News

රතු වරෙන්තු ගෙන ඩුබායි ගිය අය හිස් අතින් එති

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණියේය.

ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තු අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු ඩුබායි බලා ගියහ. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ද ඊට සහභාගී වීමට නියමිතව තිබුණත් පසුව ඔහු එයින් ඉවත් විය.

වසර 2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගත් මිග් 27 ගුවන් යානා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කරගෙන යන පරීක්ෂණයකට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවශ්‍ය කර තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

යසන්ත කෝදාගොඩ සහ පී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී එරට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවත්වූහ. එහිදි උදයංග වීරතුංග මහතා ඉන්නා තැනක් නොදන්නා බව එම බලධාරීන් යසන්ත කෝදාගොඩ සහ පී.කේ.ඩී ප්‍රියන්ත මහත්වරුන් දෙදෙනාට දැනුම් දී තිබේ.

ඩුබායිහි අයත් උදයංග වීරතුංග මහතාට අයත් බව කියන ලිපිනයකට ගොස් පරීක්ෂා කළ ද ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා විය.

ඩුබායි ආගමන විගමන බලධාරීන් උදයංග වීරතුංග මහතා රඳවාගත් බවට තොරතුරු ලැබුණු විගස හත් දෙනකුගෙන් සමන්විත රජයේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගියද ඔවුන්ටද උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ජාත්‍යන්තර පොලිසියේ ඩුබායිහි සිටින නිලධාරීන් ශ්‍රී ලංකාවේ නිලධාරීන් පැමිණීමට පෙර උදයංග වීරතුංග මහතාගෙන් ප්‍රශ්න කර මුදා හැර තිබිණි.

ගුවන් යානා වෙන් කරවා ගැනීමට නොහැකි වීම නිසා අවස්ථා තුනකදීම හත් දෙනකුගෙන් යුත් එම කණ්ඩායමේ පිටත්වීම ප්‍රමාද විය. ඔවුන්ට වීසා ලැබීම ප්‍රමාද වීම මෙම ප්‍රමාදයට තවත් හේතුවක් විය.

ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ජාත්‍යන්තර පොලිසිය උදයංග වීරතුංග මහතාට නිකුත් කර තිබුණේ ‘නිල් වරෙන්තු’ පමණකි. එම නිසා ඔහුගෙන් ප්‍රශ්න කර මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබිණි. නිල් වරෙන්තු රතු වරෙන්තු තරම් ප්‍රබල නොවේ.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා ගිය හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමේ සිටි විදේශ අමාත්‍යාංශය නියෝජනය කළ පුද්ගලයකු අනෙක් පිරිසට නොදන්වා නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඔහුගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් කරුණු විමසා තිබූ අතර පසුව දේශපාලනික මට්ටමින් එය අවසන් විය.

අනෙක් පිරිසට කලින් මෙරටට පැමිණි විදේශ අමාත්‍යාංශයේ නිලධාරියාට තර්ජනාත්මක දුරකතන ඇමතුම් රැසක් ලැබුණු බව ද දැනගන්නට තිබේ. ඔහුගේ බිරිඳට අනතුරක් වේ යැයි යන බියෙන් අදාළ නිලධාරියා කිසිවකුටත් දැනුම් නොදී ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි තවදුරටත් වාර්තා විය.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top