පසුගිය වසර සියයක් වැනි කාලය තුළ විද්යාව ඉතා විශාල ප්රගතියක් අත්පත් කරගැනීමට සමත් වී තිබෙනවා. ඒ සමඟ අලුතින් ලෝකයට බිහි වූ නව තාක්ෂණික නිෂ්පාදන හා යෙදුම් ප්රමාණය ඉතා විශාලයි. එහෙත් මෙවැනි නිෂ්පාදන හා යෙදුම් බොහොමයක් යථාර්ථයක් බවට පත් වීමට බොහෝ කලකට පෙර විද්යා ප්රබන්ධකරුවන් ඒ ගැන පුරෝකථනය කර තිබෙනවා.
පරිකල්පනයේ ආලෝකයෙන්, එළැඹීමට නියමිත අනාගතයේ සැඟවී ඇති බොහෝ දේ අනාවරණය කිරීමට අතීතයේ විසූ විද්යා ප්රබන්ධකරුවන් විශාල දක්ෂතාවක් දක්වා ඇති බවට මේ අනාවැකි හා නිර්මාණ සංසන්දනය කළ විට තේරුම්ගත හැකියි. මෙහි දැක්වෙන්නේ අද දවසේ යථාර්ථයන් බවට පත් ව ඇති එවැනි පුරෝකථන කිහිපයක්.
ජංගම දුරකතන

ස්ටාර් ට්රෙක් විද්යා ප්රබන්ධ කතා මාලාව විද්යාඥයන්, නව නිර්මාණකරුවන් ඇතුළු ලෝකයේ බොහෝ දෙනකු උත්තේජනය කරන්නට සමත් වූ කතා මාලාවක්. නව තාක්ෂණික නිර්මාණ ගැන ඒ හරහා පළ කෙරුණු අනාවැකි බොහොමයක් පසුකාලීන ව සැබෑ වී තිබෙනවා. 1966 වසරේ මුල් වරට එහි කතාංගයක අතේ තබාගෙන දුරස්ථ ව සන්නිවේදනය කළ හැකි උපාංගයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ ලොව පළමු වරට ජංගම දුරකතනයක් කරළියට පැමිණීමට වසර 7කට පෙරයි.
1973 වසරේ මොටරොලා සමාගම හඳුන්වා දුන් මේ ප්රථම ජංගම දුරකතනය ඉතා විශාල බරැති එකක් වුණා. ස්ටාර් ට්රෙක් කතා මාලාවේ දැක්වෙනවාක් මෙන් දිගහැරිය හැකි කුඩා ප්රමාණයේ ජංගම දුරකතනයක් හඳුන්වා දීමට මොටරොලා සමාගමට හැකි වූයේ 1989 වසරේයි. නූතන තිර තාක්ෂණය පැමිණීමට පෙර එම මොඩලය ලෝකයේ විශාල ජනප්රියත්වයක් අත් කරගනු ලැබුවා.
ත්රිමාන මුද්රණ යන්ත්ර

තවත් ස්ටාර් ට්රෙක් අනාවැකියක් ලෙස ත්රිමාන මුද්රණ යන්ත්ර දැක්විය හැකියි. එහි දැක්වෙන මේ උපාංගයට ආහාර ඇතුළු එදිනෙදා අවශ්ය කරන ඕනෑ ම ද්රව්යයක් මුද්රණය කිරීමේ හැකියාව තිබෙනවා. අද ත්රිමාන මුද්රණ යන්ත්ර නිවසේ තබාගෙන භාවිත කළ හැකි මට්ටමට දියුණු වී තිබෙන අතර ප්ලාස්ටික්, ලෝහ, වීදුරු වැනි සීමාසහිත ද්රව්ය ප්රමාණයක් යොදාගනිමින් භාණ්ඩ නිපදවාගැනීමේ හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් තවමත් ඒවා ක්රියාත්මක වන්නේ ඉතා සාපේක්ෂ ව අඩු වේගයකින්.
එහෙත් ඉක්මනින් මේවායේ වේගය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. අනෙක් අතට සීමාසහිත ද්රව්ය ප්රමාණයක් වෙනුවට ඕනෑ ම ද්රව්යයකින් භාණ්ඩ නිපදවීමේ හැකියාව ද ඉදිරියේ දී අත්පත් කරගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු පළ වී තිබෙනවා. උදාහරණයක් ලෙස Mattershift නම් ඇමෙරිකානු සමාගම තමන් අණුක මට්ටමෙන් ද්රව්ය වෙන් කරගත හැකි හා එකට එක් කළ හැකි කාබන් නැනෝ නාළ පටලයක් නිපදවා ඇති බව ප්රකාශ කර ඇති අතර ඒ හරහා අනාගතයේ දී ඉන්ධන, ගොඩනැඟිලි ද්රව්ය, බෙහෙත් ආදිය මුද්රණය කළ හැකි වනු ඇතැයි බලාපොරොත්තු වනවා.
මීට අමතර ව Natural Machines නම් සමාගම ඉදිරියේ දී ආහාර නිෂ්පාදන මුද්රණය කළ හැකි යන්ත්ර වෙළෙඳපොළට නිකුත් කිරීම පිණිස කටයුතු කරගෙන යමින් පවතිනවා.
බල ඇඳුම්

1963 වසරේ දී මාර්වල් කොමික් සඟරාවලින් මුල්වරට කලඑළි බට යකඩ මිනිසා හෙවත් Iron Man ලොව පුරා අතිශය ජනප්රිය වීර චරිතයක් බවට පත් වී තිබෙනවා. එහි දැක්වෙන්නේ යාන්ත්රික ඇඳුමක් හරහා අසාමාන්ය ශක්තියක් ලබාගන්නා සාමාන්ය මිනිසකු ගැනයි. අහසේ පියැඹිය හැකි මට්ටමේ මෙවැනි ඇඳුමක් අද වන විට ලෝකයේ බිහි වී නැතත් එහි යම් යම් හැකියාවන් සහිත යාන්ත්රික ඇඳුම් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.
ඇමෙරිකානු හමුදා සඳහා භාවිත වන TALOS (Tactical Assault Light Operator Suit) වැඩසටහන මීට උදාහරණයක්. මේ සැහැල්ලු ඇඳුමේ සවි කර ඇති උපාංග හරහා ෙඩ්රාaන යානා, ගුවන් යානා ආදියෙන් හා මෙහෙයුම් මධ්යස්ථානවලින් ලැබෙන තොරතුරු සෘජු ව සෙබළාට ලැබෙන අතර ඔහුගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳව සොයාබැලෙන ජීව ආධාරක පද්ධතියක් ද තිබෙනවා.
එමෙන් ම එහි ඇති ත්රිමාන ශබ්ද නිර්ණායක මඟින් යම් වාහනයක් පැමිණෙන දිශාව හෝ වෙඩි තබන දිශාව වහාම හඳුනාගත හැකියි. එමෙන් ම විශාල බරවල් අපහසුවකින් තොර ව ඔසවාගෙන යා හැකි හා ඒකාකාරී වැඩක් දිගින් දිගට ම අපහසුවකින් තොර ව කළ හැකි අන්දමට සැකසූ බාහිර සැකිලි ඇඳුම් (exoskeleton suit) ද මේ වන විටත් හමුදා සහ කර්මාන්තශාලාවල භාවිතයට ගැනෙනවා. තවත් කෙටි කලක් ඇතුළත මෙය වඩ වඩා යකඩ මිනිසාට සමීප වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකියි.
විෂාද ඖෂධ

1931 දී පළ වූ ඇඩල්ස් හක්ස්ලිගේ Brave New World නවකතාවේ එන පරිදි එහි ජීවත් වන මිනිසුන් බොහොමයක් විෂාදය නම් මානසික රෝගය නැති කරගැනීම සඳහා Soma නම් මනෝභාවය වෙනස් කළ හැකි පෙත්තක් පාවිච්චි කරනවා. සැබෑ ලෝකයේ දී විෂාදය හා මොළයේ රසායනික අතර සම්බන්ධතාවක් ඇති බව පවා සොයාගනු ලැබුවේ 1951 දීයි. ඉන් පසු කෙමෙන් මේ අවබෝධය වැඩිදියුණු වීමත් සමඟ මිනිසුන්ට විෂාදයෙන් ගැලවී සිටීමට උපකාරී විය හැකි ඖෂධ නිපදවීම ද ඇරඹුණා. 1988 වසරේ දී මුලින් ම අනුමැතිය ලද Prozac නම් බෙහෙත් පෙත්ත මේ වන විට විශාදය මැඬපැවැත්වීමට ලොව පුරා බහුල ව භාවිත වනවා.
වීඩියෝ සංවාද

වීඩියෝ දුරකතන ඇමතුම් මේ වකවානුවේ ඉතා සාමාන්ය දෙයක්. ස්කයිප් හෝ ෆෙස්ටයිම් වැනි යෙදුම් හරහා ඕනෑ ම කෙනකුට පහසුවෙන් ලොව ඕනෑ ම තැනක කෙනකු සමඟ සජීවී ව කතාබහ කළ හැකියි. මෙය ප්රායෝගික යථාර්ථයක් වීමට බොහෝ කලකට පෙර සිට ම මේ හැකියාව විද්යා ප්රබන්ධ කතා හරහා කතාබහට ලක් වුණා. මේ පිළිබඳ ව මුල් ම සඳහන සොයාගත හැක්කේ 1927 ප්රදර්ශනය වූ Metropolis චිත්රපටයේයි. එහි බිත්තියකට සවි කළ වීඩියෝ දුරකතන උපාංගයක් භාවිත කරන ආකාරය දැකිය හැකියි.
ණයවර පත්

ක්රෙඩිට් කාඩ් ලෝකය පුරා බොහෝ දෙනා පහසුවෙන් මුදල් ගනුදෙනු කරගැනීමට යොදාගන්නවා. මේ සංකල්පයත් මුලින් ම ඉපදී ඇත්තේ විද්යා ප්රබන්ධකරුවකුගේ කතාවක් තුළයි. 1887 දී පළ වූ Edward Bellamy ගේ Looking Backward නම් නවකතාවෙහි අන්තර්ජාතික ව පවා මුදල් ගනුදෙනු කිරීමට හැකි කාඩ්පතක් ගැන කියෑවෙන අතර ඔහු එය හඳුන්වා දෙන්නේ ම ක්රෙඩිට් කාඩ්පත නමින් වීම විශේෂත්වයක්.
මෙහි කතාවට අනුව කතාවේ ප්රධාන චරිතය යම්කිසි හේතුවක් නිසා නින්දට වැටී අවදි වන්නේ ඉන් වසර 113කට පසුවයි. නෝට්ටු, කාසිවලින් ගනුදෙනු කළ මේ කාලයේ කාඩ්පතකින් ගෙවීම යනු සැබැවින් ම විද්යා ප්රබන්ධමය අදහසක් පමණක් වී තිබෙනවා. සැබෑ ලෝකයේ සත්ය වශයෙන් ම ක්රෙඩිට් කාඩ්පත් බිහි වන්නේ 1920 දීයි. එය ද අන්තර්ජාතික ව භාවිත කළ හැකි පරිදි වැඩිදියුණු වන්නේ 1950 පමණ වන විටයි. එය සමාජයේ සාමාන්ය භාවිතයක් බවට පත් වීමට තවත් වසර ගණනාවක් ගත වී තිබෙනවා.
ඉයර්ෆොaන්

බ්ලූටූත් පහසුකම් සහිත ඉයර්ෆොaන් අද අප බහුල ව භාවිත කරන තාක්ෂණික උපාංගයක්. කනෙහි රඳවාගත් කුඩා උපාංගයක් මඟින් රැහැන් රහිත ව වෙනත් උපාංගයකින් සම්ප්රේෂණය කරන ගීත හෝ ප්රවෘත්තිවලට සවන් දීමට මේ හරහා අපට හැකි වී තිබෙනවා. මීට අඩ සියවසකටත් කලින් 1953 දී රේ බ්රැඩ්බරි විසින් රචිත ‘ෆැරන්හයිට් 451’ නවකතාවේ අද අප භාවිත කරන මේ උපාංග වැනි ම ශ්රව්ය උපාංග ගැන විස්තර වනවා.
මේවා හඳුන්වා ඇත්තේ seashells නමින්. එමෙන් ම මෙහි රේ බ්රැඩ්බරි විසින් අද සාමාන්ය දේ බවට පත් ව ඇති තවත් දේ විස්තර කර තිබෙනවා. උදාහරණයක් ලෙස ඔහු මිතුරන් හා සබඳතා පැවැත්වීමට යොදාගන්නා ඩිජිටල් තිරයක් පිළිබඳ විස්තර කර ඇති අතර මෙය තරමක් දුරට දැන් අප මිතුරන් සමඟ පණිවිඩ හුවමාරු කරගන්නා ෆෙස්බුක් වැනි යෙදුම්වලට සමානතා දක්වනවා.
ස්වයංධාවන රථ

1964 වසරේ නිව්යෝර්ක්හි පැවැති Worldzs Fair ප්රදර්ශනයට සහභාගි වූ ප්රකට විද්යා ප්රබන්ධ රචක අයිසැක් ඇසිමෝව් ‘රොබෝ මොළ’ සහිත මෝටර් රථ ඉදිරියේ දී බිහි වනු ඇති බවට අනාවැකි පළ කළා. ඒ පිළිබඳ ව පසුව වැඩිදුර පැහැදිලි කරමින් ඔහු පවසා තිබුණේ රොබෝ මොළ සහිත මෝටර් රථවලට කිසියම් ගමනාන්තයක් දුන් පසු ඒවා රියෑදුරාගේ මන්දගාමී තීරණ ගැනීම් හා ක්රියාත්මක වීම් නිසා සිදු වන බාධාවලින් තොර ව ඒ වෙත ගමන් කරනු ඇති බවයි.
එමෙන් ම රොබෝ මොළ සහිත මෝටර් රථ හරහා සමාජයට එල්ල විය හැකි විවිධ බලපෑම් විග්රහ කරමින් විද්යා ප්රබන්ධ ගණනාවක් ද ඔහුගේ අතින් නිර්මාණය වුණා. ‘සැලී’ යනු ඔහුගේ කතාවල එන එවැනි සිතිය පැතිය හැකි වාහනයක්. අද, අඩ සියවසකට පසු කෘත්රිම බුද්ධිය සහිත මෝටර් රථ තවදුරටත් අපිට අරුමයක් නො වන තැනකට පැමිණ තිබෙනවා. Waymo හා ටෙස්ලා වැනි සමාගම් මඟින් මේ වන විටත් ස්වයංධාවන රථ අත්හදා බැලෙමින් පවතින අතර ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ 2030ට පෙර පූර්ණ වශයෙන් ස්වයංධාවනය සිදු කරන රථ මහාමාර්ගවලට එක් කිරීමටයි.
අනිත් අයටත් බලන්න SHARE කරන්න