Whatsapp තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට ජනාධිපති ලේකම් පවසනවා.
විදෙස්ගත ශ්‍රමිකයින්ට සිය නිවෙස් සමඟ සන්නිවේදනය කිරීමේදී මුහුණදීමට සිදුවන අපහසුතාවන් මෙන්ම සංචාරකයින්ට සහ ව්‍යවසායකයින්ට සිදුවී ඇති අපහසුතාවන් පිළිබඳව සැළකිල්ලට ගෙන මෙම තහනම ඉවත් කිරීමට අවධානය යොමුවූ බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර වයිබර් සමාජජාලයට ප්රවේශවීම සඳහා ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබුණා.
පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කළහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට ඇතැම් පාර්ශවයන් නීතිවිරෝධී ලෙස සමාජමාධ්‍ය භාවිත කිරීම පාලනය කිරීම සඳහා රජය පසුගියදා කටයුතු කළා.
මේ අතර, ෆේස්බුක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ හෙට (15) පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව බොහෝ දුරට අනිද්දා වනවිට අනෙකුත් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට ඇති බාධා ඉවත් කෙරෙනු ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම සම්බන්ධයෙන් තම කොමිසමට ලැබුණු පැමිණිලි පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද සඳහන් කළා.