gossip

රට ගිය අම්මා අප දෙදෙනා අමතක කළා

හද පාරණ කතාවක්

මිහි මත තනි වූ අයියයි නංගියි කියන කතාවක්

පුංචි අම්මා සහ බාප්පා සමග ජිවත්වන නිවස

අලුත් අවුරුද්දක් උදා වුණා. ඉස්කෝලේ නිවාඩුව ඉවර වුණා. ආයෙත් ඉස්කෝල පටන්ගත්තා. ළමයි අලුත් ඇඳුම් ඇඳගෙන අම්ම තාත්තට වැඳලා අලුත් පොත්පත් බෑග් කරේ එල්ලාගෙන හරිම සතුටින් ඉස්කෝලේ ගියා.

ඒත්, පස්සර බිබිලේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන චාමිකර සම්පත් මධුවන්ත දිසානායක හා ඔහුගේ නංගි අලුත් අවුරුද්දෙත් ඉස්කෝලේ ගියේ හරිම දුකින්. එයාලට වැඳල යන්න ආශිර්වාද ලබන්න තාත්තා හෝ අම්මා හිටියේ නැහැ.

16 හැවිරිදි මේ අයියා ඉගෙන ගන්නේ 12 වන ශ්‍රේණියේ. නංගි ඉගෙන ගන්නේ 6 වන ශ්‍රේණියේ.

මේ අයිය නගෝ කියන කතාව ඉතාම සංවේදී එකක්.

“අපේ තාත්තා කුලී වැඩකරලා අපිව හදා වඩාගත්තා. ඔහොම ඉන්න කොට තමයි තාත්තා අසනීප වුණේ. ලෙඩේ හොයාගන්න කල් ගියා.

ඒක පිළිකාවක්.

තාත්තා ඔත්පළ වුණා. මුලදි අම්මා ණය සල්ලි අරන් තාත්තාට බේත් ගන්නත් ඉස්පිරිතාලෙට යන්නත් වියදම් කළා.

අපි හොඳටම ණය වුණා. ඊට පස්සේ අම්මා තීරණය කළා පිටරට යන්න. අම්ම අපි ගැන හිතලා ගෘහසේවිකා රැකියාවට රට ගියා.

එතැන් සිට තාත්තා බලාගත්තේ මම. නංගී බලාගත්තෙත් මම. කෑම හැදුවෙත් මම. ගෙදර වැඩ ඔක්කොම කරන ගමන් පාඩම් කටයුතුත් කළා. සාමාන්‍ය පෙළත් පාස් වුණා.

රට ගිය අම්මා මුලදී කතාකරල දුක් සැප ඇහුවත්, කාලයක් යනකොට කතා කිරීම නතර වුණා.

අපි අන්ත අසරණ වුණා. තාත්තට හොඳටම අමාරු වුණා. බදුල්ල මහ රෝහලට අරන් ගියාට පස්සේ තාත්තා මියගියා. මගේ අත්දෙක උඩ තාත්තා මිය යනකොට මම තාත්තා බදාගෙන පැය ගණනක් ඇඬුවා.

ඊට පස්සේ ගමේ අයයි නෑයොයි එකතුවෙලා මිනිය ගෙදරට ගෙනාවා. අම්මාට දැනුම්දීමට උත්සාහ කළත් අම්මා මගහරින බව අපට තේරුණා. අම්මා තාත්තාගේ මරණයටවත් ආවේ නැහැ. ආයේ අම්මා අපි බලන්න එන එකක් නැහැ. අපේ ගෙදර කටුමැටි ගැසූ ඉතා පුංචි එකක්. කඩාවැටෙන්න ආසන්නව තිබුණා. තාත්තාගේ මරණයෙන් පස්සේ නංගිටයි මටයි ගෙදර ඉන්න බය හිතුණා. ඊට පස්සේ ආච්චි ඇවිත් අපි දෙන්නා මහගෙදරට එක්කරගෙන ගියා.

නමුත් හත් දවසේ දානෙන් පස්සේ අපිට ඇතිවුණ ප්‍රශ්න නිසා මම මහගෙදරින් ඇවිත් පුංචි අම්මාට කිව්වම පුංචි එයාගේ ගෙදර මාව නතර කරගත්තා.

තුන්මාසේ දානය මට කිව්වෙත් නැහැ. තුන්මාසේ දානෙන් පස්සේ නංගිටත් කරදරයි කියලා එයත් පුංචි අම්මලාගේ ගෙදරටම ආවා. දැන් අපි ඉන්නේ ඒ ගෙදර. මේ ගෙදරත් කටුමැටි ගැසූ පැල්පතක්. හොඳටම අබලන්.

වහල දිරලා ගේ ඇතුළ තෙමෙනවා. පොත පතත් තෙමෙනවා. පාඩම් කරන්නත් බැහැ. විදුහල්පතිතුමාත්, ගුරු මහත්ම මහත්මීනුත් පුළුවන් විදියට උදව් කරනවා. හැබැයි අපි හරිම අසරණයි.

මේ ගෙදර පුංචි තාත්තාගේ ඔළුවේ ගෙඩියක් ඔපරේෂන් කළාට පස්සේ එයාත් එක්තැන්ව රෝගියෙකු වෙලා ​ඉන්නේ. පුංචි අම්මාත් ලෙඩින්, සමහර වෙලාවට කුලී වැඩට යනවා. හරිම අමාරුවෙන් අපි බලාගන්නවා” යැයි ද චාමිකර පැවසුවේ අප දෑසට කඳුළු නංවමිනි.

අපි ඒ පැල්පතට ගියෙමු. සැබැවින්ම එය කොයි මොහොතේ කඩාවැටේදැයි කිව නොහැකි තරම් අබලන්ය.

මේ දරුවන්ට පොතපත පාඩම් කිරීමට බැරි තරමට වැසි ජලය අබලන් වහලෙන් බිමට පනී. සමහර අවස්ථාවන්හි බඩගින්නේ පවා සිටීමට ඔවුන්ට සිදුව ඇති බව පුංචි අම්මා කීවේ සුසුම් හෙලමිනි.

එහෙත් මේ දරු දෙදෙනා කෙසේ හෝ රැකබලාගන්නා බව ඇය පැවසුවේ වැදූ අම්මාට නොතිබූ දරු සෙනෙහස තමාට ඇති බව පසක් කරමිනි.

අයිය නගෝ දෙමාපියන් සමග ජීවත්වූ නිවස

මේ අසරණයන්ට උදව් කළ හැකි නම් ඒ මහා පින්කමකි. මේ අත්වැල ඒ සඳහාය.

ලිපිනය :
චාමිකර මධුවන්ත දිසානායක,
වැරැල්ලවත්ත, බිබිලේගම, පස්සර,

පස්සර මහජන බැංකුවේ සිසුඋදාන ගිණුමේ අංකය
116200130078552 වේ.

දුරකතය : 0767097710

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

සටහන සහ ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top