුල්) ද්‍රව්‍යවල දිය වන බැවින් එවැනි ආහාර ගැනීම මඟින් විෂ ලෝහ වර්ග ශරීරගත විය හැකි ය.

මෙසේ ආහාර මිල දී ගැනීමේ දී, සැකසීමේ දී සහ අනුභව කිරීමේ දී ආහාර වර්ණක, අජිනොමොටෝ (MSG), ලුණු ප්‍රමාණය, සීනි ප්‍රමාණය, තෙල් හෝ මේද ප්‍රමාණය සහ කල් ඉකුත් වන දිනය පිළිබඳ ව අවධානය යොමු කිරීමත්, ආම්ලික ආහාර මැටි, වීදුරු වැනි ලෝහ නො වන භාජනවල පිසීම සහ පිළිගැන්වීමත් මඟින් සෞඛ්‍යාරක්‌ෂිත පෝෂ්‍යදායී ආහාර වේලක්‌ තම පවුලේ කෑම මේසයට එකතු කිරීමට අපට හැකි වනු ඇත.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ
ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ – D කාණ්‌ඩයේ

ආචාර්ය හෙලනි මුණසිංහ සහ
වෛද්‍ය දුලීන් හපුතන්තිරි
MBBS” MRCGP (INT).

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top