දැනුම

ලොව ලොකු ම වැසි වනාන්ත­රය වූ ඇම­සන් ගැන ඔබ නොදත් තතු

මහා සාගරය මෙන් පරක් තෙරක් නොපෙනෙන ඝණ වනාන්තරය සිසාරා විහිදී එන්නේ, ජගුවරුන් දෙදෙනකුගේ ද්වන්ධ සටනක දෝංකාරයයි.

Image result for amazon forest

රූස්ස ගහ කොළ පීරාගෙන හමන සුළඟේ ගැබ්වී ඇත්තේ, විවිධාකාරවූ වන විහඟුන් නංවන කූජනයේ ළයාන්විත මෙන් ම, ඇතැම් විට කර්ණ කටුක ගීතාවලියයි.අනේක විධ වනමල් පිසගෙන-සිපගෙන එන්නේ ද, ගත හරිගඩු නංවන සිසිලසක් රැගත් මන්දමාරුතයකි.

වරෙක දැවැන්තයකු ගසක අත්තක් බිඳින හඬ ද, වන නිල්ල තුළින් විහිදී එයි. මේ ලොව ලොකු ම වන රජදහන වන ඇමේසන් වනාන්තරයේ නිමේෂයකි.

ලොව වැඩි ම කතාබහකට ලක්වී ඇති , මේ වනවිට ද මුළු වනාන්තරයෙන් සියයට තිහකට වඩා ශිෂ්ට සම්මත ලෝකයා විසින් හොඳින් ගවේශණය නොකළ බව පැවසෙන ඇමේසන් වනාන්තරය, ලෝකයේ ලොකු ම වැහි වනාන්තරය වන අතර, එය ලෝකයේ වැහි වනාන්තර සියල්ල එක් කළහොත්, එයින් හරි අඩක් තරම් විශාල ය.මෙය අයත් වන්නේ බ්‍රසීලයට ය.

එයට යටවී ඇති මුළු බිම් ප්‍රමාණය හතරැස් සැතැපුම් විසි එක් ලක්ෂයකි. දැනට ගණන් බලා ඇති අන්දමට, මේ වනාන්තරය නිජබිම කරගත් වර්ග 300 ක් පමණ වන ජන සංඛ්‍යාව , 20 ලක්ෂයකි.ඒ අතරින් වර්ග 50 ක් පමණ මෙතෙක් බාහිර ලෝකයා සමඟ කිසිඳු ගනුදෙනුවක් කර නැත.

Image result for amazon forest

ඇමේසන් වනාන්තරය බ්‍රසීලය වසා පැතිර පවත්නා අතර, පීරු,වෙනිසියුලා, ගයානා,ප්‍රංශ ගීනියා යන රටවලට ද පැතිර පවතී.මේ සුවිසල් වනාන්නරය ආශ්‍රිත ජනයා වෙසෙන ප්‍රදේශවල පමණක්, මිලියන 7 ක ජනතාවක් වෙසෙති. වනාන්තරයේ බිම් ප්‍රමාණය අමෙරිකා එක්සත් ජනපදයට සමාන බව කියැවේ.

මේ වනාන්තරයට “ඇමේසන්“ යන නාමය ලබා දී ඇත්තේ, යුරෝපීය ජාතිකයන් ය. ඒ , ග්‍රීක මිථ්‍යා සාහිත්‍ය කතාවල එන රණකාමී ඇම්සන් කාන්තාවන් පිළිබඳ පුවත් ආශ්‍රිතව ය.එම යුරෝපීය ජාතිකයන් වරින් වර ඇමේසන් වනචාරී ගෝත්‍රිකයන් සමඟ සටන් වදින විට, ඒ අතර සටන්කාමී ගෝත්‍රික කාන්තාවන් ද සිට ඇත.

මේ වනාන්තරයේ, ලෝකයේ වෙසෙන සත්ව වර්ගවලින් දහයෙන් එකක්ම වෙසෙන බව සොයාගෙන ඇත. මෙතෙක් දියුණු ලෝකයාට ඝවේෂණය කළ හැකිව ඇත්තේ, වනාන්තරයෙන් සියයට තිහක පමණ බිම් ප්‍රමාණයක් පමණි.

මෙහි, මෙතෙක් මිනිස් ඇසට ලක් නොවූ අති විශාල අද්භූත සත්ව කොට්ඨාස රැසක් වෙසෙන බව විශ්වාස කෙරේ. ඇතැම් සතුන් ඩයිනසෝර යුගයේ සතුන්ට සමාන වීමට ඉඩ තිබෙන බවට ද මත පවතී.

Related image

මේ වනාන්තරය ලොවට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ සපයයි. අහිතකර කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් බොහෝ ප්‍රමාණයක් අවශෝෂණය කර ගන්නා බව ද සොයාගෙන ඇත.

ඇමේසන් වනාන්තරයේ වයස දළ වශයෙන් වසර මිලියන 55 කි. වනය තුළ එහාට මෙහාට ගලන ගංගා අතර ,‘ඇමේසන් ගංගාව‘ ප්‍රධාන තැන ගනී. එහි මිනී මස් බුදින ‘පිරන්හා‘ නමැති මත්ස්‍යයා ද වෙසෙයි. ඇමේසන් ගඟේ ජලය අත්ලාන්ටික් සාගරයට ගලා බැසීමේදී, කිලෝ මීටර 220 ක් පමණ මුහුද තුළට කඩා වදින නිසා, ධිවරයන්ට ඈත මුහුදේදී වුව ද පානීය ජලය පහසුවෙන් ම ලබාගත හැකි ය.

ජෛව විවිධත්වය අතින් මෙයට සමාන වෙනත් වනාන්තරයක් ලොව නොමැත.මෙහි, ලොව වෙසෙන මත්ස්‍ය සහ කුරුලු වර්ගවලින් පහෙන් එකක්ම වෙසෙති.

මෙහි වෙසෙන වන සතුන් අතර, කැස්බෑවකුගේ කටුව වුව ද කුඩු පට්ටම්කළ හැකි තරම් සවිමත් දත් ඇති, ඇමේසන ජගුවරා සහ තරමක කුරුල්ලකු වුව ද අල්ලා ගැනීමට තරම් සවිමත් ලොකු දැලක් වියන ‘ගෝලියාත්‘ මකුළුවා, මකුළු වඳුරා, රන්වන් රජ වඳුරා, අඩි තිහ හතළිහක් පමණ දිග ඇණකොණ්ඩා,විෂ ගෙම්බා සහ උග්‍ර විෂ සහිත දිවි මකුළුවා වෙසෙසින් ම කතාබහට ලක්වේ.මෙහි මිලියන 2.5 ක් පමණ කෘමි සතුන් වෙසෙති.

වනාන්තරයට ඉහළින් ගුවන් යානයක ගියත්, රූස්ස ගස්වල උඩු වියන් ස්ථරය නිසා යන්තමින් හෝ බිම නොපෙනේ. අඩි සිය ගණන් උස යෝධ ගස්වල කොළ තට්ටුව ඇත්තේ මුදුණේ පමණි.අන්ධකාරය තුළ නිමග්නව තිබෙන වන පියසේ පත්ලේ ගස්වල විශාල පත්‍ර හටගෙන ඇත්තේ, යන්තමින් හෝ පොළොවට පතිත වන හිරු රැස් බිඳක් උකහා ගැනීමට ය.

තුරු හිස් මතින් නිරතුරුවම වනානතරය තුළට පතිත වන්නේ, හිරිපොද වැස්සකි.විසකුරු සර්පයන්, බිහිසුණු වන මෘගයන්, ලෙඩ ගෙනෙන මැසි මදුරුවන් මෙන් ම, සුවිසල් මඩ වගුරු බිම් යනාදිය නිසා, ඇමේසන් වනාන්තරය ගවේෂණය කිරීම බෙහෙවින් ම අසීරු කර්තව්‍යයකි.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top