දියවැඩියාව ගැන හැම දෙයක්ම දැනගනිමු.
🔥 දියවැඩියාව යනු කුමක්ද?
සෑම පුද්ගලයෙකුගේම රුධිරයේ යම්කිසි සීනි ප්‍රමාණයක් ඇත. මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාව ලෙස හැඳින්වේ.
සාමාන්‍ය අගය
• FBS = 60 – 110 mg/dl ( පැය 10 ක් නිරාහාරව සිටීමෙන් පසු රුධිරයේ සීනි තත්වය )
• PPBS = 80 – 140 mg/dl ( ආහාර ගෙන පැය 2කට පසු පරීක්ෂා කරන රුධිරයේ සීනි තත්වය )
💥 රුධිරයට සීනි ලැබෙන්නේ කෙසේද?
අප ගන්නා පිෂ්ඨ ජනක ආහාර ජීර්ණය වී “ග්ලූකෝස්” නැමැති සරල සීනි බවට පත් වීමෙන් පසු අපගේ රුධිරයට උරා ගනී.
💥 සීනි අපට අවශ්‍ය ඇයි?
අපට අවශ්‍ය අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ සීනි වලිනි. රුධිරයේ ඇති මෙම සීනි අපගේ සිරුරේ ඇති සෑම සෛලයක්ම වෙත ලබාදේ.
💥 රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්නේ ඇයි?
මෙම සීනි රුධිරයේ සිට සෛල වලට ඇතුල් කිරීමට ඉන්සියුලින් අවශ්‍යය. මෙම සීනි අංශු සෛල තුළට ඇතුළු වන්නේ එහි ඇති දොරටුවකින් නම් ඉන්සියුලින් යනු එම දොරටුව විවෘත කිරීමට අවශ්‍ය යතුර වේ. එම යතුර නොමැති විට සීනි සෛල තුළට නොයන අතර ලේ වල සීනි මට්ටම ඉහළ යයි.
💥 දියවැඩියාවෙහි රෝග ලක්ෂණ මොනවාද?
• ලේ වල සීනි සාන්ද්‍රණය ඉහළ යාම නිසා,
1. දිවා රාත්‍රී දෙකෙහිම මුත්‍රා පිටවීම වැඩිවේ.
2. අධික පිපාසය ඇති වේ.
• සෛල වලට සීනි නොලැබීම නිසා,
තෙහෙට්ටුව, අප්‍රාණික බව, නිතර බඩගිනි දැනීම, නිදිමත ගතිය, ශරීරය කෙට්ටුවීම සිදුවේ.
සමහර විට මෙම රෝග ලක්ෂණ නොමැතිව වුවද දියවැඩියාව තිබිය හැකිය. පවුලේ දියවැඩියා රෝගීන් සිටියි නම් රුධිර සීනි පරීක්ෂාවක් කරගත යුත්තේ ඒ නිසයි.
💥 දියවැඩියාවේ වර්ග මොනවාද?
දියවැඩියාවේ වර්ග 3 ක් තිබේ.
1. පළමු වර්ගය (Type – 1)
මෙහිදී අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් නිපදවීම අඩුවීම හෝ කොහෙත්ම නිපදවන්නේ නැත. බොහෝවිට මෙම තත්වය ඇති වන්නේ කුඩා දරුවන්ට හෝ තරුණ අයට යි. ප්‍රතිකාරයට ඉන්සියුලින් පිටතින් සැපයිය යුතුය.
2. දෙවන වර්ගය (Type – 2)
මෙහිදී සිදුවන්නේ ඉන්සියුලින් තිබුනද ඒවා සෛල මඟින් භාවිතා නොකිරීමයි. මෙම තත්වයට ආහාර පාලනය මඟින් හෝ ඖෂධ මඟින් ප්‍රතිකාර කළ හැකි අතර, සමහර විට ඉන්සියුලින් පිටතින් සැපයීම ද අවශ්‍ය වේ.
3. ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියාව
• ගර්භනී අවධියේ දී රුධිර ගත සීනි මට්ටම වැඩිවිය හැක. (Gestational Diabetes)
• දරු ප්‍රසූතියෙන් පසුවද රුධිර සීනි මට්ටම වැඩිවී තිබිය හැක. පසුකලෙක දී එය දියවැඩියාව ඇතිවීමට හේතුකාරක විය හැක.
💥 හොඳ රුධිර සීනි පාලනයක් අවශ්‍ය වන්නේ ඇයි?
රුධිරයේ සීනි මට්ටම අධික වීම ඔබගේ ඉන්ද්‍රියනට විශාල ලෙස හානි ඇති කිරීමට හේතු වෙයි. මෙම අතුරු ආබාධ කෙටි කාලීන හෝ දිගු කාලීන විය හැකිය.
💥 කෙටි කාලීන බලපෑම් මොනවාද?
සිහි තත්වයේ වෙනස්කම්, විජලන, විවිධ ආසාධන වලට ගොදුරුවීමේ අවධානම වැඩි බව.
💥 දුර්වල සීනි මට්ටම පාලනය හේතුවෙන් ඇතිවන දිගුකාලීන බලපෑම් මොනවාද?
• හෘදය – හෘදයාබාධ, පාද වලට දුර්වල රුධිර සැපයුම.
• ස්නායු පද්ධතිය – දෙපා හිරිවැටීම, තුවාල ඇති වූ විට ඒ පිළිබඳ සංවේදීතාව අඩු වීම හේතුවෙන් අවසානයේ පාද ඉවත්කිරීමට පවා සිදුවීම, අංශභාගය ඇතිවීම
• ඇස – සුද ඇතිවීම, අන්ධ භාවය ඇතිවීම
• වකුගඩු – මුත්‍රා ආසාදන, වකුගඩු ක්‍රියාවිරහිත වීම.
💥 මෙම සංකූලතා වලින් වැළකිය හැක්කේ කෙසේද?
• හොඳ රුධිර සීනි පාලනයක් පවත්වා ගැනීම.
• අධි රුධිර පීඩන රෝගයෙන් පෙළෙයි නම්, හොඳ රුධිර පීඩන පාලනයක් පවත්වා ගැනීම.
• රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම.
• දුම් පානයෙන් වැළකී සිටීම.
• ක්‍රමවත් ව්‍යායාම සමඟ සක්‍රීයව දිවි පෙවෙතක් ගත කිරීම.
• ආහාර හා ව්‍යායාම සමඟ උසට සරිලන බර පවත්වාගෙන යාම.
ක්‍රමානුකූලව සායනයට පැමිණීම හා වාර්ෂිකව සංකූලතා සඳහා පරීක්ෂා කිරීම මනා දියවැඩියාව පාලනයක් සඳහා වැදගත් වේ.
දියවැඩියාව එකම තත්වයේ පවතින රෝග තත්වයක් නොවේ. කාලය සමඟ දියවැඩියාව වඩ වඩාත් තීව්‍ර තත්වයට පත්වේ. එම නිසා,
• හොඳ ජීවන රටාවක් පවත්වාගෙන යාම කළ යුතු වෙයි.
1. හොඳ ආහාර රටාවක් පවත්වාගෙන යාම.
2. ව්‍යායාම
3. යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීම.
වැදගත් වේ.
💥 රුධිරයේ සීනි සාන්ද්‍රණය නිවැරදිව පාලනය නොවීමට හේතු
1. ආහාර පාලනය නොකිරීම.
2. ඖෂධ නිවැරදිව නොගැනීම. (පෙති හෝ ඉන්සියුලින් )
3. නිතිපතා ශාරීරික ව්‍යායාම නොකිරීම.
4. අධික මානසික ආතතිය.
5. රෝගී හෝ ආසාදනයන්ට ලක්වන අවස්ථාවන්හිදී තම රුධිර සීනි මට්ටම ගැන සැලකිලිමත් නොවීම.
💥 මන්ද මධුරක්තිය හෙවත් “හයිපොග්ලයිසීමියාව”
1. මන්ද මධුරක්තිය හෙවත් “හයිපොග්ලයිසීමියාව” යනු කුමක් ද?
රුධිරයේ ග්ලූකෝස්/සීනි ප්‍රාමාණය ක්ෂණිකව පහළ බැසීම මෙනමින් හඳුන්වයි.
2. මන්ද මධුරක්තියේ රෝග ලක්ෂණ :-
• අධික කුසගින්න
• වෙව්ලීම
• ඇඟට සීතලක් දැනීම
• නාඩි වේගවත් වීම
• පපුව ගැහෙනවාක් මෙන් දැනීම
• හිසරදය
• තිගැස්ම
• නිදිමත හෝ ක්ලාන්ත ගතිය
• සිහි නැතිවීම
3. මන්ද මධුරක්තිය ඇතිවීමට හේතු මොනවාද?
• ඉන්සියුලින් හෝ දියවැඩියා පෙති නියම ප්‍රමාණයට වඩා වැඩිපුර ගැනීම.
• ඉන්සියුලින් හෝ දියවැඩියා පෙති ගත් විගස වැඩිපුර ව්‍යායාම කිරීම හෝ අධික්‍රියාකාරීත්වයේ යෙදීම.
• නිසි ප්‍රමාණයට ආහාර නොගැනීම.
• ප්‍රධාන ආහාර වේල් මඟ හැරීම හෝ ආහාර වේල් අතර නිසි පරතරයක් නොමැති වීම.
• ඉන්සියුලින් ගැනීමෙන් පසුව ආහාර නොගෙන සිටීම හෝ ආහාර ගැනීම ප්‍රමාද වීම.
• ආහාර නොගෙන පෙති හෝ ඉන්සියුලින් ගැනීම.
• රෝගී තත්වයකට පත්වී ආහාර ගැනීමට නොහැකි තත්වයේ සිටීම.
4. මන්ද මධුරක්තිය (Hypoglycemia) වළක්වා ගන්නේ කෙසේද?
• කුසගින්නේ වැඩි වේලාවක් නොසිටින්න.
• දියවැඩියාවට සුදුසු ආහාර (සීනි අඩු/කෙඳි සහිත) නිසි ප්‍රමාණ වලින් ලබා ගන්න.
• ප්‍රධාන ආහාර වේල් අතර නියමිත පරතරයක් තබා ගන්න.
• කිසි විටෙක ප්‍රධාන ආහාර වේලක් මඟ නොහරින්න.
• කුසගින්නේ ව්‍යායාම නොකරන්න.
• ඉන්සියුලින් හෝ දියවැඩියාව පෙති වෛද්‍යවරයා සඳහන් කර ඇති නියමිත මාත්‍රාවටම/ප්‍රමාණය පමණක්ම ලබා ගන්න.
• කුමන හේතුවක් නිසා හෝ අමතක වීම නිසා ඉන්සියුලින් එන්නත් කර ගැනීම හෝ දියවැඩියාව පෙති ගැනීම එක් වේලක් හෝ මඟ හැරුණහොත් නැවත වැඩිපුර නොගන්න. ඔබගේ ඊළඟ නියමිත මාත්‍රාව/ප්‍රමාණය පමණක්ම නියමිත වේලාවට ලබාගන්න.
• ප්‍රධාන ආහාර වේල් දෙක අතර කුඩා ආහාර වේලක් (Snack) ගන්න.
උදා:- පළතුරක් හෝ පෝෂණමය පානයක්, ක්‍රැකර් බිස්කට් එකක්.
• ඔබ රෝගී වූ විටෙක දියවැඩියා බෙහෙත් දිගටම ගතයුතු අතර වහාම ඔබේ වෛද්‍යවරයා හමු වී අවශ්‍ය නම් රෝහල් ගත වන්න.
• ඉන්සියුලින් ප්‍රතිකාරය ලබා ගන්නේ නම්, සෑමවිටම ඉන්සියුලින් මාත්‍රාව ආහාර ගැනීමට විනාඩි 20කට පෙර ලබා ගන්න. (ඉන්සියුලින් ප්‍රතිකාරයෙන් පසුව කුසගින්නේ නොසිටීම ඉතා වැදගත් වේ.)
• කිසිවිටෙක කුසගින්නේ සිට දියවැඩියාව පෙති ලබා නොගන්න.
• ඔබ මෙට්ෆෝර්මින් නම් දියවැඩියා පෙති භාවිතා කරන්නේ නම්, එය සෑමවිටම ආහාරයෙන් පසු ලබාගන්න. අනෙකුත් සියළු ඖෂධ ආහාරයට පෙර ලබාගන්න.
5. මන්ද මධුරක්තිය ඇතිවුවහොත් කළ යුත්තේ කුමක් ද?
• මන්ද මධුරක්තියේ දී රුධිරගත සීනි මට්ටම අඩු වේ.
• නමුත් සාමාන්‍ය කුසගින්නක් දැණුනු පමණින් සීනි සහිත ආහාරයක් ගැනීමෙන් වළකින්න.
• අධික කුසගින්නක් සමඟ ඔබට මන්ද මධුරක්තියේ ලක්ෂණ එකක් හෝ කිහිපයක් පැමිණේ නම්, ඔබව ක්ලාන්තමය ස්වභාවයකට යන බව හැඟේ නම්, වහාම ග්ලූකෝස් ස්වල්පයක්, සීනි දැමූ පානයක් හෝ සීනි ස්වල්පයක් ගන්න.
උදා:- පළතුරු බීමක්, ග්ලූකෝස් ස්වල්පයක්, සීනි දැමූ පානයක්, සීනි තේ හැඳි දෙකක් හෝ සීනි දමා සාදන ලද සැහැල්ලු ආහාරයක්.
💫 සැ.යු. :- අති මධුරක්තිය (සීනි වැඩිවීම) (Hyperglycemia) වූ විට ද, ක්ලාන්ත ගතිය, සිහිමූර්ඡා වීම සිදුවිය හැකි බැවින්, රෝගියාට සීනි දැමූ යමක් දීමට පෙර රුධිර ගත සීනි මට්ටම තහවුරු කර ගැනීම වඩාත් සුදුසු වේ.
6. මන්ද මධුරක්තිය ඇතිවී සිහිමූර්ඡා තත්වයට පත්වුවහොත්, කළ යුත්තේ කුමක්ද?
• හැකි ඉක්මණින් පිළිගත් වෛද්‍යවරයෙක් හෝ රෝහලක් කරා රෝගියාව රැගෙන යාම කළ යුතුවේ.(රෝගියා රැගෙන යන අතරතුර ග්ලූකෝස් හෝ සීනි ස්වල්පයක් ජලයේ දියකර රෝගියාගේ මුඛ කුහරයේ ඇතුල් පැත්තේ හොඳින් ආලේපනය කිරීම සිදු කළ හැක.)
• ඔබ සමඟ සිටින අය මේ පිළිබඳව දැනුවත් කර තබන්න.
කෙසේ වුවත් මන්ද මධුරක්තියට ප්‍රතිකාර කිරීමට වඩා වැදගත් වන්නේ මන්ද මධුරක්තිය ඇතිවීම වළක්වා ගැනීමයි. ඒ සඳහා ඔබ දියවැඩියාව පාලනය පිළිබඳ මනා අවබෝධයකින් පසුවීම අත්‍යාවශ්‍ය වේ.
💥 ආහාර පාලනය කරන්නේ කෙසේද?
1. නිවසේ සියලු දෙනාටම ගැලපෙන සමබල ආහාර වේලක් සකස් කර ගන්න. සමබර ආහාර වේලක පිෂ්ඨය, ප්‍රෝටීන, මේදය, ඛණිජ ලවණ හා විටමින් අඩංගු විය යුතුය.
2. සමබල ආහාර වේලක ප්‍රධාන අංගය වන්නේ පිෂ්ඨයයි. එය ලබාගත යුත්තේ, කෙඳි බහුල පිටි සහිත ආහාර වලිනි. කෙඳි වැඩි ප්‍රමාණයක් තිබීම ආහාරයේ ඇති පිටි අවශෝෂණය ප්‍රමාද කිරීමටත්, කුසගින්න දැනීම ප්‍රමාද කිරීමටත් උදව් වේ.
කෙඳි බහුල ආහාර :- නිවුඩු හාල්, කුරක්කන්, උලුඳු පිටි, මුං ඇට, කඩල (තිරිඟු පිටි වලින් සාදනු ලබන ආහාර වල කෙඳි සුළු ප්‍රමාණයක් හෝ අඩංගු නැති නිසා ඒවා සුදුසු නැත.) ඔබ ලබාගන්නා පිෂ්ඨ ප්‍රමාණය ගැන සැළකිලිමත් විය යුතු අතර, සෑම දිනකම එය එකම ප්‍රමාණයක් විය යුතුය. එක් ආහාර වේලකට අධික පිටි සහිත ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් වළකින්න.
3. මේදය ලබා ගැනීමේදී දිනකට ලබා ගන්නා මේද ප්‍රමාණය මෙන්ම වර්ගය ගැන සැළකිලිමත් විය යුතුය. සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, එළවළු තෙල් භාවිතා නොකිරීම ගුණදායකය. පොල් තෙල් සුදුසු අතර ඒවා භාවිතා කළ යුත්තේ අඩුවෙනි. ඌරු මස්, හරක් මස්, එළු මස්, චීස්, යොදය සහිත කිරි, බටර් වල ඇති තෙල් සුදුසු නැත.
4. ප්‍රෝටීන ප්‍රමාණවත්ව ගත යුතුය. මුං ඇට, කඩල, කව්පි, පරිප්පු, මාළු, සම ඉවත් කළ කුකුල් මස් වලින් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න. කුඩා මාළු ඉතාමත් ගුණදායකය.
5. නියමිත වේලාවකට ආහාර ගන්න. ආහාර වේල් මඟ නොහරින්න.
6. අතුරුපස ලෙස පලතුරු වර්ගයක්, සීනි හෝ පැණි රහිතව මුදවන ලද කිරි ගත හැකිය. මෙහිදී ඉතාමත් අඩුවෙන් ගතයුතු ආහාර වන්නේ පුඩිං වර්ග, වටලප්පන්, ටොෆි, චොකලට්, අයිස්ක්‍රීම්, වැනි දෑ ය.
7. ප්‍රධාන ආහාර වේල් අතරතුර ඔබට පලතුරක් (තරමක් ඉදුනු), පැණි රස නොමැති බිස්කට් එකක්, සීනි රහිත කිරි වීදුරුවක්, අතුරු ආහාරයක් ලෙස ගත හැකිය.
රස කැවිලි වර්ග, කේක්, පාන්, සීනි, හකුරු, රට ඉඳි, පැණි බීම, මෝල්ටඩ් කිරි වර්ග සහ මේද සහිත පිෂ්ඨය අධික කිරිපිටි වර්ග ලබා ගන්නේ නම් එය ඉතාම ස්වල්පයක් විය යුතුය.
8. ඔබ තරබාරු නම් බර අඩු කර ගැනීමට උනන්දු වන්න. අධික කැලරි සහිත ආහාර අඩු කරන්න. තරබාරු බව අඩු කර ගැනීමෙන් දියවැඩියාව ඉතා හොඳින් පාලනය කළ හැකිය.
9. ලුණු භාවිතය අඩු කරන්න.
💥 දියවැඩියා රෝගීන්ගේ ආහාර සඳහා උපදෙස්
1. පහත සඳහන් ආහාර වලින් හැකිතරම් වැළකී සිටිය යුතුය.
සියලුම පැණිරස ආහාර වර්ග :-
සීනි, හකුරු, මී පැණි, සිරප් වර්ග, රට ඉඳි, ටොෆි, කේක්, රස කැවිලි, තලගුලි, මස්කට්, පුඩිං වර්ග, වටලප්පන්, චොකලට්, පැණිරස, චුයින්ගම්, ජෑම් වර්ග, මාර්ෂ්මෙලෝස්, ජෙලි වර්ග, සිසිල් බීම, පැණිරස බීම වර්ග, පැණිරස යෙදූ පළතුරු යුෂ, තැඹිලි, ග්ලූකෝස්, පැණිරස බිස්කට් වර්ග, අයිස්ක්‍රීම්, ටින් කිරි, මෝල්ටඩ් කිරි පිටි.
2. පහත සඳහන් ආහාර වර්ග බහුල වශයෙන් ගත හැක.
• සියලුම පලා වර්ග :-
මුකුණුවැන්න, ගොටුකොළ, තම්පලා, නිවිති, කංකුන්, කතුරුමුරුංගා
• පිෂ්ඨය අඩු එළවළු වර්ග :-
බෝංචි, මෑකරල්, දඹල, වම්බටු, බණ්ඩක්කා, එළබටු, තක්කාලි, ගෝවා, ලීක්ස්, රාබු, නෝකෝල්, කරවිල, තුඹ, පතෝල, වැටකොලු, පිපිඤ්ඤා, වට්ටක්කා, මුරුංගා, රතු ළූණු, හතු , මුං ඇට, කව්පි, සෝයා බෝංචි, ධාන්‍ය වර්ග.
3. පහත සඳහන් ආහාර වර්ග මධ්‍යස්ථ ප්‍රමාණයකින් ගත හැකිය.
• ධාන්‍ය වර්ග :-
නිව්ඩු සහිත බත්, සහල් පිටි ඉඳි ආප්ප සහ පිට්ටු යනාදිය, ආටා පිටි වලින් තැනූ ආහාර, රොටී, ඉඳි ආප්ප, කුරක්කන් පිට්ටු, තලප යනාදිය.
• අල වර්ග :-
අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, කිරි අල, කැරට්, ඉන්නල, දන්දිල
• පිටි සහිත එළවළු සහ පළතුරු :-
අළු කෙසෙල්, කොස් සහ කොස් ඇට, දෙල්
• මාංශ ආහාර :-
කුකුල් මස්, බිත්තර සුදු මදය, මාළු
• පැණි රස නොයෙදූ පළතුරු යුෂ :-
දොඩම්, වැල් දොඩම්, දෙහි වර්ග
• පළතුරු :-
පැපොල්, කෙසෙල්, කොමඩු, (මද වශයෙන් ඉදුනු) වඩා සුදුසු වේ.
4. සාමාන්‍ය උපදෙස් :-
• අධික කෙඳි සහිත ආහාර ගැනීම සුදුසුය. පරලු පාන්, සුදු පාන් වලට වඩා සුදුසුය. සුදු පාන් සහ සුදු පිටි වලින් සාදන කෑම හැකිතාක් සීමා කරන්න.
• කුරක්කන් සහ පලා වර්ග කෙඳි සහිත ආහාර වේ.
• කුරුට්ට සහිත හාල් සහ එයින් සාදන ලද ඉඳි ආප්ප, ආප්ප වැනි ආහාර පාහින ලද හාල් සහ එයින් සාදන ලද ආහාර වලට වඩා සුදුසුය. හකුරු , සීනි මෙන්ම අහිතකරය. හරක් මස්, ඌරු මස් සහ එළු මස් විශේෂයෙන්ම සීමා කළ යුතුය. පළතුරු යුෂ පානයට වඩා එය පළතුරක් ලෙස කෑමට ගැනීම සුදුසුය. සත්ව තෙලට වඩා එළවළු තෙල් සුදුසු වේ.
• හෘද රෝග, අධික රුධිර පීඩනය, වකුගඩු හා අක්මා රෝග ඇති දියවැඩියා රෝගීන්ට ඉහත සඳහන් ආහාර වට්ටෝරුව වෙනස් කිරීමට සිදුවිය හැක.
• දියවැඩියාව පාලනය වී ඇති බව ඔබ විසින්ම තහවුරු කර ගැනීම සඳහා ඔබට හැකිනම් පහත සඳහන් පරීක්ෂණයන් කර ගැනීම වඩා සුදුසු වේ.
* RBS – Random Blood Glucose
* FBS – Fasting Blood Glucose (මසකට වරක්)
* HbAlc – රුධිර පරීක්ෂාව – මාස 03කට වරක්
🔥 දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාර වට්ටෝරුවක්
ඔබ අධික තරබාරුකම හෝ වෙනත් රෝගී තත්වයක් සහිත දියවැඩියා රෝගියෙක් නම් පහත ආහාර වට්ටෝරුව අනුගමනය කිරීමට පෙර පෝෂණවේදියකුගේ උපදෙස් ලබා ගන්න.
* උදේ 6.00 ට
• කිරි තේ වීදුරුවක් (සීනි රහිතව) / දියවැඩියාව සඳහා සැකසූ පෝෂණීය පානයක්.
* උදේ ආහාරය – පෙ.ව. 7.00 – 7.30
• බත් පීරිසි කෝප්ප 1,1/2 හෝ මුං ඇට / කඩල / කව්පි පීරිසි කෝප්ප 1 හෝ ඉඳි ආප්ප 6 – 7
• ගස්ලබු තීරුවක්(2″×4″)/කුඩා ඇඹුල් කෙසෙල් 1
* උදේ 10.00
• කිරි හෝ පළතුරු යුෂ වීදුරුවක් (සීනි නැතිව) සහ ක්‍රැකර් වැනි පැණි රස අඩු බිස්කට් 01.
• දියවැඩියාව සඳහා සැකසූ පෝෂණීය පානයක්.
* දහවල් ආහාරය – ප.ව. 12.00 – 1.00
• බත් පීරිසි කෝප්ප 1, 1/2
• පිටි ගතිය අඩු එළවළු පීරිසි කෝප්ප 1/2 (ලීක්ස්, වම්බටු/දඹල)
• පලා වර්ගයක් හෝ එළවළු සලාදයක් (පිපිඤ්ඤා, පතෝල වැනි) පීරිසි කෝප්ප 3/4
• මස්/ මාළු/ බිත්තරයක්/ කරවල/ හාල්මැස්සන් / මේස හැඳි 1 – 2
• සත්ත්ව ආහාර නොගන්නා විට පරිප්පු/ මුං ඇට/ කව්පි/ කඩල/ සෝයා/ හතු වැනි ව්‍යංජනයක් ආහාරයට එක් කරන්න.
* සවස 4.00
• කිරි තේ හෝ පළතුරු යුෂ වීදුරු 1ක් (සීනි නැතිව) / දියවැඩියාව සඳහා සැකසූ පෝෂණීය ආහාරයක්.
• තරමක ඉදුණු පළතුරක් හෝ පැණි රස අඩු බිස්කට් 1 – 2
* රාත්‍රී ආහාරය
• දහවල් ආහාරයේදී මෙන් බත් කෝප්ප 1,1/2 හෝ ඉඳි ආප්ප 6 – 7, එළවළු ව්‍යාංජන සමඟ
💥 ශාරීරික ව්‍යායාම
1. ව්‍යායාම රෝගී, නීරෝගී අප සැමගේම යහපත් සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීමට ඉතා වැදගත් දෙයකි.
2. ව්‍යායාම මඟින් තරබාරු බව අඩු කරයි.
3. මීට අමතරව දියවැඩියා රෝගීන්ට ව්‍යායාම මඟින් ඇතිවන වාසි තිබේ. රුධිරයේ සීනි සෛල තුළට ඇතුළු කිරීම වැඩිකොට ඒ මඟින් රුධිර සීනි මට්ටම මනා පාලනයත්, ඉන්සියුලින් වල ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම කිරීමත් ව්‍යායාම මඟින් සිදු කෙරේ. තවද රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය සඳහා ව්‍යායාමයෙහි යෙදීම උපකාරී වේ.
4. තමන්ට ගැලපෙන තමන් කැමති ව්‍යායාම තෝරා ගන්න.
උදා:- වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම. එය විනෝදාංශයක් ලෙස සලකන්න.
5. දිනකට අඩු වශයෙන් විනාඩි 20ක් වත් වන සේ සතියට දින 3 – 4ක් ව්‍යායාමයේ යෙදිය යුතුය.
💫සැ.යු. :- වෛද්‍ය අවවාද ඇතිව ව්‍යායාම කිරීම වඩාත් වැදගත් ය.
💥 මානසික යහ පැවැත්ම
• ඔබ ජීවත් වන වටපිටාවේ, ඔබට මානසික පීඩනය වැඩි කරවන හේතු, වැළැක්විය හැකි මානසික පීඩන හා වැළැක්විය නොහැකි මානසික පීඩන හඳුනාගෙන තිබීම.
• ඔබට පීඩාකාරී ප්‍රශ්නයක් වේ නම් සමීපතම හිතවතෙකු සමඟ සාකච්ඡා කිරීම.
• අනවශ්‍ය අවිවේකී බවෙන් මිදීම.
• ශාරීරික, මානසික විඩා බවින් මිදීමට කළ යුතු දෑ සිදු කිරීම.
• ආගමික කටයුතු වලට නැඹුරු වීම.
• එදිනෙදා කටයුතු අප්‍රමාදීව කිරීම.
💥 ඖෂධ භාවිතා කිරීම
1. ඉහත ක්‍රම මඟින් සීනි පාලනය කළ නොහැකි වූ විට ඖෂධ භාවිතා කරනු ලැබේ.
2. වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ආරම්භ කළ යුතුය. නියමිත වේලාවට, නියමිත මාත්‍රාව ලබා ගත යුතුය. ඖෂධ වේල් මඟ හැරීම නොකළ යුතුය.
3. ඖෂධ මාත්‍රාව අඩු කිරීම, වැඩි කිරීම හෝ අළුත් ඖෂධ වර්ග එකතු කිරීම වෛද්‍ය උපදෙස් මත පමණක්ම කළ යුතුය. මේ සඳහා මසකට වරක් රුධිර සීනි ප්‍රමාණය පරීක්ෂා කර ගෙන වෛද්‍යවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගන්න.
4. තමා පාවිච්චි කරන ඖෂධ වර්ගයේ නම, මාත්‍රාවේ ප්‍රමාණය මතක තබා ගැනීමට උත්සාහ කරන්න.
💥 දියවැඩියා රෝගීන් සඳහා පාද සාත්තුව
1. දියවැඩියා රෝගීන්ට විශේෂ පාද සාත්තුවක් අවශ්‍ය වන්නේ ඇයි?
• දියවැඩියා රෝගීන්ගේ පාද වලට රුධිර සැපයුම අඩු නිසා සුළු තුවාලයක් වුවත් සුව නොවන තත්වයට පත්විය හැක.
• ස්නායු විනාශ වීම නිසා පාද වල හිරිවැටීම හේතුවෙන් පාද වල ඇති වන තුවාල පිළිබඳ දැනීම අඩු වීම.
2. පාද වලට දැනීම අඩුවීම නිසා තමන් නොදැනුවත්වම ඇතිවිය හැකි හානිදායක තත්ව මොනවාද?
• ගල් තැලුම්
• සපත්තු වලට කැපීම / සීරීම
• දියපට්ටා
• දියමැටියන් කෑම
• පිළිස්සීම, පාද අනවශ්‍ය ස්ථාන වල වැදී තුවාල වීම.
• නියපොතු කපන විට සමේ ඇතිවන කැපීම්, සීරීම්.
3. දියවැඩියා රෝගියකුගේ පාදයේ තුවාලයක් හටගත් විට කුමක් සිදුවේද?
• තුවාලය සිදු වූ ප්‍රදේශයට රුධිර සැපයුම සම්පූර්ණයෙන්ම නතර වීම නිසා තුවාල ප්‍රදේශයේ ඇති පටක මිය යාමට පටන් ගනී.
• එම මිය ගිය පටක නැවත ප්‍රකෘති තත්වයට පත් කළ නොහැකියි. එබැවින් සුවවීම ප්‍රමාද වෙයි.
• අවසානයේ දී එම මිය ගිය කොටස් කපා ඉවත්කිරීමට සිදුවිය හැකිය.
4. දියවැඩියා රෝගීන්ගේ පාද රැක බලා ගත යුත්තේ කෙසේද?
• දිනපතා ඔබේ දෙපා හොඳින් පරීක්ෂා කරන්න. ඇඟිලි කරු, යටි පතුල, නොපෙනේ නම් කණ්ණාඩියක් ඉදිරියෙන් තබා හෝ වෙනත් කෙනෙකු ලවා පරීක්ෂා කරවා ගන්න.
• සමේ වර්ණයේ වෙනසක්, ඉදිමුමක්, ගල් තැලුමක්, කටු පිලිකයක්, බිබිලක්, පැල්ලමක්, තුවාලයක් හෝ ඇතිවීමේ සළකුණක් (රතුවීමක්) හෝ දුටුවහොත් වහාම වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස් ලබාගන්න.
• කුඩා තුවාලයක් හෝ තිබේ නම් හොඳින් සෝදා පිරිසිදු කර වෛද්‍යවරයකුට පෙන්වන තෙක් පිරිසිදු ගෝස් කැබැල්ලකින් හෝ රෙදි කැබැල්ලකින් වසා තබන්න. කිසි විටෙක රෙදි පටි එතීම හෝ බැන්ඩේජ් කිරීම හෝ තද වන ලෙස ප්ලාස්ටර් යෙදීම නොකරන්න.
• දිනපතා ඔබේ දෙපා පිරිසිදු, මඳ උණුසුම් වතුරෙන් සෝදා ගන්න. ඉන්පසු වියැලෙන්නට හරින්න. ඇඟිලිකරු අතර වතුර රැඳී තිබෙන්නට ඉඩ නොහරින්න.
• ඔබ පාද වියැළීම වැළැක්වීම සඳහා තෙතමනය රඳන ආලේපන වර්ග ගල්වයි නම්, කිසිවිටෙක ඇඟිලිකරු අතර නොගල්වන්න. මතුපිට පමණක් ආලේපනය කරන්න.
• නියපොතු දිගට වැවීම නොකරන්න. නියපොතු හරස් අතට කෙලින් ආරක්ෂිතව කපා ගන්න. දෙකෙළවර සම ඇතුළට එබෙන සේ රවුම් නොකරන්න.
• සපත්තු හෝ සෙරෙප්පු නොමැතිව එළිමහනේ ඇවිදීමෙන් වළකින්න.
• ඔබ දිනපතා මේස් පළඳියි නම්, පිරිසිදු කපු මේස් පැළඳීමට පුරුදු වන්න. ඉලාස්ටික් සහිත මේස් නොපළඳින්න.
• ඔබ දිනපතා සපත්තු මේස් පළඳියි නම්, පිරිසිදු කපු මේස් පැළඳීමට පුරුදු වන්න. ඉලාස්ටික් සහිත මේස් නොපළඳින්න.
• ඔබ දිනපතා සපත්තු මේස් පළඳියි නම්, පැය දෙකකට වරක් වත් සපත්තු මේස් ගලවා පාද ඉහිල්ව තබා ගැනීමට පුරුදු වන්න.
• අධික උණුසුම් හා අධික ශීතල මතුපිට වල පා ආවරණ නොමැතිව ඇවිදීමෙන් වළකින්න.
• සෑම විටම ඔබේ දෙපා මුහුණ වාගේ රැකගන්න.
💫 සැ.යු. :- ඔබ දුම් පානය කරයි නම්, දුම් පානය කිරීමෙන් වැළකීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ.
ඔබගේ දෙපා වල සුළු තුවාල නොසලකා හැරීමෙන් ඔබගේ පාද කපා ඉවත් කිරීමට සිදුවන තත්වයට පත්විය හැකි බව මතකයේ තබා ගන්න.
💥 දියවැඩියාව හා ඉන්සියුලින්
1. ඉන්සියුලින් ප්‍රතිකාරය දීර්ඝ කාලයක් අවශ්‍ය වන්නේ කාටද?
• දියවැඩියාව වර්ග 1 රෝගීන්ට ඉන්සියුලින් අවශ්‍ය වේ. මෙම රෝගීන්ගේ ශරීරයේ ඉන්සියුලින් අඩුවක් ඇත.
• දියවැඩියාවට පෙති ඖෂධ ලබාගන්නා රෝගීන් ගේ දියවැඩියාව හොඳින් පාලනය නොවන විට.
2. ඉන්සියුලින් වර්ග මොනවාද?
ක්‍රියාකාරී කාල පරාසය අනුව වර්ග 3කි.
• ඉක්මන් ක්‍රියාකාරී ඉන්සියුලින්
මෙම ඉන්සියුලින් වල ක්‍රියාකාරිත්වය පැය 1/2 දී පමණ ඇති වේ. එහි ක්‍රියාකාරිත්වය පැය 4 දී අවසන් වෙයි.
• දිගුකාලීනව ක්‍රියා කරන ඉන්සියුලින් වර්ග
ක්‍රියාකාරිත්වය පැය 2 කදී සෙමින් සිදුවී එහි බලපෑම පැය 18 – 24 කාලයක් පවතී.
• මධ්‍ය ක්‍රියාකාරිත්වයක් ඇති ඉන්සියුලින් වර්ග
මෙය ඉහත දැක්වූ ඉක්මන් සහ දිගුකාලීන වර්ග දෙකේ එකතුවකි.
3. ඉන්සියුලින් ගබඩා කරන්නේ කෙසේද?
• ඉන්සියුලින් ගබඩා කිරීමට සුදුසුම වන්නේ ශීතකරණයයි. මෙහිදී ශීතකරණයේ පහත රාක්ක වල වසන ලද ප්ලාස්ටික් බඳුනක ගබඩා කළ යුතුය. (අධි ශීතකරණ කොටසේ (freezer) නොතබන්න.)
• ඔබට ශීතකරණයක් නොමැති නම් ගුරුලේත්තුවක් වැනි මැටි කළයක් තුළට 1/3ක් පමණ වන ලෙස ජලය දමා නූලක ආධාරයෙන් ජල මට්ටමට ඉහළින් ඉන්සියුලින් වයලය (බෝතලය) එල්ලා තබන්න.
4. ඉන්සියුලින් එන්නත් කළ යුත්තේ කවුරුන්ද?
• තමා විසින්ම එන්නත් ලබා ගැනීම සුදුසුම ක්‍රමයයි.
• එසේ නොමැති නම් ඒ පිළිබඳ පුහුණු වීමක් ලද තම නිවසේ අයෙකුට කළ හැක.
• ඔබ ඉන්සියුලින් ලබාගත යුතු ආකාරය රෝහල් වාට්ටුවේ දී ඔබට කියා දෙනු ඇත.
5. ඔබ ඉන්සියුලින් එන්නත් කළ යුත්තේ ශරීරයේ කුමන ප්‍රාදේශ වලටද?
• පෙකණිය වටා ඇති අත්ලක් පමණ ප්‍රාදේශයට
• කකුලේ ඉහළ කොටසට
• අතේ ඉහළ බාහුවට
එන්නත් ලබා ගන්නා ශරීර ප්‍රදේශය වරින් වර වෙනස් කළ යුතුය.