2017 වසර ගෙවී යන්නට තිබෙන්නේ තවත් එක් දිනක් පමණි. ගෙවී ගිය වසරේදී මිනිස් සමාජයට එකතු වුණු නව ඥාන සම්භාරය ගැන විමසා බැලුවහොත් එය කෙළවරක් නැත. එසේ වුවත් තීරණාත්මක විමසුම් කිහිපයක් ගැන අප අවධානය යොමු කළ යුතුව ඇත. ඒ අන් කිසිවක් නිසා නොව පසුගිය වසරේදී මිනිසා අත්පත් කරගත් ඒ ඥානය, ඉදිරි ලෝකයේ පැවැත්ම සඳහා තීරණාත්මක වන බැවිනි.
පළමු කලල සංස්කරණය
ජාන සංස්කරණයට භාවිත කෙරෙන CRISPR තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන මානව කලලයක් සංස්කරණය කරන්නට ඇමෙරිකාවේ විද්‍යාඥයෝ පිරිසක් මේ වසරේදී සමත් වූහ. එම මානව කලල සංස්කරණය කළේ පොර්ට්ලන්ඩ්හි පිහිටි ඔරෙගොන් සෞඛ්‍යය සහ විද්‍යා විශ්වවිද්‍යාලයේ ෂොව්ඛරට් මිටලිපොව් නැමැති විද්‍යාඥයාය. ඔහු මේ සංස්කරණය සිදු කළේ එක සෛලයකින් සමන්විත මානව කලලයකට බව සඳහන් වේ.
හෘදයේ තත්ත්වය තීරණය කෙරෙන එහි අඩංගු ජානය මකා දැමීමට මිටලිපොව් සමත් විණ. යට කී පර්යේෂණයෙන් ලද ඥානය ජානමය වශයෙන් වැඩි දියුණු කළ මිනිසුන් හෙවත් සුපිරි මිනිසුන් ලබා ගැනීමට ඉවහල් වනු ඇත. එසේ වුවත් මෙය ඉදිරි ලෝකය තුළ බරපතල ගැටලුවක් නිර්මාණය කරන්නටත් හේතුවක් වනු ඇති බව ද නිසැකය.
ලෝහමය හයිඩ්රජන් සැකසුම
හයිඩ්රජන් වායුමය ස්වභාවයකින් යුක්ත බව අපි දනිමු. එසේ වුවත් ලෝහමය තත්ත්වයකට පත් කළ හයිඩ්රජන් සකසා ගන්නට ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ. අයිසැක් සිල්වේරා සහ රංග ඩයස් යන විද්‍යාඥයන් දෙපල එහිලා කැපී පෙනෙන මෙහෙයක් කළ බව වාර්තා වේ. වායු තත්ත්වයේ පවත්නා හයිඩ්රජන් ලෝහමය තත්ත්වයට පමුණුවා ගනු ලැබුවේ ද්‍රව තත්ත්වයට පත් කරගත් හයිඩ්රජන් මත වායුගෝලීය පීඩන මිලියන 4.95ක පමණ පීඩනයක් යොදමිනි.
ලෝහ තත්ත්වයේ හයිඩ්රජන් අධි සන්නායකයක් ලෙස ක්‍රියා කරයි. එම හයිඩ්රජන් බොහෝ කටයුතුවලට භාවිතයට ගත හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ලෝහ හයිඩ්රජන් නිෂ්පාදනය කර ගැනීමට මිනිසා සමත් වීම මානව සංහතිය විප්ලවීය වෙනසකට බඳුන් කිරීමට තැබූ පළමු අඩිය ලෙස හඳුන්වන්නට පුළුවන.
ජීවින් සහිත ග්‍රහ ලෝකයක්
ජීවින් සහිත ග්‍රහ ලෝකයක් යැයි සැලකෙන LHS 1140b ගැන විද්‍යාඥයන් පළමු වරට තතු අනාවරණය කර ගත්තේ මේ වසරේදීය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් පමණ ඈතින් එම ග්‍රහ ලෝකය පිහිටා ඇත. මෙම ග්‍රහ ලෝකය, එය අයත් ග්‍රහ මණ්ඩලයේ තාරකාවෙන් ලබන ආලෝක ප්‍රමාණය පෘථිවිය සූර්යයාගෙන් ලබන ආලෝක ප්‍රමාණයට සමාන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. LHS 1140b ග්‍රහලෝකය පෘථිවියට වඩා විශාල එකකි. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භය මෙන් 1.4 වාරයක් විශාල බව දැක්වේ.
එමෙන්ම එය වසර බිලියන 5කට පමණ පෙර ඇති වූවක් බව විද්‍යාඥයෝ පවසති. මේ ග්‍රහ ලෝකයේ තතු අනාවරණය කර ගත්තේ තාරකා විද්‍යාත්මක පර්යේෂණ සඳහා වූ යුරෝපා සංවිධානයයි. විද්‍යාඥයන් පවසන්නේ එම ග්‍රහ ලෝකයට ලැබෙන ආලෝකය සහ ස්වභාවය අනුව එහි ජීවින් සිටින්නට ඉඩ ඇතැයි කියාය. ඒ අනුව අනාගතයේ දිනෙක පෘථිවි වැසියන්ගේ ඉරණම විසඳන්නට මේ ග්‍රහ ලෝකය හේතුවක් වනු ඇතිද යන සාධාරණ සැකය මතු වේ.
කෘත්‍රිම ගර්භාෂයක්
ගැහැනියකගේ ගර්භාෂයට සෑම අතින්ම සමාන වන ආකාරයට කෘත්‍රිමව ගර්භාෂයක් තනා ගන්නට හැකි නම් බිළිඳු මරණ සංඛ්‍යාව අඩු කරගන්නට එය මඟකි. විශේෂයෙන්ම නියමිත කාලයට පෙර උපත ලබන ළදරුවන් වර්ධනය කිරීමට එවැනි කෘත්‍රිම ගර්භාෂයක් ඉතාමත් වැදගත් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් කෘත්‍රිම ගර්භාෂයක් සැකසීම මේ වසරේදී අත්හදා බැලූහ. මේ කෘත්‍රිම ගර්භාෂයේ ව්‍යුහාත්මක ස්වභාවයත් ක්‍රියාකාරීත්වයත් ස්වභාවික ගර්භාෂයක ව්‍යුහයට සහ ක්‍රියාකාරීත්වයට සමානය.
එලෙස අත්හදා බැලූ ගර්භාෂය නම් කර තිබෙන්නේ “ජෛව බෑගය” (biobag) යනුවෙනි. විද්‍යාඥයන් කෘත්‍රිම ගර්භාෂය පළමුවෙන්ම අත්හදා බැලුවේ බැටළු පැටවුන් සඳහාය. නොමේරු බැටළු පැටවුන් සති හතරක පමණ කාලයක් යට කී ජෛව බෑගයෙහි බහා වර්ධනය වන්නට සලස්වන ලදී. විද්‍යාඥයන්ට දක්නට ලැබුණේ බැටළු පැටවුන්ගේ පෙනහලු, රෝම ආදිය නියමිත පමණට වැඩී ඇති බවකි.
සති 37කට පළමුව උපත ලබන ළදරුවන් – එනම් නොමේරු ළදරුවන් සම්බන්ධයෙන් මේ ජෛව බෑගය අත්හදා බැලීම විද්‍යාඥයන්ගේ මීළඟ පියවරයි. සෑම වසරක් පාසාම නොමේරු ළදරුවෝ මිලියන ගණනක් ලෝ පුරා උපත ලබති. එසේ උපත ලබන ළදරුවන්ගෙන් ඇතැමුන් ජීවිතක්ෂයට පත් වන බවත් රහසක් නොවේ. ජීවිතක්ෂයට පත් නොවන දරුවෝ පෙනහලු සහ මොළය ආශ්රිත ආබාධ තත්ත්වයන්ගෙන් පීඩා විඳිති.
අලුත් මහාද්වීපයක්
අප්‍රිකා, ඇන්ටාර්ක්ටිකා, ආසියා, ඕස්ට්‍රේලියා, යුරෝපා, උතුරු ඇමෙරිකා සහ දකුණු ඇමෙරිකා යන මහාද්වීපවලට අමතරව තවත් මහාද්වීපයක් මුහුද යට නිර්මාණය වෙමින් තිබෙන බව භූ ගර්භ විද්‍යාඥයෝ මේ වසරේදී අනාවරණය කළහ. එය නවසීලන්තය ආසන්නයෙහි නිර්මාණය වෙමින් පවතී. නව මහාද්වීපය නම් කර තිබෙන්නේ සීලැන්ඩියා වශයෙනි.
මේ මහාද්වීපය වර්ග කිලෝමීටර මිලියන 4.9ක් පමණ විශාලැති එකකි. එසේ වුවත් එය දැනට පවත්නා සෑම මහාද්විපයකටම වඩා කුඩා එකක් බව පැවසේ. නව මහාද්වීපය ගොඩබිමක් හැටියට පෘථිවිය මත දක්නට ලැබෙන්නේ කවදාද යන්න ගැන කිසිදු සඳහනක් තවම නැත.