ඔබ ක්‍රමවත් කෙටි සටහනක් සාදා ගැනීමට නම් ඔබ සතුව ක්‍රමවත් ප්‍රධාන සටහනක් තියෙන්න ඕන. ක්‍රමවත් ප්‍රධාන සටහනක් යනු අදාළ විෂය ආශ්‍රිතව ඔබ පාසලේදී හෝ උපකාරක පන්තියේදී ලියාගත් සටහනයි. මන්ද ඔබගේ කෙටි සටහනට පාදම වෙන්නේ මෙකී ප්‍රධාන සටහනයි. එනිසා ඔබගේ ප්‍රධාන සටහන සියලු විෂය කරුණු සහිතව ක්‍රමවත්ව තිබිය යුතු අතර එහි ඇති මගහැරුණු විෂය කරුණු යහළුවකුගෙන් හෝ බලා සම්පූර්ණ කරගත යුතුයි.

මේ කරුණ මවිසින් මුලින්ම සඳහන් කරන්න යෙදුණේ එහි මනෝවිද්‍යාත්මක පසුබිමක්ද තිබෙන හෙයිනි. මන්ද අපගේ මනස මොනම අවස්ථාවකවත් අපිළිවෙළ සහිත දෙයක් පිළිගන්න
සූදානම් නෑ. එනිසා ඔබගේ ප්‍රධාන සටහනත් මා මුලින් කියූ පරිදි පිළිවෙළට ක්‍රමවත්ව පැහැදිලි අත් අකුරින් තිබිම වැදගත්. එසේ වීමේදී එය ඔබට කෙටි සටහන් සාදාගැනීමට පහසු වෙනවා. එසේ නොමැතිව ඔබගේ ප්‍රධාන සටහන කරුණු මගහැරී අපහැදිලිභාවයකින් සහ අක්‍රමවත් බවින් යුක්ත නම් ඉන් ඔබට සාර්ථක කෙටි සටහනක් සාදාගන්න බෑ. දැන් අපි බලමු කෙටි සටහන සාදාගැනීමේ ක්‍රමවේදය, මෙහිදී ඔබ විසින් පියවර හතරක් අනුගමනය කළ යුතුයි. ඉන් පළමු
පියවර තුන වෙන්නේ ප්‍රධාන සටහන කියවීමයි. එයත් ක්‍රම විධි තුනක් ඔස්සේ කළ යුතුයි.
පළමු කියවීම
ඔබගේ ප්‍රධාන සටහන ඉතා සැහැල්ලු මනසකින් යුක්තව පළමුවර කියවාගෙන යා යුතුයි. උදාහරණයක් ලෙස අප එදිනෙදා පුවත්පතක් කියවන ආකාරයට නිදහස් මනසින් කියවිය යුතුයි.
දෙවන වර කියවීම
දෙවනවර කියවීමේදී පෙරට වඩා ඕනකමින් සහ අවධානයෙන් කියවිය යුතු අතර වැදගත් කරුණු විවිධ පාටවලින් යුත් පෑනකින් ඉස්මතු කර දැක්වෙන පරිදි ඉරි ඇඳ ගැනීමට පුළුවන. එහිදී නිර්වචන, වැදගත් කරුණු, ඉතාම වැදගත් කරුණු යනාදී වශයෙන් වෙන්කරගෙන පෑනෙන් සලකුණු යෙදීම කළහැක.
නමුත් සටහන පිරෙන්න වර්ණ යෙදීම නොකළ යුතුයි.
තෙවනවර කියවීම
පෙරදී අවධානයට ලක්නොවූ කරුණු ඇත්නම් එකී කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් වඩාත් හොඳින් කියවිය යුතු අතර මගහැරුණු කරුණු සටහන් කරගැනීම තෙවනවර කියවීමේදී කළ හැක.
සටහන සාදා ගැනීම
සිව්වැනි පියවරේදී ඔබ විසින් වර්ණ යොදා සටහන් කෙටි සටහනට ගැනීම කළ යුතු වේ.
කෙටි සටහනේ සැකැස්ම
බොහෝ අධ්‍යාපනඥයින්ගේ මතය වනුයේ කෙටි සටහනක් කුඩා තීරුවක ඉතා කුඩා ආකාරයෙන් ලිවීම ඵලදායී බවයි. ඒ අනුව කෙටි සටහනක් සඳහා ඒ4 කොළයක් දෙකට නවා සාදාගත් ප්‍රමාණය වඩාත් සුදුසු වේ. ඉන්පසු එකී ඉඩ ප්‍රමාණය තුළ ද අඟල් 1/2ය බැගින් සතර පැත්තෙන්ම ඉඩ තබා කෙටි සටහන ලියා ගත යුතුවේ. මෙසේ සතර පැත්තෙන්ම ඉඩ තබාගනුයේ මනසට එය කියවීමේ පහසුව සඳහා වේ. ඉන්පසු ප්‍රධාන මාතෘකා නිර්වචන වැදගත් කරුණු පිළිවෙළින්
පහළට ලියාගෙන යා යුතු වේ. එහිදී කරුණු දෙකක් අතරද පරතරයක් සහිතව ලිවිය යුතු අතර නිර්වචන වඩාත් වැදගත් කරුණු යනාදිය සඳහා විවිධ වර්ණ භාවිතා කළ හැක. එමෙන්ම ඔබගේ ප්‍රධාන සටහනෙන් උපුටාගත් කරුණුවලට අතිරේකව වෙනත් පතපොතින් උපුටාගත් කරුණුද කෙටි සටහනට ඇතුළත් කරන්න ඔබට පුළුවන්.
කෙටි සටහන් සාදාගැනීමේප්රයෝජන
කෙටි සටහනක් සාදාගැනීමේ ප්‍රයෝජන රාශියක් තියෙනවා. පළමුවැන්න තමයි පාඩම් කිරීමේ පහසුව. විශාල ප්‍රමාණයේ සටහනක් කියවනවාට වඩා කෙටි සටහනක් බලාගැනීම පහසුයි. ඒවගේම විශාල සටහනක් කියවීමට පැය භාගයක් ගතවනවා නම් කෙටි සටහනත් විනාඩි තුන හතරකින් කියවා නිම කරන්න පුළුවන්.
මතක තබාගැනීමේදී කෙටි සටහන් ඉතා ඉක්මණින් මතකයට නගා ගන්න පුළුවන්. ඒ වගේ වැඩි විෂය කරුණු ප්‍රමාණයක් ඉක්මනින් ආවරණය කරගැනීමේ හැකියාව කෙටි සටහන නිසා ලැබෙනවා.
අනෙක් අතට විභාගය ආසන්නයේදී මනසට දැනෙන පීඩනය අඩුකරගැනීමේ එක් මාර්ගයක් ලෙසත් කෙටි සටහන් හඳුන්වන්න පුළුවන්. විශාල සටහන් මනසට පීඩනය වැඩි කරන අතර කෙටි සටහන් තුළින් මානසික සැහැල්ලු භාවය ඇතිකරනවා. තවද විභාග භීතිකාව අඩුකර ගැනීමටත් කෙටි සටහන් අපට උදව් වෙනවා.
මේ සියලු කාරණා වගේම කෙටි සටහන අපට ඕනෑම තැනක රැගෙන ගොස් පාඩම් කිරීමේ හැකියාව නිසා බසයේදී හෝ වෙනත් ඕනෑම ස්ථානයකදී පාඩම් කරන්න පුළුවන්.
අවසාන වශයෙන් මෙවර උසස් පෙළට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියන්න තියෙන්නේ අවසන් මාස දෙක ඇතුළතවත් කෙටි සටහන් භාවිත කරමින් පාඩම් කරන්න. පසුගිය ප්‍රශ්න පත්රවලට පිළිතුරු ලිවීම මෙන්ම අඩු තරමේ පැය පහක නින්දක් ලැබිම ඔබ පාඩම් කරන දේ මතකයේ වඩාත් හොඳින් රැඳෙන්න උදව්වන බවත් මතක තියාගන්න.
යාළුවන්ටත් බලන්න SHARE කරන්න