News

බෞද්ධ සිතුවම් අදින මුස්ලිම් යුවතිය

ෆාතිමා නුස්රා: බෞද්ධ සිතුවම් අඳින මුස්ලිම් යුවතිය

ෆාතිමා නුස්රා

බෞද්ධ සිතුවම් අඳින, කැටයම් කපන මුස්ලිම් යුවතියක් පිළිබඳව වරකපොල, අල්ගම ප්‍රදේශයෙන් අපට වාර්තා විය.

ඒ අනුව, ඇය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලූ බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර ඇය හමුවීමට අල්ගම – මදුරුපිටිය ගම්මානයේ පිහිටි ඇගේ නිවස බලා ගියේය.

ඇය නමින් ෆාතිමා නුස්රා වේ.

ෆාතිමා නුස්රා

“බෙල්ලන්විල විහාරයේ බිතු සිතුවම්, ගෝතමී විහාරයේ ජෝර්ජ් කීට් මහත්තයාගේ චිත්‍ර, කැලණියේ විහාරයේ වගේ ගොඩක් බෞද්ධ විහාරවල චිත්‍රවල අනුරූප මම ඇඳල තියෙනවා. ඒ වගේම මොඩර්න් ආර්ට්ස් කරලත් තියෙනවා,” ෆාතිමා නුස්රා පැවසීය.

වරකපොල, අල්ගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ෆාතිමා, කුඩා අවධියේ සිට ම සිතුවම්කරණයට දස්කම් දක්වා ඇති ශිෂ්‍යාවකි.

“මට පොඩි කාලේ ඉඳල ම චිත්‍ර අදින්න පුළුවන්කමක් වගේ ම ආසාවක් තිබුණා. ඒක තේරුම් ගත්ත අම්මයි තාත්තයි මාව චිත්‍ර ඇඳිම පැත්තට යොමු කළා.”

දෙමාපියන්ගෙන් ලැබුණු මග පෙන්වීම අනුව ඇය පස්යාල, බටලීය ප්‍රදේශයේ පිහිටි කෞතුක වස්තු අනුරූ පාසලට ඇතුළත් වී වසර දෙකක පාඨ මාලාවක් හදාරා තිබිණි.

බෞද්ධ සිතුවම් අඳින මුස්ලිම් යුවතිය

එහිදී ඇය, දයානන්ද පීරිස් නමැති ගුරුවරයා යටතේ සිතුවම්කරණය, ගල් කැටයම්, ලී කැටයම්, මූර්ති සහ සෙරමික් යන පස් වැදෑරුම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් ලැබුවාය.

“බෞද්ධ කලාවන් ගැන ඉගෙන ගන්නකොට කවුරුත් විරුද්ධ වුණේ නැද්ද?” යන්න බීබීසී සිංහල සේවය ඇයට මතු කළ ප්‍රශ්නයකි.

“කවුරුත් ඒකට විරුද්ධ වුණේ නෑ. ඉගෙනීම පැත්තෙන් ගත්තත් සිංහල පාසල්වලට යනව මුස්ලිම් කට්ටිය. ඒ නිසා මට එහෙම කිසිම බලපෑමක් තිබුණේ නැහැ,” ෆාතිමා නුස්රාගේ පිළිතුර එය විය.

ඇය මේ වන විට ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වී සිටින දේශීය කලා ශිල්පිනියකි. ඇය ආගම් හෝ ජාති භේදයකින් තොරව තමන්ට ලැබෙන ඉල්ලීම් අනුව සිතුවම්කරණයේ නියැළෙයි.

ඇය පැවසුවේ, සිතුවමක් ඇඳ නිම කිරීම සඳහා සාමාන්‍යයෙන් මාසයක පමණ කාලයක් ගත වන බවය.

ෆාතිමා නුස්රා

“මම කැටයම් වැඩත් කරනවා. ඒවාත් කරන අතරේ චිත්‍ර අඳින්න ටිකක් කාලයක් ගත වෙනවා.”

සිතුවම් ඇඳීමට අමතරව ඇය කැටයම් කර්මාන්තයේ ද නිරත වන්නීය.

ඇය සිය නිර්මාණ වෙනුවෙන් සම්මාන රැසක් ද හිමි කරගෙන තිබේ.

තමන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීම සඳහා යම් වෙළෙඳපොළක් නිර්මාණය කර දෙන්නේ නම් ආර්ථික වශයෙන් ශක්තිමත්ව මෙය ඉදිරියට ගෙන යා හැකි බව ඇයගේ අදහසය.

“කලාවට ජාති හෝ ආගම් භේදයක් නැති,” බව ෆාතිමා නුස්රා පවසයි.

“කලාවට ජාති භේද හෝ ආගම් භේද කියල දෙයක් නෑ. අපි විශ්වවිද්‍යාලයට ගියත් හැමෝම එකට ඉගෙන ගන්නවා. මම ඉගෙන ගත්ත තැනත් ඒ වගේ තැනක්. ජාති භේද, ආගම් භේද මුකුත් නෑ. කලාවට ජාති භේද සම්බන්ධ නැහැනේ,” ඇය අවසන් වශයෙන් කීවාය.

කුමුදු ජයවර්ධන සහ ෂර්ලි උපුල් කුමාර BBC සිංහල සේවය

උපුටා ගැනීමකි

අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top