දැනුම

මොකක්ද මේ “සිරෝසිස්” කියන්නෙ

අක්මාව මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියක් වන අතර විශාලතම ග‍්‍රන්ථියද වේ. බරින් කිලෝ ග‍්‍රෑම් 1.5 ක් පමණ වන අක්මාව පිහිටා ඇත්තේ උදර කුහරයේ දකුණු පැත්තට වනසේ මහා ප‍්‍රාචීරයට යටිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැක්කේ මෘදු රෝස හෝ දුඹුරු පැහැයට හුරු ති‍්‍රකෝණාකාර අවයවයක් වශයෙනි.

අක්මාව සලකනුයේ ශරීරයේ ඇති රසායනාගාරය ලෙසටයි.අක්මාවේ සිදුවන ප‍්‍රධාන කාර්ය:-

අක්මාව තුළ ග්ලයිකොජන් නමැති රසායන ද්‍රව්‍ය ගබඩා කිරීම සිදුවන අතර එම රසායන ද්‍රව්‍යය වරින් වර ග්ලූකෝස් බවට පත් කරමින් රුධිරයට මුදා හැරේ.

x රුධිර කැටි ගැසීම වළක්වන ප්‍රෝටීන නිෂ්පාදනය සිදු වනුයේ අක්මාවෙනි.
x ශරීරයට ඇතුලූ වන සමහර ඖෂධ වර්ගවල සැර ගතිය අඩු කිරීමද අක්මාවෙන් සිදුවේ.
x ආහාර ජීර්ණයට අවශ්‍ය වන පිත නිපදවනුයේ ද අක්මාවෙනි.
x ශරීරයට අවශ්‍ය වන ඇතැම් හෝමෝන වර්ග නිෂ්පාදනය කෙරේ.
x මත්පැන් වල ඇති ශරීරයට අහිතකර බලපෑම් අඩු කිරීමටද අක්මාව උපකාරී වේ.
මෙසේ ශරීරයට අවශ්‍ය ඉතාම වැදගත් සේවා රැසක් සිදුකරන අක්මාව ආශි‍්‍රතව බොහෝ රෝග තත්ත්ව දැක ගත හැකියි.

ඉන් එක් රෝග තත්ත්වයක් වනුයේ ප‍්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග තත්ත්වයයි. සාමාන්‍යයෙන් අක්මාවේ මුළු බරෙන් සියයට 5 ත් 10 ත් අතර ප‍්‍රමාණයක් මේද තැන්පත් වී තිබිම සාමාන්‍ය තත්ත්වයයි. මෙම ප‍්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීම නිසා රෝගී තත්ත්වයක් ඇති විය හැක. මෙම තත්ත්වය අක්මාවේ මේද තැනපත් වීම ලෙස හැඳින්වේ. මිනිසුන් තුන් දෙනෙක්ගෙන් එක් අයකුට මෙම රෝග තත්ත්වය ඇතැයි විශ්වාස කෙරේ. මෑත කාලයේදී මෙම රෝගය සුලභ වශයෙන් දැකිය හැක.

ප‍්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීමට ප‍්‍රධානතම හේතුව වනුයේ මත්පැන් භාවිතයයි. එහෙත් මත්පැන් භාවිතා නොකරන අය අතරත් අක්මාවේ මේද තැන්පත් වීම සුලභ රෝග තත්ත්වයක් බවට පත්වෙමින් පවතී. මෙම රෝග තත්ත්වය නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් ලෙස හැඳින්වේ.

“නන් ඇල්කොහොලික් ෆැට් ඩිසීස්” හෙවත් මත්පැන් පානය නොකරන අයගේ අක්මාවේ ප‍්‍රමාණය ඉක්මවා මේදය තැන්පත් වීමට හේතු?
Non – Alcoholic Steatohepatitis.

x ශරීරයේ අධික ස්ථුලතාව
x දියවැඩියාව රෝගයෙන් පෙළීම (ප‍්‍රධාන වශයෙන් දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව)
x ඇතැම් රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ග
x මන්දපෝෂණයෙන් පෙළීම
x කෙටි කාලයක් තුළ ශරීරයේ කෙට්ටුවීම. විශේෂයෙන් අධික ස්ථුලතාව ඇති අයගේ බර අඩුකිරීමට කරන ඇතැම් සැත්කම් වලින් පසුව.

x රුධිරයේ ඇති කොලෙස්ටෙරෝල් ප‍්‍රමාණය වැඩිවීම.
x වයස්ගතවීමත් සමඟම මේද තැන්පත් වීම වැඩිවේ. සාපේක්‍ෂව පිරිමින් අතර මෙම රෝගය සුලභව දැකිය හැක.
x මෑතකදී අධි රුධිර පීඩනය තත්ත්වයත් මෙම රෝගය සෑදීමට හේතුවන බව සොයාගෙන ඇත.

තවත් කෙටියෙන් :-
අධික ලෙස තෙල් ආහාර දිනපතා ගන්නා පුද්ගලයන්ට සිරෝසිස්‌ මතු වීමේ අවදානමක්‌ පවතී. තෙල් සහිත ආහාර ගෙන නිසි ව්‍යායාම නොකර සිටීමෙන් අක්‌මාවේ මේදය අධික ලෙස තැන්පත් වේ. (Fatty Liver)

මෙලෙස අධික ලෙස අක්‌මාවේ තෙල් තැන්පත් වීමෙන් අක්‌මාව ආසාදනයට ලක්‌ වේ. (Non Alcoholic Steatohe Patitis)

මේ සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමෙන් සිරෝසිස්‌ රෝගය ඇති වේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 30% පමණ පිරිසක්‌ සිරෝසිස්‌ රෝගයට ගොදුරුව සිටිති. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ අධික ලෙස මේද සහිත ආහාර පාන ගැනීම සහ නිසි ව්‍යායාම නොකිරීමය.

අක්මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ:-

බොහෝ රෝගීන් තුළ කිසිම රෝග ලක්‍ෂණයක් දැකිය නොහැක. කලාතුරකින් දැකිය හැකි රෝග ලක්‍ෂණ වනුයේ.

x අධික තෙහෙට්ටු ගතිය අප‍්‍රාණික බව
x උදරයේ දකුණු පැත්තේ අක්මාව ආශි‍්‍රත ප‍්‍රදේශයේ වේදනාවක් ඇතිවීම.
x ආහාර රුචිය අඩුවීම
x නිතර ඔක්කාර ගතිය ඇතිවීම.
x බඩ පුරවා දැමීම.

මත්පැන් භාවිත නොකරන අයගේ අක්මාවේ මේද තැන්පත් වීම නිසා ප‍්‍රධාන වශයෙන් රෝග අවස්ථා තුනක් දැකිය හැක.

x බොහොමයක්ම රෝගීන් තුළ දැකිය හැක්කේ අක්මාවේ මේද ප‍්‍රතිශතය සියයට 10 කට වඩා තැන්පත් වීම පමණකි. මෙම රෝගීන් තුළ මේද තැන්පත් වීම නිසා අක්මාවේ ආසාදන තත්ත්වයක් ඇති නොවේ. මෙම අවස්ථාව හඳුන්වනුයේ හෙපටික් ස්ටියටෝසිස් නමිනි.

x ඇතැම් රෝගින්ගේ අක්මාවේ මේද තැන්පත් වීම නිසා අක්මාවේ සෛලවල ආසාදන තත්ත්වයක් ඇතිවේ. මෙම අවස්ථාව හඳුන්වනුයේ නන් ඇල්කොහලික් ස්ටියටොහෙපටයිටිස් නමිනි.

x දිගින් දිගටම ස්ටියටොහෙපටයිටිස් නමැති තත්ත්වය පැවතුන හොත් අක්මාවේ ප‍්‍රධානතම කාර්ය සිදුකරන අක්මා සෛල විනාශ වී සිරෝසිස්, නමැති රෝග තත්ත්වය ඇතිවිය හැක. මත්පැන් පානය නොකරන අය අතර සිරෝසිස් රෝගය සෑදීමට ප‍්‍රධාන හේතුවක් ලෙස අක්මාවේ මේද තැන්පත් වීම සැලකේ.

අක්මාවේ මේද තැන්පත් වීමෙන් වැඩිපුරම සිරෝසිස් රෝගය දක්වා වර්ධනය වීමක් සිදුවන්නේ කුමන රෝගීන් තුළද?

x දියවැඩියා රෝගීන්
x අධි ස්ථුලතාව ඇති අය
x රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි අය
x අවුරුදු 45 ට වැඩි රෝගින්.

මත්පැන් භාවිතය නොමැතිව අක්මාවේ මේද තැන්පත් වූ රෝගීන්ගෙන් කොතරම් පිරිසක් සිරෝසිස් රෝග තත්ත්වය දක්වා වර්ධනය වේද?

මෙම අගය එක් එක් රටවලට වෙනස්ව පැවතුනද පොදුවේ ගත් කළ සියයට 10 ත් 20 ත් අතර ප‍්‍රමාණයක රෝගීන්ට අවසානයේ සිරෝසිස් නමැති රෝගය වැළඳෙන බව විශ්වාස කෙරේ.

අක්මාවේ මේද තැන්පත් වී ඇතැයි කියා දැනගත හැකි පරීක්‍ෂණ වර්ග මොනවාද?

x සුලභවම කරන පරීක්‍ෂණ වනුයේ SGPT සහ SGOT නමැති රුධිර පර්යේෂණ දෙකයි. අක්මාව ආශි‍්‍රතව වෙනත් රෝග තත්ත්වය නැතිව SGPT සහ SGOT මට්ටම ඉහළ අගයක් තිබේ නම් එයට ප‍්‍රධාන හේතුව අක්මාවේ මේද තැන්පත් වීම ලෙස සැලකේ.

x අල්ට‍්‍රා සවුන්ඩ් ස්කෑන් නමැති පරීක්‍ෂණය මගින් අක්මාවේ මේද තැන්පත් වීම අධික බව නිවැරදිව තහවුරු කරගත හැක. මෙමගින් කෙතෙක් දුරට මේද තැන්පත් වීමක් සිදුවී ඇත්දැයි සොයාගත හැක.

x සී.ටී. ස්කෑන් සහ එම්.ආර්.අයි. යන පරීක්‍ෂණය මගින්ද වඩා පැහැදිලි විස්තරයක් අක්මාවේ මේද තැන්පතුව පිළිබඳව ලබාගත හැක.

x ලිවර් බයොප්සි නමැති පරීක්‍ෂණය මගින් කෙතරම් දුරකට අක්මාවේ සෛල කි‍්‍රයාකාරිත්වය වෙනස් වී ඇත් දැයි විස්තර ලබා ගත හැකිය. මෙහිදී සිදු කරනුයේ හිරි වට්ටා අක්මාවෙන් ඉතා සුළු කොටසක් ලබාගෙන අන්වීක්‍ෂයෙන් පරීක්‍ෂා කර බැලීමයි. මේද තැන්පතුව නිසා රෝගියාගේ අක්මාව කුමන මට්ටමක තිබේ දැයි දැන ගැනීමට නම් මෙම පරීක්‍ෂණය සිදු කළ යුතුවේ.

කුමන හේතුවක් නිසා හෝ අක්මාවේ මේද තැන්පත් වීම වැඩිවී ඇති රෝගීන් පිළිපැදිය යුතු කරුණු:-

x මත්පැන් පානය කරන අයෙක් නම් මත්පැන් භාවිතය නතර කළ යුතුය.
x රෝගියා අධික ස්ථුලතාවෙන් පෙළේ නම් ක‍්‍රමානුකූලව බර අඩු කරගත යුතුය.
x දියවැඩියා රෝගියකු නම් රුධිර සීනි ප‍්‍රමාණය පාලනය කළ යුතුය.
x අධි රුධිර පීඩනය ඇති නම් රුධිර පීඩනය නිසි ලෙස පාලනය කරගත යුතුවේ.
x රෝගියා මේද තැන්පත් වීම වැඩි කරන ඖෂධ භාවිත කරන්නේ නම් එම ඖෂධ භාවිතය නතර කළ යුතුය.

x එළවළු පලතුරු කෙඳි සහිත ආහාර සහ ධාන්‍ය වර්ග වැඩි ලෙස භාවිත කළ යුතුවේ.
x මස් භාවිතය අවම කළ යුතුවේ.
x සංතෘප්ත තෙල් භාවිතය අඩු කළ යුතුය.
x සම්පූර්ණ මේද සහිත කිරි භාවිතය අඩු කළ යුතුවේ.
x බිත්තර කහ මදය අඩුවෙන් භාවිත කළ යුතුය.

x හැකි තරම් දුරට සීනි භාවිතය අඩු කළ යුතුය.
x සුදු පාන් සහ සුදු සහල් භාවිතය අවම කළ යුතුය.
x වැඩිපුර කෝපි භාවිතය අක්මාවට ආරක්ෂාවක් වේ.
x අඩුම තරමින් සතියකට දින තුනක් වත් දිනකට පැය භාගයක් නිසි අලෙස ව්‍යායාම කළ යුතුවේ.

අක්මාවේ ඇති අනවශ්‍ය මේද ප‍්‍රමාණය අඩුකර ගැනීමට ව්‍යායාම අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකේ. සුළු කාලයක් ව්‍යායාම කිරිම ප‍්‍රමාණවත් නොවන අතර දීර්ඝ කාලීනව ව්‍යායාම අක්මාවට හිතකර බව පැහැදිලිවම පෙන්වා දී ඇත.

එමෙන්ම 90% ක්‌ම ජීවන රටාවේ පුරුදුවලින් දුරස්‌ වීමෙන් අක්‌මාව රැක ගැනීමේ ස්‌වයං ආරක්‌ෂාව ලැබීමේ හැකියාව ඇති බවයි.

සරලවම කිව්වොත් මහත වැඩි (ස්ථුලභාවය) බඩ ඉදිරියට නෙරා ඇති අයට මෙම රෝගය සෑදීමේ අවධානම වැඩිය

රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

මීට අමතරව මධ්‍යසාර භාවිතය නිසා ඇතිවන් රෝග ගනනාවක් ඇත.හෘද රෝග දියවැඩියාව ඇතුළු තව බොහෝ බෝ නොවන රෝග විශාල සංඛ්‍යාවකට හේතුව දුම් වැටි සහ සිගරට්ය.අප රටේ දිනකට සිගරට් නිසා ඇතිවන පිලිකා වලින් 20 කට වැඩ සංඛ්‍යාවක් ජීවිතයෙන් සමුගනියි.ඉදිරියේදි මත්පැන් දුම්වැටි නිසා සෑදෙන රෝග ගැන ලිපි ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා

මද්‍යසාරය නිසා ඇති වන අක්මා රෝග

වර්තමානයේ පිරිමි පක්ෂය මද්‍යසාරය කෙරෙහි දක්වන ඇල්ම පිළිබඳව ඇත්තේ කණගාටුදායක තත්ත්වයකි. මත්පැන් අලෙවිසැල්, ලිකර් බාර්, රෙස්ටුරන්ට් මේ කොතැනකදීත් පිරිමි පක්ෂය මත්පැනට ලොල් වී සිටිනු දකින විට ඔවුන් විසින්ම සිය අක්මාව විනාශ කර ගනිමින් මරණයට ගොදුරු වීමට දැඩි උත්සාහයක නියැලෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි.

“එයා මැරුණේ බීලා සිරෝසිස් හැදිලා. ලිවර් එක හොඳටම ඩැමේජ් වෙලා” යැයි පුද්ගලයා මිය ගිය පසු ඇතමුන් පවසනු ඔබ අසා ඇත.

සිරෝසිස් ඇති වීමට, ලෝකයේ අංක එක ලෙස සැලකෙන, මද්‍යසාරය (ඇල්කොහොල්) හෙවත් එහි රසායන විද්‍යාත්මක නාමය වන එතනෝල්වලින් අක්මාවට සිදු වන හානිය පිළිබඳවත්, එහි ආදීනව පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කිරීම වැදගත්ය.

අප ගන්නා ආහාර, ඖෂධ, මත්පැන් ආදී සෑම දෙයකම පරිවෘත්තිය ක්‍රියාවලිය අක්මාවේ සිදුවන බැවින් ඒවා අඩු වැඩි වීම නිසා අක්මාවට මුහුණ දීමට තිබෙන ගැටලු රාශියකි. දිනපතා මහා පරිමාණයෙන් මත්පැන් පානය කරන, මත්පැන්වලට ඇබ්බැහි වූවන්ට ඇති වන ප්‍රථම ගැටලුව වන්නේ අක්මාවේ තෙල් තැන්පත් වීම හෙවත් ඇල්කොහොලික් ෆැටී ලිවර් (Alcoholic fatty liver) තත්ත්වයයි.

මත්පැන්වල කාබෝහයිඩ්‍රේට්

මත්පැන්වල, මේදය කොහෙන්දැයි ඇතැම් විට ඔබට ගැටලුවක් විය හැක. මත්පැන්වල අඩංගු වන්නේ කාබෝහයිඩ්‍රේට්ය. නමුත් පරිවෘත්තිය ක්‍රියාවලියේදී මෙම කාබෝහයිඩ්‍රේට් මේදය බවට පත් වේ. එබැවින් මත්පැන් බහුල වශයෙන් ගන්නා අයට අක්මාවේ මේදය තැන්පත් වීම වැළැක්විය නොහැක. එවැනි උදවිය ඇතැම්විට මේදය සහිත ආහාර කිසිවක් නොගන්නා අය විය හැකිය. එහෙත් මද්‍යසාරය පානය කිරීම නිසා අනිවාර්යයෙන්ම අක්මාවේ තෙල් තැන්පත් වී fatty liver තත්ත්වයකට පත් වේ.

ඒතජධඩධතඪජ ටචබබර ඹ්ඪමඥප තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී සිරෝසීස් තත්ත්වයට පත් වීමට තිබෙන ඉඩකඩ බොහෝය. මද්‍යසාරය පානය කරන පුද්ගලයන්ට මුහුණ දීමට සිදුවන තවත් ගැටලුවක් වනුයේ ඔවුන් යම්කිසි රෝගයකට ඖෂධ ගැනීමේදී විශේෂයෙන්ම උණ හෝ ඇඟපත වේදනාවකට පැරසිටමෝල් වැනි ඖෂධ ගැනීමේදී අඩු මාත්‍රාවක් ගත් විට පවා විෂ වීමට හැකියාවක් ඇති වීමයි. එබැවින් මද්‍යසාර බහුලව ගන්නා අයට ඖෂධ විෂ වීමට තිබෙන ඉඩකඩ ද වැඩි වේ.

මද්‍යසාර ගන්නා සෑම සියලු දෙනාටම සිරෝසිස් ඇති වන්නේ නැහැ නේද? යනුවෙන් පැනයක් නැගුවහොත් එයට පිළිතුරක් ලෙස පැවසිය හැක්කේ ඕනෑම රෝගයක් මුළු මිනිස් සංහතියටම එකම ආකාරයක බරපතළකමින් නොවැළඳෙන බවය. තමන්ගේ සිරුරේ තිබෙන ප්‍රතිශක්තිය, ජානමය හේතුන් මෙන්ම සිරුරේ සිදු වන විවිධ වූ ක්‍රියාවලියන්ගේ විවිධත්වය, හේතුකොට ඔවුන්ට ඕනෑම රෝගයක් අඩු වැඩි වශයෙන් වැළඳීමේ හැකියාව ඇත.

මත්පැන් භාවිත කරන ඇතැමුන්ට සිරෝසියස් රෝගය නොවැළඳී, මට පමණක් සිරෝසියස් වැළඳෙන්නේ ඇයි ද යන්න කිසිවෙකුට පැවසිය නොහැක. එබැවින් මේ සිද්ධාන්තය සිරෝසිස් රෝගයට පමණක් නෛාව අනිකුත් රෝගවලට ද පොදුය. මෙලොව වෙසෙන, මත්පැන් පානය කරන, සෑම සියලුම දෙනාටම සිරෝසිස් තත්ත්වයක් උදාවන්නේ නැති බවද සිත්හි ධාරණය කරගත යුතුය.

මද්‍යසාරය වැඩිපුර භාවිත කිරීම නිසා අක්මාවේ වෙනස්වීමට බලපාන මුල්ම අවධිය වන්නේ අක්මාවේ තෙල් තැන්පත් වීම (Alcoholic fatty liver) තත්ත්වයයි. දෙවනුව එය ඇල්කොහොලික් හෙපටයිටිස් (Alcoholic Hepatitis) තත්ත්වය අක්මා ප්‍රදාහය දක්වා වර්ධනය වේ. තෙවනුව මේ තත්ත්වය බැරෑරුම් අතට හැරෙමින් සිරෝසිස් දක්වා වර්ධනය වේ. අවසාන අවධිය වන්නේ පිළිකා තත්ත්වයක් ඇති වීමයි. නමුත් අවාසනාවකට ඇල්කොහොලික් හෙපටයිටීස් සහ (Alcoholic fatty liver) තත්ත්වවලදී රෝගියාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව සාමාන්‍ය දිවියක් ගත කළ හැක. රෝගය උත්සන්න වන තෙක් රෝගියාට ඒ බව නොදැනීම, මෙම රෝගයේ තිබෙන භයානක තත්ත්වයකි. එය හඳුන්වන්නේ ඒසිම්ටොමැටික් (ඒඵරථනබධථචබඪජ) තත්ත්වය යනුවෙනි.

(Alcoholic Hepatitis) ඇල්කොහොලික් හෙපටයිටිස් තත්ත්ව වලදී රෝගය දරුණු අතට හැරීගෙන එන විට අක්මා ප්‍රදාහයේ පොදු ලක්ෂණ වන ඇස් කහ පැහැ ගැන්වීම පෙන්නුම් කෙරේ. තත්ත්වය උග්‍ර වීමේදී හෙපටයිටීස් රෝගවල සියලු ලක්ෂණ පෙන්නුම් කෙරන අතර උදරයේ දියර එක් වී උදරය ඉදිමීමක් ඇති වීමට ද පුළුවන. බොහෝවිට මේ අවස්ථාවේ රෝගියාට උණ ද, වමනය ද ඇති විය හැක. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අක්මාවේ මේදය තැන්පත් වී, අක්මා ප්‍රදාහය නමැති තත්ත්වයකට පත් වී ඇති බව හඳුනා ගැනේ.

වැඩිම සිරෝසිස් වාර්තාව මධ්‍යසාරයෙන්

ලෝකයේ වැඩිම සිරෝසිස් රෝගීන් වාර්තා වන්නේ මද්‍යසාරයට ඇබ්බැහි වූවන්ගෙනි. මද්‍යසාර වැඩිපුර ගැනීම නිසා Alcoholic Hepatitisවලට අමතරව වර්තමානයේ ව්ධද Alcoholic Hepatitis නන් ඇල්කොහොලික් හෙපටයිටිස් (මද්‍යසාරයෙන් තොර හෙපටයිටිස් තත්ත්වය.) බහුල ලෙස වාර්තා වෙමින් පවතී.බොහෝ විට තෙල් ආහාර ගන්නා ස්ථුලභාවය වැඩි අයට මෙම රෝගය වැලදෙයි. එනම්, මද්‍යසාරය භාවිත නොකර fatty liver ඇති වී එය වර්ධනය වී Hepatitis තත්ත්වයට පත් වූවන්ය. මෙය හඳුන්වන්නේ Non Alcoholic Steato Hepatitis (NASH) යනුවෙනි. නන් ඇල්කොහොලික් ස්ටියිටෝ හෙපටයිටිස් (නැෂ්)

නමුත් මෙම රෝගය මත්පැන් පානය නොකරන අයට සාපේක්ෂව මත්පැන් පානය කරන අයට සෑදී ඇති ප්‍රතිශතය ඉතාමත් වැඩිය. මත්පැන් භාවිතා කරන අය බොහෝ දෙනෙකුට වැලදෙන රෝගී තත්වයකි.මත්පැන් පානය කරන බොහෝ දෙනා අතර මෙම රෝගී තත්වය සුලභව වර්තමානයේ දක්නට ලැබේ

මද්‍යසාරය නිසා ඇති වන මෙම වෙනස්වීම ෆුල් බ්ලඩ් කවුන්ට් Full Blood Count (FBC) පරික්ෂණයෙන් පවා සොයාගත හැක. මෙම පරීක්ෂණයෙන් ලබාදෙන දත්තතයන් අනුව මද්‍යසාරය පානය කරන්නන්ගේ MCV ප්‍රමාණය වැඩි වේ. එනම්, රතු සෛලවල ප්‍රමාණය විශාල වීමක් පෙන්නුම් කරයි.

මෙවැනි රෝගීන් තවදුරටත් ලීවර් ෆන්ක්ෂන් ටෙස්ට් පරීක්ෂණයට භාජනය කළ යුතුය එවිට SGOT/SGPT ප්‍රමාණය වැඩි වීමත් Gamma GT වැඩි වීමත් දක්නට ලැබේ. එසේම බිලිරුබීන් වැඩි වන අතර INR ද වැඩි වේ. සියලු දත්තයන් අනුව රෝගියාට වැළඳී ඇත්තේ මද්‍යසාරය නිසා ඇති වූ අක්මා හානිය බැව් නිගමනයකට එළඹිය හැක.

මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදි ක්‍රමවේද දෙකක් භාවිතා කළ යුතු වේ. මමෝ වෛද්‍ය ප්‍රතිකාර මඟින් මද්‍යසාරයට ඇබ්බැහිවීම තවදුරටත් වළක්වා ගැනීමට රෝගියාව යොමු කළ යුතුය. මද්‍යසාරයට ඇබ්බැහි වූ පුද්ගලයකු හිටි හැටියේම මද්‍යසාරය නැවැත් වූ විට ඔහුගේ සිරුරට කායික ගැටලු කිහිපයක් මතු වේ. ඇතැම්විට රෝගියා මද්‍යසාරයෙන් ඉවත් වන්නට තීරණය කළද ඒ මොහොතේම නවතා දැමීම සුළු පටු කාර්යයක් නොවේ. මේ අවස්ථාවේදී මනෝ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරය අත්‍යවශ්‍ය සාධකයකි. මනෝ වෛද්‍යවරුන් යටතේ රෝහල් ගත කොට කායික රෝග වෛද්‍යවරුන් යටතේ ද ප්‍රතිකාර ආරම්භ කළ යුතු වේ. රෝගියා සිරෝසිස් තත්ත්වයට පත් වී නොමැති නම් මද්‍යසාර නවත්වා වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුව කළ හැකිය.

නමුත් සිරෝසිස් තත්ත්වයට පත් වී ඇත්නම් මද්‍යසාර මුළුමනින්ම නවතා ප්‍රතිකාර නිරන්තරයෙන් සිදු කළ යුතුය. එහෙත් රෝගය නිට්ටාවට සුව නොවේ.

විටමින් ඌනතාව

මද්‍යසාරයට ඇබ්බැහි වූවන්ට ඇති වන ප්‍රධානතම ගැටලුව වන්නේ විටමින් ඌනතාවයක් ඇති වීමයි. එයට හේතුව වන්නේ ඔවුන් බොහෝදෙනාට ප්‍රමාණවත් ආහාර නොලැබීමයි. විශේෂයෙන් වතුකරයේ වෙසෙන මද්‍යසාරයට ඇබ්බැහි වූවන් මෙන්ම ධරිද්‍රතාවයෙන් යුක්තව ජීවත් වන මත්පැනට ඇබ්බැහි වූ ඇතැම් පිරිමින්ට ද මෙම විටමින් ඌනතාව ඇති වන්නේ නිසි පෝෂණයක් ඔවුන්ට නොලැබෙන නිසාය.

යම් පුද්ගලයෙක් මත්පැන් භාවිත කළ ද එය තමාගේ සිරුරට අහිතකර නොවන ආකාරයට භාවිත කළ හැකිය. එසේ ඔවුන්ට ගත හැකි මත්පැන් ප්‍රමාණය ඒකක ලෙස දක්වා ඇත.

අක්මාවට හානියක් නොවන ආකාරයේ මද්‍යසාර භාවිත කළ හැකි ප්‍රමාණය වන්නේ දිනකට පිරිමි පුද්ගලයෙකුට ඒකක 3 කට අඩුවෙන් ද ගැහැනු අයෙකුට ඒකක 2 කට අඩුවෙන් ද පමණි.

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top