gossip

බොහොම කෙටි විහිළු කතා 05 ක්

බැලු බැලූ තැන දේශපාලනයයි, ලව් සීන් නුයි වැහි වැහැපු එකේ අපි හිතුවා ඔබට අමුතු අත්දැකීමක් ගෙන එන්නට. ටිකක් හිත නිදහස් වෙන්නත් එක්ක විහිළු කථා ටිකක් බලලා ඉන්න. වට්ස්ඇප්, වයිබර් කතාවක් අවුල් ගියපු වෙලාවක මේවා යවලා කතාව ආයෙ ගොඩ දාගන්නත් පුළුවන් වෙයි. මේවා ඔබ කොහේවත් දැකපු නැති ඒවා කියලා අපි විශ්වාස කරනවා.

1. අයින්ස්ටයින් සහ රියැදුරා

5 short jokes your never heard

 

අයිනිස්ටයින් හැමදාම වගේ විවිධ දේශන පවත්වන්න යනවා. හැබැයි එයාගෙ බුද්ධිමත්කම නිසාම අලුතින් දෙයක් අත්හදා බලන්න තියෙන කාලයත් කැප කරලා හැමදාම මෙහෙම එකම ටික කරන්න ගියපු එක එපා වෙලා හිටියේ. දවසක් කාර් එකට නැගලා රියදුරාට අයින්ස්ටයින් කිව්වාලු:

“මට නම් දැන් මේක එපා වෙලා තියෙන්නේ. හැමදාම එකම ටික.” ඒ පාර රියදුරත් කිව්වාලු “ඇත්ත සර්. මාත් හැමදාම සර් එක්ක ගිහින් ගිහින් දැන් මටත් ඕවා කටපාඩමින්ම කරන්න පුළුවන්.” අයින්ස්ටයින් හිතුවා දෙයියනේ එහෙනම් මේ මනුස්සයා ඒකට යවලා නිදහසේ ඉන්න පුළුවන්නේ කියලා. “අපි එහෙනම් තැන් දෙක මාරු කරගමු” අයින්ස්ටයින් කිව්වා.

පස්සෙන්දා සුබ සහ යස කතාවෙදි වගේ රියදුරා ගිහින් දේශනය කරද්දි අයින්ස්ටයින් රියදුරා වගේ පිටිපස්සේ පේළියක අයිනකින් වාඩිවෙලා හිටියා. රියදුරා හොඳටම දේශනය කළා. වැඩි උගත්කමක් නැතත් විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඉතාම හොඳින් ඔහු කරද්දී එකවරම කෙනෙක් නැගිට ප්‍රශ්නයක් ඇහුවා.

එය කෙතරම් බැරෑරුම් ප්‍රශ්නයක් ද යත්, මුළු සභාවම නිහඬව ගල් ගැහිලා හුස්ම ගන්නෙත් නැතිව වේදිකාව මත හිටපු අයින්ස්ටයින් දිහා බලාගෙන හිටියේ ඔහු එය කොහොම විසඳාවිද කියලායි. ඔහු හඬ අවධි කළා. “මහත්මයාගෙ ඔය ප්‍රශ්නය කොච්චර ලේසිද කියනවා නම්, මගේ රියදුරාට මම ආරාධනා කරනවා ඒක පැහැදිලි කරන්න කියලා.”

2. ටයිටැනික් නැව ගිලෙන බව කෙනෙක් දැන හිටියා

5 short jokes your never heard

එක්තරා වයසක පුද්ගලයෙක් ටයිටැනික් නැව ගිලෙන බව කලින්ම දැනගත්තා. ඉතින් එහෙම දෙයක් දැනගත්තාම ඒක අනිවාර්යයෙන්ම අනිත් අයට කියන එක හොඳයිනේ. මේ මනුස්සයාත් ඉතින් ඉක්මණට ඉක්මණට හැම කෙනෙක් ළඟටම ගිහින් කිව්වා “මේ නැව ගිලෙන්න යන්නේ” කියලා. ඒත් කවුරුවත් ගණන් ගත්තේ නැහැ. සමහරු ඔහුට හිනාවුණා. අහක බලා ගත්තා. ඒත් ඔහු තමන්ගේ ව්‍යර්ථය අතහැරියේ නැහැ. දිගින් දිගටම කෑ ගසමින් අනිත් අය දැනුවත් කළා.

මේක කරදරයක් ලෙස සලකපු මිනිස්සු මේ ගැන පොලීසියට දැනුම් දුන්නා. ඊට පස්සේ පොලීසියෙන් ඇවිත් මේ මනුස්සයාව ෆිල්ම් හෝල් එකෙන් එළියට ඇදලා දැම්මා.

3. ගෝරිල්ලාගේ රැකියාව

5 short jokes your never heard

එක්තරා සත්තු වත්තක හැමෝගෙම ජනාදරයට පත් ගෝරිල්ලෙක් හිටියාලු. හැමෝම වගේ ඒ සතාගේ දස්කම් බලන්නට විශේෂයෙන්ම එනවා. නමුත් හදිසි රෝගයකින් එක්වරම ගෝරිල්ලා මියගියා. හැමෝම ආදරය කරපු ගෝරිල්ලාගේ ෂෝ එක මේකෙන් නවතින නිසා වෙනත් ගෝරිල්ලෙක්වත් ගන්න ඕනෑ කියලා හිතුවාට මේ සත්තු වත්තට ඒ සඳහා සල්ලි තිබුණේ නැහැ. අන්තිමට තීරණය වුණේ ඒ විධියට ඇඳගත්ත කෙනෙක් යොදවන්නයි. ඉතින් කෙනෙක් ගෝරිල්ලෙක් විධියට ඇඳගෙන විවිධ දස්කම් දැක්වූවා. මනුස්සයෙකුට සමාන හැසිරීම් තිබෙන මේ ගෝරිල්ලා තව තවත් ජනප්‍රිය භාවයට පත්වුණා.

දවසක් වැඩි වැඩ දාන්න ගිහින් ගෝරිල්ලා, සිංහ කූඩුවක් උඩට වැටුණා. ගෝරිල්ලෙක් වගේ අමාරුවෙන් එතනින් පැන ගන්නට ගියත් අන්තිමට අත ලිස්සලා කූඩුව ඇතුලටම වැටුණා. බලන්න ආපු අයත් බොහොම බය වෙලා බලාගෙන හිටියේ මොනවා වෙයිද කියලායි.

දකුණු පසින් සිංහයා ටික ටික කිට්ටු වෙනවා. වම් පසින් කූඩුවෙන් පැනගන්න ගෝරිලි මිනිසා උත්සාහ දරනවා. දකුණු පසින් සිංහයා රෞද්‍රව ගොරවනවා. වම් පසින් ගෝරිල්ලාට බය වැඩිකමට “බුදු අම්මෝ” කියලා කෑ ගැහුණා. මෙයා මෙහෙම කෑ ගහද්දී එකපාරම සිංහයා ගෝරිල්ලාගෙ ඇඟට පැන්නා. පැනලා කණට ළං වෙලා කිව්වාලු: “තමුසෙ හදන්නේ අපි දෙන්නාගෙම ජොබ් එක නැති කරන්නද? කට වහන් ඉන්නවා”

4. බිරිඳ මැරීමේ වරදට ස්වාමි පුරුෂයා උසාවි යයි

5 short jokes your never heard

කාන්තාවක් හිටිවනම අතුරුදහන්වීමෙන් ඇයව මරණ ලදැයි සැකකොට ඇගේ ස්වාමිපුරුෂයාව උසාවි දැම්මා. ඔහු ඉතා හොඳ නීතිඥයෙක් ලබාගත්තා. නීතිඥයා ජූරි සභාව ඉදිරියට ගිහින් මෙහෙම කිව්වා. “ඔබ සැම දන්නවාද? තවත් තත්පර 10කින් ඒ කාන්තාව අර පෙනෙන දොරෙන් උසාවි ගර්භයට එනවා.” මේක අහපු මුළු සභාවම බොහොම කලබල වෙලා දොර දිහා බලාගෙන හිටියා. ජූරි සභාවත් බොහොම අවධානයෙන් දොර දිහාට හැරුණා.

නමුත් විනාඩියක් ගත වුණත් කිසිවෙක් ඉන් එන පාටක් පෙනෙන්නට තිබුණේ නැහැ. නිතීඥයා නැවතත් හඬ අවධි කළා. “පේනවනේ? ඔබ හැමෝම දන්නවා ඒ කාන්තාව මියගොස් නැති බව. ඇය නැවත පැමිණිය හැකි බව හැමෝම විශ්වාස කරනවා. මේ පුද්ගලයා නිර්දෝෂයි.”

හැමෝටම ඒ කතාවට කට උත්තර නැති වුණා. ඔහුගේ තර්කය අනුව මොහු වැරදිකරු ලෙස ඔප්පු කිරීමට හැකියාවක් නැහැ. එක්වරම ජූරියේ අයෙක් “මේ හැමෝම දොර දිහා බලාගෙන ඉඳිද්දි මම චූදිතයා දිහා බලාගෙනයි හිටියේ. ඔහු නම් දොර දිහාට හැරුණේ නැහැ.”

5. වඳුරා සහ බිස්කට් එක

5 short jokes your never heard

දිනක් ගම්බද කඩයකට වඳුරෙක් ආවා. හැබැයි වහලෙන් ඇවිත් උදුරගෙන යන සාමාන්‍ය වඳුරෙක් වගේ නෙවෙයි, මේ වඳුරා ටිකක් උසස් මට්ටමේ සතෙක්. වඳුරා කඩේ ඉදිරියෙන්ම ඇවිත් මුදලාලිගෙන් බිස්කට් පැකට් එකක් ඉල්ලුවා. මුදලාලිටත් පුදුමයි කොහොමද මේ වඳුරෙක් මෙහෙම දෙයක් කරන්නේ කියලා. බිස්නස් එක කෙරෙනවානේ කියලා හිත හදාගෙන බිස්කට් පැකට් එකක් අරගෙන අතේ තියාගෙනම හිටියා.

දෙන පාටක් නොපෙනෙන නිසා වඳුරා තමන්ගේ අතේ තිබුණ දාහෙ කොළය මේසය උඩින් තිබ්බා. මුදලාලිට දැන් තවත් පුදුමයි. බිස්කට් එක වඳුරාට දීලා කපටිකමක් කරන්න හිතාගත්තා. රුපියල් සීයේ බිස්කට් එකට ඔහු ඉතුරු සල්ලි විධියට දුන්නේ රුපියල් සීයක් විතරයි. දීලා බැලුවා මේක ඌට තේරේවිද කියලා.

වඳුරාත් වැඩි ගාණක් නැතිව කඩේ ඉස්සරහටම වෙලා බිස්කට් එක කඩාගෙන පිළිවෙළකට කෑවා. මුදලාලිත් කුතුහලේ හංගගෙන කතාබහකට මුලපුරන්න හිතාගෙන “අපේ කඩේට වැඩිය වඳුරො එනවා අඩුයි.” කිව්වා. එතකොට වඳුරා “රුපියල් නවසීයක් දීලා බිස්කට් එකක් කන්න හැම වඳුරාටම බෑ මුදලාලි.”

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top