News

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් සිදු වී නැත – නීතිපති

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් නොවන බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණට පෙන්වා දී තිබේ.

Image result for අධිකරනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතලවලට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයට එක්වෙමින්  නීතිපතිවරයා කියා සිටියේ ව්‍යවස්ථාවේ 33/2 වගන්තිය යටතේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි බවයි.

එමෙන්ම එම බලතලයට ව්‍යවස්ථාවේ වෙනත් කිසිදු වගන්තියකින් සීමා පනවා නොමැති බවද නීතිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවයි ඔහු තවදුරත් පෙන්වා දුන්නේ.

ව්‍යවස්ථානුකූලව එය සිදුකර ඇති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සියල්ල නිශ්ප්‍රභා කරන ලෙසද නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම් විභාගය අද (13) දෙවන දිනටත් සිදු කෙරෙන්නේ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේයි.

අද උදෑසන 10ට පමණ පෙත්සම් විභාගය ආරම්භ කෙරුණු අතර මීට ටික වෙලාවකට පෙර තේ විවේකය සඳහා විනාඩි 15ක කාලයකට පෙත්සම් විභාගය කල් තබනු ලැබුවා.

ඒ වනවිට නීතිපතිවරයා පැය එකහමාරකට අධික කාලයක් මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිටියා.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද පෙත්සම් 5ක් ගොනු කෙරුණා.

අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස්, සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජික නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත සහ මහාචාර්ය චන්න ජයසුමන විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මීට අමතරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව තවත් පෙත්සම් 5ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කෙරුණා.

පෙත්සම් විභාගය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.

අදත් පෙත්සම් විභාගය සිදු කෙරෙන ආකාරය දැක බලා ගැනීම සඳහා පක්ෂ විපක්ෂ නියෝජිතයින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණියා.

අනිත් අයටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top