හිසරදයක් ඇතිවුණොත් වේදනා නාශක පෙත්තක් බීලා ඒක යටපත් කරගන්න පුළුවන් බව අපි කොයි කවුරුත් දනිමු. නමුත් මානසික පීඩනයක් ඇති වූ විට එය වේදනා නාශක පෙත්තක් බීලා යටපත් කරගැනීම අපහසුය.

වර්තමානයේ බොහෝ දෙනා මානසික පීඩනයෙන් (Stress) පීඩාවිඳිති. ඒ සඳහා හේතු වශයෙන් පවසන්නේ රැකියාවේ අවිවේකී බව, ගෙදර දොරේ වැඩ කටයුතු අධික බව, තරග විභාග සඳහා මුහුණදීමට සූදානම් වීම, විවාහය ප්‍රමාදවීම, රැකියාවක් නොමැතිකම ආදී කරුණුය. නමුත් මේ කිසිදු කරුණක් නිසා මානසික පීඩනය ඇති නොවන බව පැවසුවහොත් ඔබ එය පිළිගන්නට සූදානම්ද?
මානසික පීඩනය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ බිය සැක සහ සංකාවය. රැකියාවේ අවිවේකී බව නිසා තමාට නිසි ලෙස රැකියාව කරගෙන යැමට නොහැකි වේ යෑයි කියා බිය ඇතිවුවහොත් එම බිය දිගින් දිගටම පැවතීම නිසා මානසික පීඩනය ආරම්භ වේ.
රැකියාවේ අවිවේකී බව ඇතිවී ඇත්තේ තමාගේ නොහැකියාව, තමාට කිසිවෙකුත් සහයෝගයක් නොදැක්වීම යෑයි වැනි හේතු සැකයක් බවට පත්කරගෙන කටයුතු කරනවිට මතුව ඇති මානසික පීඩනය උග්‍රවේ.
මෙලෙස මතුවන මානසික පීඩනය තුළින් ඇතිවන පරාජිත සිතුවිලි නිසා දුකට පත්වීම, හුදකලා වීමට උත්සාහ කිරීම ආදිය මතුවේ. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ එම පුද්ගලයා මානසික පීඩාවට පත්වීමයි.
මෙම කරුණු සම්පූර්ණ වූ විට යම් පුද්ගලයකු මානසික පීඩනයෙන් පෙළෙන බව කිව හැකිය. නමුත් අප බොහෝ දෙනා සිතන්නේ අධික ලෙස වෙහෙසෙනවිට, දුකක් ඇතිවූ විට නිදිවැරීම නිසා ආර්ථික ප්‍රශ්න නිසා මානසික පීඩනය ඇතිවන බවය. එය මානසික පීඩනය ඇතිවීමට බලපාන කරුණු කිහිපයකි. මානසික පීඩනය මතුවන්නේ මෙම කරුණු නිසා මතුවන බිය සැක සහ සංකාව තුළින් බිඳවැටෙන ආත්ම ශක්තිය මගිනි. මේ සඳහා හොඳම උදාහරණය අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය සලකා බැලිය හැකිය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින්නේ වයස අවුරුදු 10 පමණ වියේ දරුවන්ය. ඔවුනට මෙම විභාගය ගැන එතරම් දැනීමක් නැත. එය සමත්වීම හෝ අසමත්වීම නිසා ඔවුන්ට ඇඟට දැනෙන වෙනසක් නැත. නමුත් මෙම විභාගයෙන් දැඩිලෙස මානසික පීඩාවට පත්ව සිටින්නේ දරුවන්ගේ දෙමාපියන්ය. තම දරුවා විභාගයෙන් සමත්වේවිද? කියා බියක් පවතී. දරුවා විභාගය අසමත් වුවහොත් සමාජයෙන් දරුවා කොන්වේ යෑයි කියා සැකයක් මතුවේ.
මෙම බිය සහ සැකය නිසා දෙමාපියන් තම දරුවාට විභාගය සමත්වන ලෙස බලපෑම් කරයි. විභාගය සමත් නොවුණහොත් දඬුවම් කරන බවට තර්ජනය කරයි. මේ සියලු පීඩාවන් සිත තුළ සිරකරගෙන සිටීම නිසා දුකකින් පසුවේ. හුදකලාවීමට උත්සාහ කරයි. අවසානයේදී ඔවුහු තම දරුවන් නිසා දැඩි මානසික පීඩාවට පත්ව දුක්විඳිති.
දරුවන්ට මේ පිළිබඳව එතරම් අවබෝධයක් නැති නිසා ඔවුන් එතරම් දුරදිග නොසිතයි. එනිසා බිය සැක සංකාව එතරම් නොදැනේ.
අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන්ට විභාගය ගැන අවබෝධයක් ඇත. එසේම තමා පිළිබඳව ද යම් තක්සේරුවක් ඇතිකර ගත හැකිය. එනිසා ඔවුනට බිය සැක සහ සංකාව දැනේ. එය දරාගැනීමට නොහැකි වූ විට මානසික පීඩාවට පත්වේ.
මානසික පීඩනය ඇතිවූ විට
ඇතැම් දෙනා සිතා සිටින්නේ ටමානසික පීඩනය ඇති වූ විට විකාර දොඩමින්, අරමුණක් නැතිව ඇවිදිමින් ගත කරන පුද්ගලයන්ගේ තත්ත්වයට පත්වන බවය. මෙය මානසික පීඩනය උග්රවූ විට ඇතිවන උමතු හෙවත් සිහිවිකල් තත්ත්වයකි. නමුත් මානසික පීඩනය ඇතිවූ විට සිරුරේ ක්‍රියාකාරී වන ස්ට්‍රෙස් හෝමෝනය (Stress Hormone) කායික සහ මානසිකව බොහෝ වෙනස්කම් මතුවේ. සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වලවේ. කෑම අරුචිය මතුවේ. බඩේ දැවිල්ල මතුවේ. සිරුරේ ඇතිවන තුවාල සුවවීමට කල්යයි. සිරුර තුළ මේදය තැන්පත්වීම වැඩිවේ. ශරීර වර්ධනය අඩුවේ. සිරුර වයස්ගත වීමේ ක්‍රියාවලින් ඉක්මන්වේ.
හිතේ ප්‍රශ්නයක් තියෙනවිට හරිහැටි කෑමක් බීමක් ගන්න ආසාවක් ඇති නොවන බව පවසන්නේ මානසික පීඩනය නිසාය. සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වලවීම නිසා මුහුණේ කුරුලෑ මතුවීම, සුළු අසනීපයකදී වුව එය උත්සන්නවීම ආදිය සිදු වේ.
සිරුර තුළ මේදය තැන්පත්වීම වැඩිවීම නිසා ඉතා පහසුවෙන් හෘදයා බාධා මතුවිය හැකිය. ආඝාතය (Stroke) ඇතිවීමට ඉඩකඩ බහුලය.
මානසික පීඩනය නිසා මතුවන මානසික වෙනස්කම්
දිගුකලක් මානසික පීඩාවෙන් පෙළෙන පුද්ගලයකුගේ මතක තබා ගැනීමේ හැකියාව අඩුවේ. අවධානය එක තැන රඳවාගැනීමට අපහසුය. නිතර බිය සහගත ටසිතුවිලි මතුවේ. නිවැරදි තීරණවලට එළඹීමට නොහැකි වේ. පරාජිත සිතුවිලි නිතර සිත තුළ උපදී. නිතර වැළපීම ඉක්මනින් කෝපයට පත්වීම, තමා තනිවී ඇතැයි වැනි හැඟීමක් මතුවීම වේ.
මානසික පීඩාව නිසා මතුවන කායික ලක්ෂණ

මානසික පීඩාවෙන් පෙළෙන විට මනස තුළ පමණක් නොව ශරීරය තුළද විවිධ වෙනස්කම් මතුවේ. නිතර නිතර පපුවේ කැක්කුම ඇතිවීම, හෘද ස්පන්දනය වැඩිවීම, ආහාර පාන ගත් පසු උදරයේ වේදනාව හට ගැනීම, වමනයට ඒම, කැරකැවිල්ල, හිසරදය, ශරීරයේ දුබල බවක් දැනීම, වැසිකිළි යැම අක්‍රමවත් වීම, කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, ලිංගික ආශාව අඩුවීම, රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වැඩිවීම ආදිය සිදුවේ.
මානසික පීඩනය නිසා මතුවන ජීවන රටාවේ වෙනස්කම්
මානසික පීඩනය නිසා එදිනෙදා තමා ගතකළ සාමාන්‍ය ජීවන රටාව වෙනස්වී යයි. එනම් ආහාර පාන අඩුවෙන් ගැනීම හෝ අධික ලෙස ආහාර පාන ගැනීම, නින්ද යැම අඩුකම හෝ අසාමාන්‍ය ලෙස දවසපුරා නිදා ගැනීම, අන් අයගෙන් ඈත් වී තනිව ජීවත්වීමට උත්සාහ කිරීම, වගකීම් පැහැර හැරීම හෝ නොසලකා හැරීම, මත්ද්‍රව්‍ය මත්පැන්වලට යොමුවීම ආදිය දැකිය හැකිය.
මතුව ඇති මටානසික පීඩනය අවමකර ගැනීම
මෙවැනි අසාමාන්‍ය ජීවන රටාවන් ඇතිවන විට අප තුළ මානසික පීඩනයක් මතුවී ඇතැයි කියා අවබෝධ කරගත හැකිය. එසේම අන් අයටද එය හඳුනාගත හැකිය. මෙලෙස ඇතිවූ මානසික පීඩනය සුවකර ගැනීමට ඖෂධ ප්‍රතිකාර සඳහා යොමුවීමට පෙර එය අපගේ හැසිරීම් රටාව පාලනය කර ගැනීම මගින් සුව කරගත හැකිය. එහිදී අප පළමුව කළ යුත්තේ වෙනදා පැවැති අපගේ සාමාන්‍ය ශාරීරික හා මානසික ක්‍රියාකාරකම්වලින් වෙනස් වී ඇත්තේ මොනවාදැයි ක්‍රියා හඳුනා ගැනීමය.
එම සාමාන්‍ය කටයුතුවල යම් වෙනසක් මතුව ඇතිබව වටහාගත හැකිවූ විට දෙවනුව කළ යුත්තේ තමා පෙළෙන මානසික පීඩනයට හේතු වූ ප්‍රධාන කරුණ පිළිබඳව විමසා බැලීමය. එහිදී එය තමාට විශ්වාසවන්ත අයෙකුට පැවසිය හැකිය. එසේත් නැතිනම් මානසික උපදේශකවරයකු හමුවී තම ගැටලුව පැවසීම කළ හැකිය. කිසි විටෙකත් තමා තුළ පවතින මානසික පීඩනයට හේතු වූ ගැටලුව සඟවාගෙන සිටීම හොඳ නැත.
විභාගය අසමත් වේ යෑයි කියා පවතින ගැටලුව නිසා මානසික පීඩාවෙන් පසුවේනම් තමා තුළ එය අසමත්වීමට බලපා ඇති දුර්වලතා හඳුනා ගත යුතුය. ඉන් පසු එම දුර්වලතා නැතිකර ගැනීමට උත්සාහ කළ යුතුය. එසේම විභාගය අසමත් වුවහොත් ඉන්පසු තමා කිරීමට බලටාපොරොත්තු වන කටයුතු පිළිබඳව සැලසුමක් සකස් කරගත යුතුයි.
යම් කටයුත්තක් සාර්ථක කර ගැනීම යනු එය ඉතා විශිෂ්ට ලෙස සිදුකිරීම නොවන බව වටහා ගැනීම වැදගත්ය. තමාගේ හැකියාව මත තමාගේ උපරිම ශක්තියෙන් එය ඉටු කිරීම ද සාර්ථකව යම් කටයුත්තක් නිම කිරීම බව වටහාගත යුතුය.
නිදසුනක් ලෙස විභාගය සමත්වීම යනු විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීම පමණක් නොව සාමාන්‍ය ප්‍රතිඵල ලබා ගැනීමත් විභාගය සමත්වීමකි. විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට වෙහෙසී ඊට සමාන ප්‍රතිඵල ලබා ගැනීමද විශිෂ්ට ජයග්‍රහණයකි. එනිසා සැලසුමක් ඇතිව නිවැරදි තීරණ ගැනීමට පෙළඹිය යුතුය.
අප බොහෝ දෙනකුට මානසික පීඩනයෙන් මිදීමට නොහැකි වී ඇත්තේ කාලය කළමනාකරණය කරගැනීමට නොහැකි වීමෙනි. දිනක් තුළ තමා කළයුතු වැඩ කටයුතු පිළිබඳව සැලසුමක් ඇතිකර ගත යුතුය. මුළු දවස පුරාම රාජකාරි කටයුතුවල නිරතවීම සඳහා පමණක් කාලය වෙන්කළ යුතු නැත. විවේකය සඳහා තම හිතමිතුරකු සමඟ කතාබහ කිරීමට හෝ දූ දරුවන් පවුලේ සාමාජිකයන් සමඟ කතාබහ කිරීමටද කාලය වෙන්කර ගත යුතුය.
අප තුළ මතුව ඇති මානසික පීඩනය පාලනය කර ගැනීමට වඩා හොඳ විසඳුම වනුයේ පළමුව එම ගැටලුව ගැන සිතීම මදකට නැවතීමය. ඉන් පසු තමා කැමැති විනෝදාංශයක මදක් නිරත විය යුතුය. ගීතයකට සවන්දීම, චිත්‍රපටයක් නැරඹීම, ඇවිදීම, ක්‍රීඩාවක නිරතවීම, හිත මිතුරු සමඟ කථාබහක යෙදීම ආදිය කළ හැකිය. තමා තුළ චිත්‍ර ඇඳීමේ, සංගීත භාණ්ඩ වාදනය කිරීමේ, කවියක්, ගීතයක් ලිවීමේ හෝ ගීතයක් ගායනා කිරීමේ හැකියාව ඇත්නම් එහි පැයක් පමණ නිරත විය හැකිය. එවිට මානසික පීඩාවට හේතුවී ඇති ගැටලුවෙන් මදකට ඈත් විය හැකිය. එවිට ගැටලුවට විසඳුමක් සෙවීමට ද පහසුවේ.
බොහෝ දෙනා මානසික පීඩාවක් ඇතිවූවිට භාවනා කිරීම, යෝග ව්‍යායාමවල යෙදීම ආදියට යොමුවී සිත සැහැල්ලුකර ගැනීමට උත්සාහ දරති. නමුත් ඒ සඳහා යොමුවීමට පෙර නිසි උපදෙස් ලබාගැනීම වඩාත් ඵලදායීවේ. එසේ නොවුණහොත් තව තවත් මානසික පීඩාව උග්‍ර තත්ත්වයට පත් විය හැකිය.
මෙලෙස තමා තුළ මතුව ඇති මානසික පීඩනය අවම කර ගැනීමට උත්සහ කළද ඉන් නිසි ප්‍රතිඵලයක් නොමැතිනම් මනෝවෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුය.
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා මානසික පීඩාවන් හමුවේ මනෝවෛද්‍යවරයකු හෝ මනෝවෛද්‍ය උපදේශකවරයකු හමුවීමට යැම සඳහා එතරම් කැමැත්තක් නැත. එහිදී ඔවුන් සිතන්නේ තමා මානසික රෝගියකු බවට පත්ව ඇතැයි කියා අන් අය සිතන බවකි. එය සම්පූර්ණ මුලාවකි. මානසික පීඩනය යනු මානසික රෝගයක් නොවේ. එය නිසි ලෙස පාලනය නොකළහොත් නිසි ප්‍රතිකාර නොගත හොත් මානසික රෝග මතුවිය හැකිය. විශේෂයෙන්ම විශාදය (Depression) භින්නෝන්මාදය (Schizophrenia) වැනි මානසික රෝග මතුවිය හැකිය.
මානසික පීඩනයක් හමුවේ පළමුව සිදුකළ යුත්තේ තමා තුළ ඇති පෞරුෂය ආත්ම විශ්වාසය බිඳ වැටීමට ඇති ඉඩකඩ අහුරා දැමීමය. තමා කෙරෙහි අධිතක්සේරුවෙන් සිතීම හෝ අඩු තක්සේරුවෙන් සිතීම හෝ නොකළ යුතුය. තමාගේ ශක්ති ප්‍රමාණය හඳුනාගෙන ගැටලුවට මුහුණදිය යුතුය. තමා අතින් වරදක් සිදුව ඇත්නම් එය පිළිගෙන නිවැරදි කර ගැනීමට වෙහෙසිය යුතුමය. එය ලැ-ජාවට කරුණක් හෝ පරාජය බාර ගැනීමක් නොවේ. එය බුද්ධිමත් අවංක පුද්ගලයකු සතු මහත්මා ගුණයකි.
වෛද්‍ය උපදෙස් ඇසුරිනි
යාළුවන්ටත් කියවන්න SHARE කරන්න