රියෑදුරන් රහිත ස්වයංක්‍රීය මෝටර් රථයක් නිර්මාණය කිරීම සඳහා මුදල් ආයෝජනය කරන බව ඇපල් සමාගම පළමු වරට අනාවරණය කර ඇත.
ඇමෙරිකානු ප්‍රවාහන නියාමන බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් ඇපල් සමාගම “ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ස්වයංක්‍රීය පද්ධති වැඩිදියුණු කිරීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් සතුටු වන බව” දක්වා ඇත.
ස්වයංක්‍රීය මෝටර් රථයක් නිර්මාණය කිරීම සඳහා ඇපල් සමාගම සැලසුම් සකස් කරමින් සිටින බවට කලක සිට වාර්තා පළ වූ නමුත් එම සමාගම ඒ බව ප්‍රසිද්ධියේ හෙළිකර නැත.
මේ අතර ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කරන ලද ස්වයංක්‍රීය මෝටර් රථ 2021 වසර වන විට ධාවනය සඳහා සූදානම් කරන බව නිවේදනය කර ඇත.
ගූගල් සමාගම මේ වන විටත් ස්වයංක්‍රීය මෝටර් අත්හදා බලමින් සිටියි.
සිය සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සියලුම මෝටර් රථ තුළ ස්වයංක්‍රීය ධාවනය සඳහා යොදාගන්නා දෘඪාංග අන්තර්ගත බව ඉලෙක්ට්‍රොනික මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා ආයතනය ද සඳහන් කර ඇත.