පිටසක්වල ජීවීන් යනු කවදත් පෘථිවි වාසීන් තුළ කුතුහලය දැනවූ කොට්ඨාසයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙවැනි ජීවින් අතීතයේ පෘථිවියට පැමිණ ඇති බවටද විවිධ කතන්දර පවතින අතර පිටසක්වල යානා යයි සැලකුණු යම් යම් ආකාශ වස්තූන් ආදිය ඇතැමුන්ට දැක ගන්නට ලැබි ඇති බවටද එවැනිම කතන්දර තිබේ.

කෙසේ නමුත් මේවායේ ඇත්ත නැත්ත ගැන තවමත් හරියාකාරව කිසිවක් පැවසිය නොහැක. බොහෝ විද්‍යාඥයින් නම් සිතන්නේ මේ කතාවල එතරම් සත්‍යයක් නැති බවයි. නිදසුනක් ලෙස පිටසක්වල යානා ලෙස පෙනී ගිය බොහෝ දෑ ස්වාභාවික සංසිද්ධීන් වරදවා වටහා ගැනීමෙන් ඇති වූ මායාවන් බව බොහෝ විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
මේ කාරණා කෙසේ වෙතත් පිටසක්වල ජීවීන් කියා කොටසක් සිටිනවාදැයි සෙවීමේ උත්සාහයන් නම් විද්‍යාඥයින් අත්හැරීමට සූදානම් බවක් පෙනෙන්නේ නැත. දැන් බොහෝ කාලයක සිටම මෙවැනි උත්සාහයන් මහා පරිමාණයෙන් සිදු වෙමින් ඇති බව රහසක් නොවේ. ‘සෙටි’ (SETI- Search for Extra Terrestrial Intelligence) යනුවෙන් හැඳින්වෙන ව්‍යාපෘතිය මේ සඳහා හොඳම උදාහරණයකි.

මෙම ව්‍යාපෘතියෙන් ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ පිටසක්වල ජීවීන් නිකුත් කිරීමට ඉඩ ඇති ගුවන් විදුලි තරංග වැනි දේ අල්ලා ගැනීම සඳහා විමසිල්ලෙන් සිටීමයි. ‘සෙටි’ වැනි ව්‍යපෘති ආරම්භ කර දැන් දශක ගණනාවක් ගත වී ඇතත් තවමත් කිසිදු ප්‍රතිඵලයක් ලැබි නොමැති වීම පිටසක්වල ජීවීන් පිලිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් තුළ කිසියම් කණස්සල්ලක් ඇති කිරීමට හේතු වී ඇති බවක්ද පෙනේ.
මේ අතර පිටසක්වල ජීවීන් ගැන සෙවීමේදී යොදා ගත හැකි තවත් ක්‍රමයක් ලෙස සැලකුණේ ‘ඩයිසන් ගෝලයන්’ (Dyson Spheres) යනුවෙන් හැඳින්වුණු දැවැන්ත, සුපිරි ගොඩනැගීම් පිලිබඳව විමසිලිමත් වීමයි. (රූප සටහන බලන්න). ඩයිසන් ගෝලයන් යනුවෙන් හැඳින්වෙන්නේ කිසියම් තාරකාවක් වටා පිටසක්වල ජීවීන් කොට්ඨාසයක් විසින් ඉදි කරනු ලැබිමට ඉඩ ඇතැයි විශ්වාස කෙරෙන දැවැන්ත ආකෘතියකි.
මෙවැනි ආකෘතියකින් බලාපොරොත්තු වන්නේ අදාල තාරකාවෙන් නිකුත්වන බල ශක්තිය එක්රැස් කර එකී ජීවින්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමයි. මේ මෑතක, ටැබිගේ තාරකාව යනුවෙන් හඳුන්වන ලද තාරකාවක් වටා මෙවැනි ආකෘතියක් තිබේද යන සැකයක් තාරකා විද්‍යාඥයන් තුළ ඇති වී ඒ පිළිබඳ විශාල සොයා බැලීමක් ද සිදු කරනු ලැබිණි. මෙවැනි සැකයක් ඇති වූයේ මෙම තාරකාවෙන් නිකුත් වන ආලෝකයෙහි අසාමාන්‍ය අඩුවැඩි වීම් නිරීක්ෂණය වූ නිසාය.
එසේ වන්නේ එම තාරකාව ඩයිසන් ගෝලයක් වැනි ආකෘතියකින් ආවරණය වී තිබිම නිසාද වැනි සැකයක් විද්‍යාඥයන් තුළ ඇති වී තිබිණි. ටැබි ගේ තාරකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1400 ක් පමණ දුරින් පිහිටි තාරකාවකි. කෙසේ නමුත් තවමත් මේ පිලිබඳව නිශ්චිතව යමක් තහවුරු වී නැති බවද දැකිය හැකි වේ.
කෙසේ හෝ වේවා පිටසක්වල ජීවීන් ගැන සෙවීමේදී භාවිතා කෙරෙන ඉහත කී උපායන් දෙක තුළම පැවති එක් දුර්වලතාවක් ගැන මේ වනවිට තාරකා විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබේ. එනම් මෙම උපායන් සාර්ථක වීමට නම් අප සොයන ජීවීන් කොට්ඨාසය තාක්ෂණික වශයෙන් ඉතාම දියුණු ජීවීන් කොට්ඨාසයක් විය යුතු වීමයි. පෘථිවිය වැනි, ආලෝක වර්ෂ ගණන් ඈත පිහිටි ග්‍රහලෝකයකට ළඟා වීමට ශක්තිය ඇති ගුවන් විදුලි තරංග නිකුත් කිරීමට මෙන්ම ඉහත කී ආකාරයේ අති සංකීර්ණ ඩයිසන් ගෝලයන් නිර්මාණය කිරීමට ද හැකි වන්නේ එවැනි ඉතාම දියුණු ජීවීන් කොට්ඨාසයකට පමණි.

මෙම පසුබිම තුළ හෙක්ටර් සෝකාස් නවාරෝ නැමැති විද්‍යාඥයෙකු විසින් මෑතක පළ කරන ලද පත්‍රිකාවක් සම්බන්ධයෙන් මේ දිනවල මෙම ක්ෂේත්‍රය තුළ කතාබහක් ඇති වී තිබේ. හෙක්ටර් නවාරෝ ගේ අදහස වන්නේ තාක්ෂණික වශයෙන් අපට වඩා ඉතා දියුණු, සුපිරි ජීවීන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අප පොට වරද්දා ගැනීමක් විය හැකි බවයි.
ඒ වෙනුවට එයට වඩා වෙනස් ප්‍රවේශයක් යෝජනා කිරීමට ඉහත කී පත්‍රිකාවෙන් ඔහු පියවර ගෙන තිබේ. හෙක්ටර් නවාරෝ පවසන්නේ යම් ග්‍රහලෝකයක වෙසෙන පිටසක්වල ජීවීන් ගුවන් ගත කර තිබෙන්නට ඉඩ ඇති කෘත්‍රිම චන්ද්‍රිකා සහ ඒ ඔස්සේ ගොඩ ගැසී තිබෙන අභ්‍යවකාශ අපද්‍රව්‍ය (Space Junk) පිලිබඳ විමසිලිමත් වීම එයට වඩා ප්‍රායෝගික විය හැකි බවය.
මේ හරහා, මතෛක් අප සොයමින් සිටි සුපිරි මට්ටමේ ජීවීන්ට වඩා තාක්ෂණික දියුණුව අතින් අඩු මට්ටමේ ජීවීන් ගැන වුවද අවධානය යොමු කිරීමට හැකි වන බව ඔහුගේ විශ්වාසයයි. මන්ද යත් චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම වැනි කටයුත්තක් සඳහා අති විශාල තාක්ෂණික දියුණුවක් අවශ්‍ය නොවන බැවිනි. තාක්ෂණික වශයෙන් අපේ මට්ටමේ සිටින ජීවීන් පිරිසකට වුව එය කළ හැකි දෙයකි.
කාලයක් තිස්සේ මෙවැනි කෘත්‍රිම චන්ද්‍රිකා ගුවන් ගත කරමින් සිටින යම් ජීවීන් කොටසක් ඈත ග්‍රහලෝකයක සිටී නම් මේ වනවිට ඔවුන් එවැනි චන්ද්‍රිකා ඉතා විශාල සංඛ්‍යාවක් ගුවනට එක් කර තිබෙන්නට ඉඩ ඇති බවත්, ඒවා අදාල ග්‍රහලෝකය වටා ගමන් කරමින් තිබෙන්නට ඉඩ ඇති බවත් මෙහිදී පෙන්වා දෙනු ලැබේ. එමෙන්ම එවැනි චන්ද්‍රිකා ආදිය නිසා ඉතිරි වූ අභ්‍යවකාශ අපද්‍රව්‍ය ද මෙම ග්‍රහලෝක වටා බෙහෙවින් ගොඩ ගැසී තිබෙන්නට ඉඩ ඇති බවද නවාරෝ පෙන්වා දෙයි.
එය එසේ නම් වැඩි කරදරයකින් තොරව මෙවැනි චන්ද්‍රිකා සහ අපද්‍රව්‍ය අපගේ දුරේක්ෂවලට හසු කර ගැනීමේ හැකියාව ඇති බව ඔහුගේ විශ්වාසයයි.
මේ වනවිට අපගේ පෘථිවිය වටා ද මෙවැනි චන්ද්‍රිකා සහ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇත. දැනට මෙම ප්‍රමාණය ඈත ග්‍රහලෝකයක සිට දැකගත හැකි තරමේ ඝනත්වයකින් තොර වුවද, මේ වෙද්දී අප චන්ද්‍රිකා ගුවන්ගත කරමින් සිටින ශීඝ්‍රතාව අනුව වැඩිකල් නොගොස් තව බොහෝ චන්ද්‍රිකා ප්‍රමාණයක් ගුවනට එක් වනු ඇති බව අපේක්ෂා කළ හැකි වේ. එවිට ඒවා වෙනත් ග්‍රහ මණ්ඩලයක සිට වුවද දැක ගන්නට හැකි වනු ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
නවාරෝ පෙන්වා දෙන ආකාරයට මෙවැනි චන්ද්‍රිකා සහ අපද්‍රව්‍ය ඔස්සේ පිටසක්වල ජීවීන් සොයා යාම සාපේක්ෂ වශයෙන් වියදම් අඩු ක්‍රමයක් ද වෙයි. මන්ද යත් දැනට අප සතුව පවතින තාක්ෂණය මගින් පමණක් වුවද මෙය ඉටු කර ගත හැකි බැවිනි. අප ජීවත් වන පෘථිවිය ඇතුළත් සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඈත පිහිටි වෙනත් ග්‍රහ මණ්ඩලවල ග්‍රහයින් (ඥයධනතචදඥබඵ) සොයා ගැනීමට මේ වනවිට අපට තාක්ෂණික වශයෙන් හැකියාව පවතියි. ඒ හරහා මේ වෙද්දී අප එවැනි බොහෝ පිටස්තර ග්‍රහයින් සොයාගෙන ඇති බවද රහසක් නොවේ.
මෙහිදී භාවිතා වන තාක්ෂණයම භාවිතා කිරීමෙන් එම ග්‍රහලෝක වටා ගමන් කරන චන්ද්‍රිකා තිබේදැයි සොයා ගැනීමට ද හැකි වනු ඇතැයි පැවසේ. අවශ්‍ය වන්නේ පෙරට වඩා ඒ පිලිබඳව අවධානයෙන් යුතුව නිරීක්ෂණය කිරීම පමණි. එමෙන්ම අප නිරීක්ෂණය කරන ක්‍රම වැඩි දියුණු කර ගැනීම පමණි. වෙනත් ග්‍රහ මණ්ඩලයකින් අප සොයාගන්නා යම් ග්‍රහයෙකු වටා කිසියම් අසාමාන්‍ය වලල්ලක් වැනි යමක් තිබේද යන්න පිලිබඳව අවධානයෙන් නිරීක්ෂණය කිරීම මෙහිදී වැදගත් වන බව නවාරෝ පෙන්වා දෙයි.
කෙසේ හෝ වේවා පිටසක්වල ජීවීන් කියා කොට්ඨාසයක් සිටිය හැකිද යන්න බොහෝ විට විවාදයට ලක් වන කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් එවැනි කොට්ඨාසයක් සිටින්නට බොහෝ දුරට ඉඩ ඇති බවත්, වැඩි කල් නොගොස්ම අපට ඔවුන් ගැන දැනගන්නට ලැබෙනු ඇති බවත් විශ්වාස කරන බොහෝ විද්‍යාඥයෝ සිටිති. පසුගිය දා අප අතරින් සමුගත් කීර්තිමත් විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් එවැන්නෙකි. නුදුරේදීම අපට පිටසක්වල දියුණු ජීවින් කොටසකගෙන් සංඥාවක් ලැබෙනු ඇති බව ඔහු පවසයි.
ඒ අතරම ඔහු කියන්නේ එයට පිලිතුරු නොදී සිටීම වඩාත් ඥානාන්විත විය හැකි බවයි. අපට වඩා දියුණු ජීවීන් කොටසක් මුණ නොගැසී සිටීම වඩා ආරක්ෂාකාරී බව හෝකින්ගේ අදහසයි. නැත්නම් පෘථිවියට ඔවුන්ගෙන් විශාල තර්ජනයක් එල්ල විය හැකි බව ඔහුගේ විශ්වාසය වූ බැව් පෙනේ. එමෙන්ම මෙකල ඉතා ජනප්‍රිය විද්‍යාඥයෙකු මෙන්ම විද්‍යා අනාවැකිකරුවෙකු ද වන මිචියෝ කාකු පවසන්නේ මෙම සියවස ඇතුළත අපට පිටසක්වල ජීවින් ගැන හෝඩුවාවක් ලැබෙනු ඇති බවයි.
යාළුවන්ටත් කියවන්න SHARE කරන්න
උපුටා ගැනීම ලක්බිම