ක්‍රිඩා

ඉන්දියාව ලංකාවේ ක්‍රිකට් අවතක්සේරු කරති

ලබන මස 6 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිවන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත කියයි. නිත්‍ය නායක විරාට් කෝලි ඇතුළු ක්‍රීඩකයන් පස් දෙනකු මෙම තරගාවලියේදී විවේක ගන්වනු ඇති බවද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වැඩිදුරටත් වාර්තා කරයි.

ඉන්දීය පිලේ ප්‍රබලතම ක්‍රීඩකයන් වන විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා සහ හර්දික් පාණ්ඩ්‍යා යන ක්‍රීඩකයන් මෙම තරගාවලියේදී විවේක ගන්වනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ. විරාට් කෝලි කණ්ඩායමට ඇතුළත් නොවන හෙයින් රෝහිත් ෂර්මාට නායකත්වය පැවරෙන අතර තරුණ ක්‍රීඩකයන් කිහිපදෙනකු ඉන්දීය පිලට එක්වීමට නියමිතය.

පසුගිය වසරේ ජූලි මාසයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සිටම දැන් පැවැත්වෙන ඉන්දීය පිලේ දකුණු අප්‍රිකානු සංචාරය දක්වා දිගින් දිගටම අන්තර්ජාතික තරග පැවැති බැවින් ක්‍රීඩකයන් කිහිප දෙනකු විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ වී තිබේ.

“දකුණු අප්‍රිකානු තරගාවලිය වගේ අමාරු තරගාවලියකට පස්සේත් ක්‍රීඩකයන් එහේ යවන එකේ තේරුම මොකක්ද” යයි ඉන්දිය ක්‍රීඩකයන් විමසා සිටින බවද වාර්තාවේ. ඉන්දිය පිලේ දකුණු අප්‍රිකානු සංචාරය අවසන් වීමට නියමිතව ඇත්තේ අද (24 වැනිදා) කේප් ටවුන්හිදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගයෙන් පසුවය.

කේදර් ජාදව්ද තුවාලකරුවන්ගේ ලයිස්තුවට එක්වීම නිසා නිදහස් කුසලාන තරගාවලිය වෙනුවෙන් නවක ක්‍රීඩකයන් හය දෙනකු පමණ ඉන්දීය පිලට එක්වීමට ඉඩ තිබේ. මහේන්ද්‍ර සිං දෝනිගේ ස්ථානය දිල්ලි පිලේ කඩුලු රකින්නා වන රිෂාබ් පන්ට්ට හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top