දින කිහිපයක සිට සමාජ ජාලා මාධ්‍ය සඳහා පනවා ඇති සීමාවන් ඉදිරි පැය 24ක කාලයේ දී ඉවත් කරන බව විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ෆේස්බුක්, Viber, WhatsApp ඇතුළු සමාජ මාධය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර තිබෙන තාවකාලික සීමාවන් ඉවත් කරන බවද මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRC) සමඟ සාකච්ඡා කළ බවද ඒ මහතා පෙන්වා දෙයි.
පසුගිය දිනවල මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන් තත්ත්වයත් සමඟ ආගම්වාදී හා ජාතිවාදී ස්වරූපයෙන් වෛරය සහ ද්වේශය වපුරමින් විවිධ තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම සමාජ ජාලා මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගත් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මේ අතර ජාතික ප්‍රතිපත්ති හා ආරථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ සමාජ ජාලා මාධ්‍ය සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමඟ සාකච්ඡා කළ බවත් රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකළ බවත්ය.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙශාප් මහතා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය යනු සමස්ත මානව සංහතිය සම්බන්ධ කරමින් නව තාක්ෂණ්ය භාවිතා කිරීමක් වන බවත් එහි හොඳ මෙන්ම නරක දෑ අන්තර්ගත වන බවත්ය.
උපුටා ගැනීම දිනමින