“ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට” චන්ද්‍රිකාවක් නිර්මාණය කර එය කක්ෂගත කිරීමට ශ්‍රී ලාංකික දියණියක සහ පුතණුවෙක් සූදානමින් සිටිති.

ලෝකයේ පළමු ගුවන් යානය නිපදවූයේ රාවණා කියලා ඉතිහාසය අනුව පෙනී යනවා. ඒ රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ
ඒ, දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන දෙදෙනාය. ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා බීබීසී සිංහල සේවය, ජපානයේ සිටින ඔවුන් දෙදෙනා සම්බන්ධ කර ගැනීමට සමත් විය.
රාවණා තාක්ෂණය
ශ්‍රී ලංකා අභ්‍යවකාශ ඉන්ජිනේරු ඉතිහාසය අලුතින් ලියන සුවිශේෂී චන්ද්‍රිකාව නම් කර ඇත්තේ, ‘රාවණා 1’ යනුවෙනි. ඊට රාවණා යන නම තබා ඇත්තේ, කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය.
“රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ,” අභ්‍යවකාශ ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.
රාවණා 1

රාවණා 1 (RAAVANA-1) යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.

රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත.
ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳව අත්හදා බැලීම.
පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම
චන්ද්‍රිකාව නිර්මාණය කරනුයේ, ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ (Kyushu Institute of Technology) සිටය.


ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාව පෙබරවාරි මාසයේදී ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency – JAXA) වෙත භාර දීමට නියමිතය.
“එතනින් අපේ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවනවා. කියුබ් චන්ද්‍රිකා විශාල නොවන නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආහාර සහ තවත් උපකරණ යැවීමේදී අපගේ චන්ද්‍රිකාවත් එහෙට යැවීමට සූදානම් කරලා තියෙනවා. චන්ද්‍රිකාව කක්ෂගත කරන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි.” මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතියේ අභ්‍යවකාශ ඉන්ජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතය.
එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.
‘රාවණාගේ ගුවන් තාක්ෂණය’ ඉන්දීය විද්‍යා සමුළුව උණුසුම් කරයි
චන්ද්‍රිකා ඡයාරූප ඔස්සේ ‘දුප්පත්කම’ සොයා යෑම

දුලානි චාමිකා විතානගේ
Image copyrightBIRDS 3 SATELLITE PROJECT/FACEBOOK
තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක්විය. මේ වන විට ඇය රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වන අතරතුර පශ්චාත් උපාධියක් හදාරමින් සිටින්නීය.
“මගේ අනාගත ඉලක්කය තමයි, අභ්‍යවකාශ ඉන්ජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබා ගන්න එක. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණය නගා සිටුවන්න මම කටයුතු කරනවා.” දුලානි පැවසීය.

තරිඳු දයාරත්න
Image copyrightBIRDS 3 SATELLITE PROJECT/FACEBOOK
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කළ තරිඳු දයාරත්න මේ වන විට ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටී.
“මගේ එක ම අරමුණ තමයි ශ්‍රී ලංකාවේ ඉඳගෙන ශ්‍රී ලංකාවේ ම චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම. ඒකට අවශ්‍ය දැනුම අපට තියෙනවා. පහසුකම් නම් නැහැ,” තරිඳු පැවසීය.
අනිත් අයටත් කියවන්න SHARE කරන්න
උපුටා ගැනීම BBC