ලෝකය

හදටත් 4G දෙන්න යයි

‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම යටතේ ඇමෙරිකන් නාසා ගගනගාමීන් සඳමත පය තබා අවුරුදු 50 ක් ගතවීම නිමිත්තෙන්, ලබන වසරේ එනම් 2019 දී, ‘4ජී’ තාක්ෂණය හඳට ගෙන යෑමට, ජංගම දුරකතන ක්ෂේත්‍රයේ දැවැන්තයන් ජර්මනියේ ‘වොඩාෆෝන්’ සහ ෆින්ලන්තයේ ‘නොකියා’ සමාගම් පමණක් නොව, මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන ‘අවුඩි’ සමාගමත්, පීටීසයන්ටිස්ට්ස් තාක්ෂණ සමාගමත් සූදානම් වෙයි.

මෙම අපූරු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දිනෙක සඳට ගොස් සඳේ සිට ඉතා පහසුවෙන්ම ෆේස්බුක් ජාලයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇත.

4ජී තාක්ෂණය සඳ මතුපිටට ක්‍රියාත්මක කිරීම සිදුවනු ඇත්තේ රොබෝ රෝවර් යානා දෙකක උදවුවෙනි. රෝවර් යනු එහෙ මෙහෙ ගමන් කරමින් ගවේෂණ කටයුතු කළ හැකි රොබෝ යානාය. ඇමෙරිකාවේ අවුඩි සමාගම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින්නේ මෙම රෝවර් යානා නිපදවීම සම්බන්ධයෙනි.

අති නවීන තාක්ෂණයෙන් පිරි කැමරා පද්ධතියක්, සාම්පල ලබා ගැනීමට රොබෝ අතක් සහ ඇන්ටනාවලින් පිරි මෙම රොබෝ රෝවර් යානා නිර්මාණය කෙරෙනු ඇත්තේ ටයිටේනියම් සහ ඇලුමිනියම් යොදා ගනිමිනි. ඒ අනුව මෙම යානා සඳ මතුපිට ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙනු ඇත.

සඳට ‘4ජී’ තාක්ෂණය රැගෙන යෑමේ මෙහෙයුමට මූලිකත්වය දෙන්නේ වොඩාෆෝන් සමාගමය. තාක්ෂණික සහාය සඳහා ඔවුන් නොකියා සමාගම සම්බන්ධ කරගෙන ඇත. ‘ජංගම දුරකතන ජාල සම්බන්ධයෙන් සහ 4ජී තාක්ෂණය සම්බන්ධයෙන් නව පියවරක් ඉදිරියට තැබීමක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ වගේමයි කෙනෙක් අහන්න පුළුවන් ඇයි 4ජී තාක්ෂණය යොදා ගන්නේ, 5ජී තාක්ෂණය යොදා ගන්න බැරිදැයි කියලා. 5ජී කියන්නේ අති නවීන තාක්ෂණයක්. ඒක සංකීර්ණයි. ඒ නිසයි අපි 4ජී තාක්ෂණය භාවිතා කරන්නේ’ යැයි ජර්මනියේ වොඩාෆෝන් සමාගමේ ප්‍රධානී හැන්ස් ඇමෙට්ස්රිටර් පෙන්වා දෙයි.

රෝවර් යානා සඳට රැගෙන යෑම ඇමෙරිකාවේ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 වර්ගයේ රොකට්ටුක ආධාරයෙන් සිදුවෙයි. ඒ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ද සහාය ඇතිවය. ස්පේස් එක්ස් සමාගම අද වනවිට රොකට් තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටී. නාසා ආයතනය ද ඔවුන් සමඟ අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරයි.

පසුගිය දා ගගනගාමීව් අඟහරු ගෙනයෑම සඳහා අති ප්‍රබල රොකට්ටුවක් අත්හදා බැලුවේ ද මෙම ස්පේස් එක්ස් සමාගමයි. අද මොවුන් පෞද්ගලික අංශයෙන් සංචාරකයන් ලෙස ගගනාමීන් පෘථිවි කක්ෂයට ගෙන යෑමේ කටයුතුවල ද නියැලීමට සූදානම් වෙයි. අතමිට සරු නම් පෘථිවි කක්ෂයට ගොස් ආපසු ඒමට හැකිවෙයි. රොකට්ටුව ලබන වසරේ ෆ්ලොරීඩාවේ කැනැවරල් තුඩුවෙන් පිටත්වීමට නියමිතය. රෝවර් යානා දෙක රැගෙය යන යානය එසේත් නැතිනම් චන්ද්‍ර යානය සඳ මත පතිත කිරීමෙන් පසු, චන්ද්‍ර මූලස්ථානය ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි.

අවුඩි, වෝඩාෆෝන්, නොකියා සහ පීටීසයන්ටිස්ට්ස් යන සමාගම්වල එකමුතුවෙන්, 2019 දී, සඳ මතුපිට රැහැන් රහිත අන්තර් ජාල පහසුකම් ලබා දීමේ මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත්, පෞද්ගලික අංශය මැදිහහත් වී සිදු කරන පළමු චන්ද්‍ර මෙහෙයුම වනු ඇත්තේ මෙය වනු ඇත. ‘ෆෝල්කන් 9 ස්පේස් එක්ස්’ රොකට්ටුව අවුඩි රෝවර් යානා දෙක සහ චන්ද්‍ර මොඩියුලය රැගෙන පෘථිවියෙන් පිටත් වේවි. රොකට්ටුවෙන් නිදහස් වන මොඩියුලය (කුඩා චන්ද්‍ර යානය) පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය උදවු කර ගනිමින්, දෙවරක් පෘථිවිය වටේ කැරැකීමෙන් පසු, සඳුගේ කක්ෂයට පිවිසෙයි.

පෘථිවියේ සිට සඳට යන ගමනට දින 5 ක් ගතවෙයි. සඳ මත පතිත කිරීමෙන් පසු, ගෙනා රෝවර් යානා දෙක මුදා හැරීම සිදුවන අතර, රෝවර් යානා අතරේ සම්බන්ධතාව පැවැත්වෙනු ඇත්තේ ‘4ජී’ තාක්ෂණයෙනි. රෝවර් යානා 1969 වසරේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම සිදුවුණු ස්ථානයට ගොස් එතැන ගවේෂණය කිරීමට ද නියමිත බව පැවැසෙයි. රූගත කෙරෙන අති පැහැදිලි ‘එච්ඩී’ දසුන් චන්ද්‍ර යානය හරහා පෘථිවි විද්‍යාඥයන්ට ලැබෙන්න සලස්වනු ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ නම්, අනාගතයේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සන්නිවේදන කුලුනක් ලෙස සඳ යොදා ගැනීම යැයි පැවැසෙයි.

ඬේලිමේල් ඇසුරිනි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top