News

යුද හමුදාවේ බ්රිගේඩියර් ප්රියංක ප්රනාන්දු මහතාට එක්සත් රාජධානියේ උසාවිය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්

බ්‍රිතාන්‍යය සමාජයේ නීතිය සහ සාමය කඩවීමට අදාළ පනත යටතේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව සඳුදා (ජනවාරි 21) ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ දී නැවත කැඳවීය.

Image result for ප්‍රියංක පෙරේරා

එක් පැමිණිලිකරුවෙකු විසින් ගොනුකරන ලද නඩුවට සාක්ෂිකරුවන් ලෙස දෙදෙනෙක් ඉදිරිපත් වී සිටිති. ඔවුන් එක්සත් රාජධානියේ දිවි ගෙවන පුද්ගලයන්ය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ලන්ඩන් හි වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති බව පැවසෙන නඩුව මගින් අදාළ බ්‍රිගේඩියර්වරයාට කිසිදු බලපෑමක් ඇති නොවන බවකි.

2018 වසරේ පෙබරවාරි 4 වෙනිදා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිදහස් දින සමරුව පැවැත්වෙද්දී එම පරිශ්‍රය අසළට රැස්වූ දෙමළ පුද්ගලයින් ද ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක යෙදුණහ.

එහිදී අදාළ බ්‍රිගේඩියර්වරයා එම උද්ඝෝෂකයින් වෙත පෑ ‘ගෙල සිඳින’ ආකාරයේ යැයි පැවසෙන අභිනයක් පිළිබඳ ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් පෙබරවාරි 6 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එම නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලද බවය.

නමුත්, ඊට පසු දා (පෙබරවාරි 7) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගය පරිදි ඔහුව යළි සේවයේ පිහිටුවනු ලැබීය.

කෙසේවුව ද 2018 පෙබරවාරි මස අවසානයේ දී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු යෙදිණි.

එම කැඳවීමෙන් පසු එවක පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යුද හමුදාපති මහේෂ් සේනානයක පැවසුවේ, අදාළ නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු නැවත කැඳවා ගත් බවය.

බ්‍රිගේඩියර්වරයාට එරෙහිව නඩු පැවරිය හැකි ද?
“මේ පැමිණිලිකරු සහ සාක්ෂිකරුවන් සිද්ධිය වුණ දවසේ උද්ඝෝෂණයට සහභාගී වෙලා තියෙනවා. ඒ වෙලාවේ ඔවුන් දැකලා තියෙනවා මේ නිලධාරියා ගෙල සිඳින ආකාරයේ සංඥාවක් කරනවා” යැයි පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ‘Public Interest Law Centre’ නම් නීති ආධාර ලබාදෙන ආයතනයේ නීතිඥ හෙලන් මොවට් (Helen Mowatt) බීබීසී සිංහල සේවයට පැවසුවාය.

ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය
“ඔහු එම අවස්ථාවේ සිදු කළ තර්ජනාත්මක අභිනය සහ එහි සිටි පුද්ගලයන්ට එරෙහිව අඩන්තේට්ටම සිදු කිරීමට සැරසෙන ලෙස බිය ගැන්වීම යන කරුණු මත බ්‍රිතාන්‍යයේ සමාජයේ නීතිය සහ සාමය සුරැකීමට අදාළ පනත (Public Order Act 1986 ) යටතේ ඔහුට නඩු පවරා තිබෙනවා” යැයි නීතීඥවරිය පැවසුවාය.

“බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ පසුගිය වසරේ මාර්තු මස”
“මෙය ඉතා වැදගත් නඩුවක්. අපි හිතනවා මේ නඩුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වුණ යුද අපරාධ ගැන නැවත අවධානය යොමු කරන්න පුළුවන් වෙයි කියලා,” නීතිඥ හෙලන් මොවට් පැවසුවාය.

මේ අතර “බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තානාපති මුක්තිය හිමි නිලධාරියකු බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීමක් සිදු කළ නොහැකියි යන්න ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ මතය” බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා සරෝජා සිරිසේන බීබීසි සිංහල සේවයට පැවසීය.

මේ සම්බන්ධයෙන් අදාළ තානාපති අංශ දැනුවත් කර ඇති බව ද ඇය මෙහි දී කියා සිටියාය.

පවරා ඇති නඩුවට ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් නීතිවේදියෙකු කරුණු දක්වනු ඇත්දැයි විමසූ විට ඇය පැවසුවේ ඒ පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බවය.

මේ අතර, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ලන්ඩන් නුවර අධිකරණයක නඩු පැවරූ බවට ඔහුට හෝ ශ්‍රී ලංකා යුද හමුදාවට කිසිදු නිල දැනුම්දීමක් සිදු කළ නොමැති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු බීබීසි සිංහල සේවයට පැවසුවේ විදේශ අමාත්‍යංශය හෝ තානාපති අංශ විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට හෝ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එවන් දැනුම්දීමක් කරනු ලැබ නැති බවකි.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

උපුටා ගැනීම BBC සිංහල

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top