Indrajith Gamage
මීට වසර 3කට වගේ ඉහත දී, හරියටම කිව්වොත් 2015 අවුරුද්දේ ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවේ සුවිශේෂී වෙනසක් සිදු කරමින් බල පෙරළියක් සිදු වුණු බව හැමෝම දන්නවා.
2009 දී LTTE සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමත්, පසු කාලීනව රට පුරාම සිදු වුණු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ඇරඹීමත් ඇතුළුව දේශපාලනික කීර්තියට පත්විය හැකි බොහෝ දේ වල ගෞරවය දිනා සිටි ශ්‍රී ලංකාවේ 5 වැනි විධායක ජනාධිපතිවරයා,
එදා පැවති හදිසියේ කැඳවන ලද ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණා.

LTTE සංවිධානය යුධමය ලෙස පරාජය කිරීම මහින්ද රාජපක්ෂ මහතාට ඉහළ කීර්තියක් ගෙන දුන් ප්‍රධානතම කාරණාවයි. (Image Credit: asiantribune.com)
ලංකාව පුරාවට වගේම, මෙය ලෝක මට්ටමෙන් කෙතරම් කුඩා රටක් වුණත් ජාත්‍යන්තරයේ පවා මේ සිදුවීම බොහෝ සෙයින් කතා බහට ලක් වෙන්න ගත්තා. ඒ වන විට 18 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නිල වශයෙන්ම කැමති වාර ගණනක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් ලබා ගත්,
වරක් රටවැසියා අතරේ ඉහළ කීර්තියක් දිනා සිටි ජනාධිපතිවරයා බලයෙන් ඉවත් වීමත් එක්ක රටේ දේශපාලන මාවත, ජාත්‍යන්තර සම්බන්ධතා ආදියත් වෙනස් මාවතකට යොමු වුණා. නමුත් ඒ විදිහේ බල පෙරළියක් සිදු වුණේ විදේශ රටක කූට අත පෙවීමක ප්‍රතිඵලයක් නිසා බවටත් ඒ දිනවලම වාර්තා පල වෙන්න පටන් ගත්තා.
අද වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන කූඹියෝ හි කතාවබොහෝ දුරට මේ සිදුවීමට ආසන්න එකක් නිසා දැන් දැන් ආයෙත් ඒ ගැන බොහෝ දෙනෙක් අතර කතා බහක් ඇති වෙලා. ඉතින් මේ ලිපියෙන් කතා කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ බල පෙරළිය පිටුපස තිබුණු අදිසි හස්තයක් ගැන කියවෙන නොනිල වෘත්තාන්තය ගැනයි.
සිතා ගැනීමට අපහසු පෑහීමක්.
ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය පුරාවටම ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබුණේ පැහැදිලිවම වෙනස් මතවාදයන් දෙකක්. දේශපාලන විචාරකයන්ට අනුව ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික දේශපාලන පක්ෂයක් විදිහටත්, එක්සත් ජාතික පක්ෂය දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් විදිහටත් විග්රහ කෙරෙනවා. ඒ වගේම මේ පක්ෂ දෙක පිළිවෙලින් මාක්ස්-ලෙනින්වාදී සහ ධනවාදී කියලත් තව විග්රහයන් පවතිනවා.
මේ වගේ විග්රහයන් ගණනාවක් දිහා බැලුවාම පැහැදිලිවම පෙනෙන්නෙත් මේ පක්ෂ අතර පවතින දුරස්ථ භාවයයි. මේ නිසා 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් එකම ප්රවාහයකට එකතු වෙන්න ඔවුන්ට හැකි වුණු එක ගැනත් ඒ කාලයේම ලොකු අවධානයක් යොමු වුණා.

පොදු අපේක්ෂකයාට සහය පළ කරමින් එජාපය සහ ජවිපෙ එක් වීම විශාල කතාබහකට ලක් වුණා. (Image Credit: telo.org)
2015 දී ජනාධිපතිවරණය පැවැත්වුණේ බලයේ සිටින ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ සහ ඒ රජයේම සෞඛ්‍ය අමාත්‍යවරයා වී සිට පසුව පොදු අපේක්ෂකයා බවට පත් වුණු මෛත්‍රීපාල සිරිසේන අතර යි. ඒ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ පරාජයට පත් වී එක්සත් ජාතික පක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහය ලබා ගත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මෙරට ජනාධිපතිවරයා බවට පත් වුණා.
මේ වගේ සංසිද්ධියක් ශ්‍රී ලංකාවේ දේශපාලන වටපිටාව තුළ සිදු වීම බොහෝ දෙනෙකුට සිතා ගත නොහැකි දෙයක් බවට පත් වුණු නිසාම ඒක සිදු වුණු හැටි ගැනත් විවිධ කතා ඇහෙන්න පටන් ගත්තා.
අදිසි හස්තයක් ගැන කතාබහක් ඇති වුණේ එහිදී යි.
බල පෙරළියකට උවමනාවක් තිබුණේ කාට ද?
ශ්‍රී ලංකාව, ප්‍රමාණයෙන් වගේම දේශපාලන බලපුළුවන්කාරකම් වලිනුත් ලෝකයේ පමණක් නෙවෙයි, කලාපයේ පවා පහළ තැනක තියෙනවා කියලයි සැලකෙන්නේ.
මේ නිසා බලවත් රාජ්‍යයන් අතර දේශපාලන ගැටුම් වලට මෙවැනි රටවල් වේදිකාවක් වීම සාමාන්‍ය දෙයක්. ලෝක ඉතිහාසය පුරාවටම ඇසට පෙනෙන යුද්ධ, සීතල යුද්ධ වගේම විවිධාකාර දේශපාලන යටි කූට්ටු වැඩ බොහොමයකට කුඩා රටවල් මුහුණ දීලා තියෙනවා. 2015 වෙනකොට දකුණු ආසියා කලාපයේ තිබුණු ප්‍රධානතම සීතල යුද්ධය පැවතුණේ ඉන්දියාව සහ චීනය අතරයි.

ඉන්දියානු සාගරයේ බලය ඉන්දියාවට වගේම චීනයටත් මහත් සේ වැදගත්. (Image Credit: investasian.com)
මහින්ද රාජපක්ෂගේ සමයේ දී, සාම්ප්‍රදායිකව ඉන්දියාවට බරව තිබුණ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය බොහෝ දුරට චීනය දෙසට නැඹුරු වීමක් දකින්න ලැබුණා.
කාලයක් තිස්සේ සැලසුම් මට්ටමේ පමණක් තිබුණු අපේ රටේ අධිවේගී මාර්ග අැතුළු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනයෙන් සහය ලැබෙන්න පටන් ගත්තා.
මේ නිසාම මහින්ද රාජපක්ෂගේ දෙවැනි පාලන කාලය තුළ රට පුරාම චීන ණය සහ ආධාර යටතේ ව්‍යාපෘති ගණනාවක් සිදු වුණා. කොහොම නමුත් බොහෝ දෙනෙක් මෙය චීනය ඉන්දියානු සාගරයේ බලය පැතිරවීම උදෙසා ගෙන ගිය දිගු කාලීන වැඩපිළිවෙලක් විදිහටත් දැක්කා.
මේ දේවල්වලින් වැඩියෙන්ම රිදුණා නම් ඒ පැහැදිලිවම ඉන්දියාවට යි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මේ ගැන නොසතුට පළ කරන්නත් ඉන්දියාව නිතරම කටයුතු කළා. නමුත් එය එතැනින් එහාට ගෙන යමින් ලොකු වැඩපිළිවෙලකට යන්න ඔවුන් තුළ වැඩි උනන්දුවක් තිබුණේ නැති බවයි කියවෙන්නේ.
ඉන්දියාවට හොඳටම රිදුණු තැන.
මේ විදිහට ශ්‍රී ලංකාව ගැන කාලයක් තිබුණු නොසතුට, එතැනින් එහා මට්ටමකට ගෙනිහින් මෙරට බල පෙරළියක් කරලා හරි තමන්ගේ කලාපීය බලය රැක ගත යුතුයි කියලා ඉන්දියාවට හිතෙන්නට තරම් බරපතල විය හැකි කාරණාවක් 2014 දී සිදු වුණා. ඒ තමයි ඉන්දියාව සම්පූර්ණයෙන්ම මවිත කරමින්,
චීන සබ්මැරීන දෙකකට කොළඹ වරායට සේන්දු වීමට මෙරට රජය අවසර ලබා දීම.

න්‍යෂ්ටික බලයෙන් බලගැන්වෙන, න්‍යෂ්ටික විලයන ආයුධ ගෙන යන බවට කියවෙන Han 2 පන්තියේ Chengzeng සබ්මැරීනයක් කොළඹ වරායේ. (Image Credit: indiatoday.in)
න්‍යෂ්ටික බලයෙන් බල ගැන්වෙන, සක්‍රීය න්‍යෂ්ටික විලයන අවි ආයුධ අඩංගු බවට පිළිගැනෙන චීන සබ්මැරීන් දෙකක් ඉන්දියාවේ දකුණු කෙළවරට කිලෝමීටර් කිහිපයක් දුරින් ඇති කොළඹ වරායට පැමිණීම ඉන්දියාවේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය අවස්ථාව කියා පිළිගන්න අපහසු නැහැ.
කලාපයේ තම බලයට චීනය ඍජු තර්ජනයක් එල්ල කළ අවස්ථාවක් ලෙස ඉන්දියාවේ ආරක්ෂක අංශ සසල කරන්න මෙය සමත් වුණා. මෙරට බල පෙරළියක් සිදු කරන්න ඉන්දියාව සක්‍රීයව පියවර ගත්තා නම් එයට උත්ප්‍රේරකයක් වුණේ මේ සංසිද්ධිය බවයි බොහෝ දෙනෙකුගේ මතය.
බල පෙරළියක් කරන්න ඉන්දියාවේ අත පෙවීම.
ඉන් පසුව ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලන පක්ෂයන් වලට එකතු වෙන්නට තිරය පිටුපස සිට ඉඩකඩ සලසමින් ඉන්දියාව සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කළ බව කියවෙනවා.
රෝ ඔත්තු සංවිධානය ඇතුළු ඉන්දියාවේ රහස් සංවිධාන වගේම, ඒවායේ නියෝජිතයන් ගැනත් කියවෙන කතා බොහොමයි. කොහොම වුණත් 2015 ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ රෝ ඔත්තු සේවා නියෝජිත ප්‍රධානියා නැවත එරටට ගෙන්වා ගන්නට ඔවුන්ට සිදු වුණා කියන කතාවට තරමක ප්‍රචාරයක් ලැබුණා.
මේ ලිපිය ලියන්න තරම් මේ ගැන නැවත කතාබහක් ඇති වෙන්න හේතු වුණේ මේ දිනවල විකාශනය වන එක්තරා ටෙලිනාට්‍යයක් නිසා බව කලිනුත් කිව්වානේ. සමහරුන්ට අනුව 2015 දී ඉන්දියාවට ගෙන්වා ගත් බව කියවෙන රෝ නියෝජිතයා තමයි මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන ජෙහාන්ගේ චරිතයට වස්තු විෂය වෙලා තියෙන්නේ.
ජෙහාන් එහි එන අනෙක් චරිත බොහොමයක් තමන්ගේ නූල් සූත්තරවලට හසු කරගන්නවා වගේම අදාළ රෝ නියෝජිතයා සියලු දෙනාගේම ඇස් වසා ඉන්දීය අවශ්‍යතාව ඉටු කරන්න කටයුතු කිරීමත්, ජනාධිපතිවරණයෙන් පසුව ඒ බව හෙළි වීමත් එක්ක ඔහුට රටින් පිටවීමට සිදු වූ බවත් කියවෙනවා.
කොහොම නමුත් කූඹියෝ ටෙලිනාට්‍යය මේ සියල්ල සිදු වීමට පෙර නිම කළ එකක් බවයි කියවෙන්නේ.
2016 ඇමරිකානු ජනාධිපතිවරණයට අත පෙවීමට ආදර්ශයක්?

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීමට රුසියාව අත පෙවූ බවට සැක පළ වී තිබෙනවා. (Image Credit: abcnews.com)
යුධමය ශක්තිය හෝ ආර්ථික සම්බාධක ඇතුළු වෙනත් බලපුළුවන්කාරකම් පෙන්වීම් හරහා බලවත් රටවල් කුඩා රටවලට අත පෙවීම ලෝක ඉතිහාසයේ ඇති තරම් දකින්න තිබුණත්, මේ සිදු කළා යැයි කියන යටි කූට්ටු වැඩපිළිවෙල ඊට වඩා බොහෝ සෙයින් අළුත් මුහුණුවරක් ගත්තා. මෙහිදී ප්‍රධානම කාරණාව වුණේ ඉතාම සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව බල පෙරළිය සිදු වීමයි. ජයග්‍රහණය කළ කාටත් එය තමන්ගේම ජයග්‍රහණයක් ලෙස සිතන්න කටයුතු සැලැස්වීම එහිදී කැපී පෙනෙනවා.
සමහර මතවාදයන්ට අනුව ඉන්දියාව කළ බව කියවෙන මේ රහස් මෙහෙයුමෙන් යම් ආදර්ශයක් ලබා ගන්නට රුසියාව කටයුතු කළ බව කියවෙනවා. 2016 ජනාධිපතිවරණයෙන් හිතා ගත නොහැකි ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමට රුසියාවේ බලපෑමක් තිබුණු බවට ඇමරිකානු ආරක්ෂක අංශ අතර මේ වන විට පුළුල් පිළිගැනීමක් පවතින අතර ඒ පිළිබඳව එරට කවදාවත් සිදු නොවූ තරමේ විමර්ශනයක් පවා පැවැත්වෙනවා.
එහි දී වැඩි අවධානයක් දිනා ගන්නේ මේ බල පෙරළි දෙකේම පවතින සමානකම්. සමාජ ජාල ඇතුළු අන්තර්ජාල මාධ්‍යයන් පුළුල් ලෙස භාවිතය, රූපවාහිනී, පුවත්පත් ඇතුළු පිළිගත් මාධ්‍ය ගැන සැක පළ කිරීම, රටේ ප්රජාතන්ත්රවාදයම උපයෝගී කරගෙන සාමකාමීව තමාට හිතකර දේශපාලන ප්රවාහයකට බලය මාරු කිරීම වැනි කාරණා මෙම මැතිවරණ දෙකේදීම දකින්න ලැබුණා.
ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ බල පෙරළිවල දී මේ කියන විදිහේ අත පෙවීම් සිදු වුණා ද, ඒවායෙන් ඇති වුණු සැබෑ බලපෑම මොන තරම් ද කියන එක ගැන තවමත් නිශ්චිතව අදහස් පළ කරන්න බැහැ. කොහොම නමුත් අනාගතයේ බලවත් රටවල් අතර දේශපාලන ගැටුම්වලදී මතුපිටින් පෙනෙන යුද්ධ වෙනුවට මේ ක්රමයේ මෙහෙයුම් බොහෝ සෙයින් සිදු වේවි කියලා නම් හිතන්නට පුළුවන්.
කවරයේ රූපය : colombotelegraph.com
උපුටා ගැනීම Roar මීඩියා