“මල්ලි ඔයා ඕස්ට්‍රේලියා යන්න ලෑස්ති වෙන්න.” 2004 වසරේදී ලසිත් මාලිංගට පණිවුඩයක් ලැබුණි. ඒ නායක මාවන් අතපත්තුගෙන්ය.
කවුරුත් පුදුමයට පත්කරන විශ්මිත ඉරියව්වකින් පන්දු යවන මාලිංගට ජාතික කණ්ඩායමේ ස්ථානය හිමිවූයේ මාවන්ගේ ඒ පණිවුඩයෙනි. එතැන් සිට මාලිංගට ආබාධයක් හැරෙන්නට කණ්ඩායමේ ස්ථානයට ස්ථිර සේවකයක්විය.
ඔහු එය අකුරටම ඉටු කළේය. නමුත් කාලයාගේ ඇවෑමෙන් මාලිංගගේ කර මතට පැටවුණු ආබාධ හේතුවෙන් ඔහුගේ දක්ෂතා නීරස විය. කණ්ඩායමේ ස්ථානයද අහිමි විය. එහෙත් මාලිංග තවමත් සටන අතහැර නැත.
“මම පුහුණුවීම් කරනවා. තේරීම් කමිටුව අවස්ථාවක් දුන්නොත් ගහනවා.” මාලිංග කියා සිටියේ නිදහස් කුසලාන විස්සයි විස්ස සටනේ ස්ථානය අහිමි වීමෙන් පසුවය.
මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමි වේ යෑයි කිසිවකු නොසිතුවේය. ඔහුගේ දඩබ්බර කට විටෙක “ලොක්කන්ට” දිරවන්නේ නැත. ක්‍රීඩා ඇමැතිවරයා බඩ ගැන කළ ප්‍රකාශයට මාලිංගගේ පිළිතුරු රටේම ජනප්‍රිය විය.
එදා ඔහු කීවේ “ගිරව් බෙනේට රිලව් රිංගලා” යනුවෙනි. නමුත් දැන් මාලිංග නොමැති වීම දැනෙන්නට පටන්ගෙන තිබෙනවා. ඒ ඔහු දේශීය තරඟ බිමේ දක්වන දක්ෂතා හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසන්නේ මෙවැනි අදහසකි,”අපිට කණ්ඩායමක් නම් කළාට පස්සෙ තව කාව හරි ගන්න බැහැ. එහෙම ගන්න වෙන්නෙ ආබාධයක් ඇති වුණොත් පමණයි. මාලිංග කියන්නෙ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුට ඉදිරියේ අවස්ථාවක් ලැබෙයි” යනුවෙනි.
කෙසේ වෙතත් මාලිංගට තවත් මාස හයකට පමණ ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන්නට තරඟ නැත. ශ්‍රී ලංකා පිලේ මීළඟ සංචාරයද ටෙස්ට් තරඟ තුනකි. ඒ කොදෙව් දේශයේදීය.
නමුත් මාලිංග යනු වැටිච්ච තැනින් නැගිටින්නට වලි කන පුද්ගලයක් බව ඔහු මෙවර දේශීය තරඟ බිමේදී ඔප්පු කර තිබෙනවා. ටෙස්ට් ක්‍රීඩා නොකරන මාලිංග පළමු පෙළ තෙදින තරඟාවලියේ තරඟයක්ද නියෝජනය කළේය.
අනතුරුව එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් ඔහු විස්සයි විස්ස තරඟාවලියේ සියලුම තරඟ නියෝජනය කරමින් වැඩිම කඩුලු ලාභියා (17) විය. එතැනින් නොනැවතුනු මාලිංග පළමු පෙළ විස්සයි විස්ස තරඟවලිය නියෝජනය කරමින් මීට දින කිහිපයකට පෙර කඩුලු හතරක් දවා ගත්තේය.
ඒ සමඟම පළමු පෙළ කඩුලු දහසේ සීමාව පන්නා යැමටද මාලිංගට හැකිවිය. අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වූ මාලිංගට මෙවර ලංසුවේදී කිසිම කණ්ඩායමකින් ඉල්ලුමක් නොමැති තරමට ඔහුගේ දක්ෂතා මොට විය. නමුත් මාලිංගගේ යෝකර් පන්දුව යළිත් යකා නැටුවොත් එහි වාසිය ඇත්තේ ශ්‍රී ලංකාවටය.
34 හැවිරිදි ලසිත් මාලිංග පළමු පෙළ තරඟ 84 කදී කඩුලු 257 ක්ද පළමු පෙළ එක්දින තරඟ 261 කදී කඩුලු 393 ක්ද පළමු පෙළ විස්සයි විස්ස තරඟ 256 කදී කඩුලු 352 ක්ද වශයෙන් දවා ගනිමින් මේ වන විට සමස්ත පළමු පෙළ කඩුලු සංඛ්‍යාව 1002 දක්වා ඉහළ දමා ගැනීමට සමත්ව තිබෙනවා.
මාලිංගගේ ශාරීරික යෝග්‍යතාව දැන් හොඳ අතට හැරී ඇති බව ඔහු එක දිගට ක්‍රීඩා කිරීමෙන් පැහැදිලි වෙනවා. අයි. පී. එල්. ලංසුවෙන්ද මාලිංග හැලී ගියේය. නමුත් ඔහු වැටුණේ නැති බව මෙවර දේශීය තරඟදෙස බැලීමේදී පැහැදිලියි. ඒ අනුව මාලිංගට අද නැති වුණ කණ්ඩායමේ ස්ථානය මීළගට ‘ෂුවර්’ වනු ඇතැයි පැහැදිලි වෙනවා.
“මම 2020 වෙනකම් ක්‍රීඩා කරනවා.” යෑයි මාලිංග මීට මාස කිහිපයකට පෙර මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
නමුත් කණ්ඩායමෙන් කැපී ඉවත් වෙනවා වෙනුවට වැඩ පෙන්නා ඉවත්වීමට මාලිංග දරන මේ උත්සහය ශ්‍රී ලංකා පිලේ ජයග්රහණයටද හේතු වුවහොත් හෝ 2019 ඉලක්කයට මාලිංගගේ සේවය කණ්ඩායමට හිමි වුවහොත් එය කණ්ඩායමට අතිරේක උත්තේජනයකි.
නමුත් දැන් මාලිංගට ගමන යන්නට වෙන්නේ හතුරුසිංහ සමඟය.





