ක්‍රිඩා

ශ්‍රි ලංකා කණ්ඩායමේ අලුත් නායකයා කවුද ?

ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා පත් කිරීම තේරිම් කමිටුව විසින් අද (4) සිදු කරනු ලබන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එළැඹෙන බංග්ලාදේශ සංචාරයේ දී පැවැත්වෙන එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වනවිට නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යටතේ පුහුණුව ලබමින් සිටින ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතයෙන් අවසන් කණ්ඩායම හෙට (5) නම් කිරීමට නියමිත අතර ඊට පෙර නායකයා තෝරාගැනීම සිදු කිරීමට තේරිම් කමිටුව තීරණය කර තිබේ.

අද නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා එක්දින පිලේ නායකත්වයට හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල් පත් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ‍කෙසේවෙතත් ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මෙන්ම එක්දින පිලේ වත්මන් නායක තිසර පෙරේරා ද තේරීම් කමිටුවේ අවධානය ලක්වී සිටිති.

වසර 2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය දක්වා එක් නායකයකු යටතේ ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා පිලේ සාර්ථකත්වයට හේතුවන බැවින් ලෝක කුසලාන තරගාවලිය දක්වා වසර දෙකක කාලයක් නායකත්වයේ කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම නව නායකයාට නිර්මාණය කරදීම තේරීම් කමිටුවේ අදහස වී ඇතැයි ද වාර්තා වෙයි.

පසුගිය කාලයේ පාදයේ ආබාධයකට ලක්වී සිටි මැතිව්ස් මේ වනවිට පූර්ණ සුවය ලබා සිටින අතර බංග්ලාදේශ සංචාරයට පෙර ඔහුගේ ශාරිරික යෝග්‍යතා පරික්ෂණය ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිතය. මැතිව්ස් මෙන්ම දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩේසේ ද පසුගියදා පැවැති ප්‍රිමියර් ලීග් තරගයක් අතරතුර ආබාධයකට ලක්වීම නිසා ඔහුගේ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයත් එදිනම පැවැත්වීමට නියමිතය.

මීට පෙර ශ්‍රී ලංකා එක්දින පිලේ නායකත්වය දරමින් තරග 98කදී කණ්ඩායම මෙහෙයවා ඇති මැතිව්ස් ඉන් තරග 47ක් ජයගැනිමට සමත්වූ අතර පරාජයට පත්වූ තරග සංඛ්‍යාව 45කි. චන්දිමාල් එක්දින පිලේ නායකයා ලෙස තරග 3කට පමණක් නායකත්වය ලබා දී ඇති අතර ඉන් තරග 2ක් ජයග්‍රහණය කරා මෙහෙයවී ඇති අතර එක් තරගයක් පරාජයට පත්විය.මෑත කාලයේ එක්දින පිලේ නායකත්වයට පත්වූ තිසර පෙරේරා යටතේ ශ්‍රී ලංකා පිල තරග 3කදි එක් ජයග්‍රහණයක් පමණක් ලැබූ අතර තරග 2ක් පරාජයට පත්විය.

මේ අතර ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයත් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගනු ඇතැයි බවයි.

කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ මහතා එවැනි තීරණයක් ගෙන ඇතිදැයි තමන් නොදන්නා බවද ඇමැතිවරයා කීය.

සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් කිරීමට කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තීරණය කර ඇතිදැයි ඊයේ (3) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top