ක්‍රිඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගැටුම් ‘උග්‍ර අතට’ “කණ්ඩායම කල්ලිවලට බෙදිලා”

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා පරිපාලකයන් අතර ගැටුම් උග්‍ර අතට පත්වී ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තා වේ.

එක්දින/විස්සයි විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග සහ තිසර පෙරේරා අතර මත ගැටුමට අමතරව ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව අතර ඇතිව තිබෙන මත ගැටුම ද මේ දිනවල පුවත්පත් සිරස්තල අතරට එක් වී තිබිණි.

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ “ශ්‍රී ලංකා ක්‍රිකට් නේවාසිකාගාරය මේවන විට කිසිදු එකමුතුකමක් නැති කල්ලි කිහිපයකට බෙදුණු අපායක් වැනි තැනක් බවට පත්ව ඇති” බවය.

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන අන්ත පරාජයන් හමුවේ එකිනෙකාට චෝදනා කර ගැනීම හේතුවෙන් තත්ත්වය තවත් දරුණු වන බව නම සඳහන් කිරීමට අකමැතිවූ ක්‍රීඩකයා පැවසීය.

ලසිත් මාලිංග සහ තිසර පෙරේරා

Image result for lasith malinga thisara perera

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අතර වෙන වෙනම හමුවක් බදාදා (ජනවාරි 30) සවස ක්‍රීඩා අමාත්‍යංශයේදී පවත්වා තිබිණි
ලසිත් මාලිංග සහ තිසර පෙරේරාගේ බිරින්දෑවරුන් අතර සමාජ මාධ්‍ය තුළ සිදුවූ බව පැවසෙන මත ගැටුම ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය අතරතුර දැඩි කතාබහට ලක්විය.

ඒ පිළිබඳ නැවත කතාබහට ලක්ව තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපියක් මාධ්‍ය වෙත නිකුත් වීමත් සමගය.

“එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති චෝදනා ගැන” තිසර පෙරේරා එම ලිපිය මගින් අප්‍රසාදය පළකර තිබේ.

විශේෂයෙන්ම කණ්ඩායමේ සමගියට එය දැඩි බාධාවක් එල්ල කර ඇති බව පවසන තිසර පෙරේරා එම තත්ත්වය නැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීම බලාපොරොත්තුවන බව කියා සිටී.

ලසිත් මාලිංගගේ නායකත්වය ද තිසර පෙරේරා විසින් විවේචනයට ලක් කරනු ලැබ ඇති අතර කණ්ඩයමේ සමගිය ඇතිකිරීම සඳහා නායකත්වය දීමට ලසිත් මාලිංග අපොහොසත්වූ බව ඔහු සඳහන් කරයි.

ලෝක කුසලානයට පෙර කණ්ඩායම එක්ව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනගන ලෙස තිසර පෙරේරා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබේ.

ලසිත් මාලිංග සහ තිසර පෙරේරා අතර මතුව ඇති මත ගැටුම ගැන ලසිත් මාලිංග තවමත් කිසිදු ප්‍රකාශයක් කර නැත.

චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව

Image result for HATHURUSINHA

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද කණ්ඩායම වෙනුවට තමන්ට අවශ්‍ය කණ්ඩායම යොදා ගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ පුහුණුකරු චන්දික හතුරුසිංහට චෝදනා එල්ලවී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී අසන්ත ද මෙල් මේ ගැන ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුට පැමිණිල්ලක් කර තිබෙන බව ද බීබීසි සිංහල සේවයට වාර්තාවේ වේ.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම තේරීමට සම්බන්ධ නොවුවත් චන්දික හතුරුසිංහ පුහුණුකරු ධුරයට පත්වීමත් සමග ඔහුට තරගාවලියක් අතරතුර තේරීම්වලට සම්බන්ධ වීමේ බලය ලබාදී තිබිණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගයේ සිට චන්දික හතුරුසිංහට එලෙස ලබාදී තිබූ බලය ඉවත්කර තිබේ.

අඟහරුවාදා (ජනවාරි 29) සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ තරගාවලියක් අතරතුර කණ්ඩායම තේරීමේ බලය කණ්ඩයාමේ කළමණාකරු, නායකයා සහ තේරීම් කමිටුව එක්ව සිදුකරනු ඇති බවය.

තීන්දු ගැනීම එම පිරිසේ වැඩි කැමත්තට සිදුවිය යුතු බව එම නිවේදනයේ සඳහන් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහගේ බලය අඩුකිරීමක් ලෙස මෙම තීරණය හැඳින්විය හැක.

තව ද මෑතකදී ශ්‍රී ලංකා පිළට එක්ව සිටින නවක පුහුණුකරුවෙක් සමග ද ශ්‍රී ලංකා පිළේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගටලුවක් ඇතිකරගෙන ඇති බව වාර්තා වේ.

එම පුහුණුකරුගේ හැසිරීමට විරෝධය පළකරමින් ක්‍රීඩකයන් පිරිසක් පැමිණිල්ලක් යොමුකර ඇති බව වාර්තා විය.

ඇමති හරීන් ඔස්ට්‍රේලියාවට
මේ අතර ගැටලුකාරී තත්ත්වය සමනයට පත්කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.

දෙවෙනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සමග සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර මතුව තිබෙන මත ගැටුම අවසන් කිරීමට තිසර පෙරේරා සහ ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයන් හමුවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අතර වෙන වෙනම හමුවක් බදාදා (ජනවාරි 30) සවස ක්‍රීඩා අමාත්‍යංශයේදී පවත්වා තිබිණි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තමන්ගේ මත ගැටුම් අවසන්කර එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු නොකළහොත් ලෝක කුසලානය සඳහා “ශ්‍රී ලංකා A” කණ්ඩායම යැවීමට තමන් පසුබට නොවන බවද අමාත්‍යවරයා එහිදී ඔවුන්ට පවසා ඇතැයි වාර්තා වේ.

මේවනවිට බංග්ලාදේශයේ විස්සයි විස්ස තරගවලට සහභාගි වී සිටින තිසර පෙරේරා ද දිවයිනට පැමිණි පසු තනිව හා අනිකුත් ක්‍රීඩකයන් සමග හමුවන බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

සමාජ ජාල “තහනමක්”

Twitter හි @RusselArnold69 කළ පළකිරීම: SL players should have been banned from social media long ago !!!!

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනමක් පැනවීම සිදු කළ යුතුව තිබු බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබිණි.

“මම මේ ගැන මීට කලිනුත් ප්‍රකාශ කළා. සමාජ මාධ්‍යවල හොඳ මෙන්ම නරකත් යනවා. මේක දරාගන්න පුළුවන් වෙන්න ඕනේ, දරා ගන්න බැරිනම් එකෙන් ඉවත්වෙන්න ඕනේ. මටනම් පේන්නේ මේක අපේ ක්‍රීඩකයන්ට බලපානවා කියලා. මෑතකදී තිසර පෙරේරාගේ සිද්ධිය මේකට හොඳ උදාහරණයක්. සමාජ මාධ්‍යවල යන දේවල්වලට උත්තර දුන්නම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේකෙන් ඉවත්වෙන එක හොඳ දෙයක්,” රසල් ආනල්ඩ් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ මෙන්ම පුහුණුකරුවන්ගේ පුර්ණ වෙනසක්ම් සිදුකළ යුතු බවට නැගෙන මතය ගැන විමසීමේදී රසල් ආර්නල්ඩ් පැවසුවේ ලෝක කුසලානයට පෙර වෙනස්කම් කිරීමේ තත්ත්වයක් ඇතැයි තමන් නොසිතන බවය.

“ලෝක කුසලානයට මාස 6ක් තිබ්බට අපිට තියෙන්නේ දකුණු අප්‍රිකාව සමග තියෙන තරග 5 විතරයි. ඒ නිසා දැන් මන් හිතන්නේ නැහැ වෙනස්කම් කරන්න පුළුවන් කාලයක් කියලා. අපිත් පුළුවන් තරම් සහයෝගයක් දෙන්න ඕනේ යන සැලස්මට. නමුත් මිනිස්සු මේ වගේ ප්‍රශ්න අහන එක සාධාරණයි මොකද ප්‍රතිඵල නැහැ, විනය ප්‍රශ්න තියෙනවා නමුත් මම හිතනවා මේ වෙලාව නෙවෙයි කියලා වෙනස්කම් කරන්න.”

ක්‍රීඩා ඇමතිට අල්ලස් දෙන්න උත්සහ කළේ කවුද?

“බිරිඳව ගෙදර තියලා ක්‍රිකට් ගහන්න” ක්‍රීඩා ඇමති කියයි
විස්සයි විස්ස ලෝක කුසලානය: ශ්‍රී ලංකාවේ තැන ඇෆ්ගනිස්ථානයට
වත්මන් කණ්ඩායමට ලෝක කුසලානය තෙක් කිසිදු නවක ක්‍රීඩකයකු ඇතුලත් කිරීම සිදු නොකළ යුතු බව තම මතය බව ද රසල් ආර්නල්ඩ් මෙහිදී කියා සිටියේය.

“මොකද දැන් කණ්ඩායම ඉන්න මානසිකත්වය මේ ක්‍රීඩකයන්ට බලපාන්න පුළුවන්. ලෝක කුසලානයෙන් පස්සේ අපිට අලුත් ක්‍රීඩකයන්ට මේක භාරදෙන්න පුළුවන්. 1999 ලෝක කුසලානයෙන් පස්සේ වගේ. නැත්නම් අලුත් ක්‍රීඩකයෝත් ඇවිල්ලා මේ ප්‍රශ්නවලට මැදිහත් වුනොත් අපිට නැතිවෙන්නේ අපේ අනාගත ක්‍රීඩකයන් ටික. මට තියෙන්නේ ඒ බයයි. ඒ නිසයි මම කියන්නේ අලුත් අය ලෝක කුසලානය තෙක් එපා කියලා,” රසල් ආර්නල්ඩ් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 1 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරගය අවසන්වූ පසු ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතය.

එහිදී ටෙස්ට් තරග තුනකට, එක්දින තරග 5කට හා විස්සයි විස්ස තරග 3කට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවීමට නියමිතව ඇති අතර පෙබරවාරි 13 ආරම්භ වීමට නියමිත එම තරගාවලිය මාර්තු 24 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

අනිත් අයටත් බලන්න SHARE කරන්න

උපුටා ගැනීම BBC සිංහල

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top