දැනුම

ලෝහමය ද්‍රව්‍ය ඇද ගන්නා ඉන්දියාවේ චුම්බක කන්ද

වාහනයක එන්ජිම ක්‍රියාවිරහිත කොට අධික බෑවුම් සහිත කඳු මුදුනකට ගමන් කළ හැකිද? මෙය විශ්වාස කළ නොහැකි වුවද ඉන්දියාවේ ලෙහ් දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට අඩි 11,000 පමණ ඉහළින් පිහිටි ලෙහ් ලඩක් වෙත ළඟාවන්නකුට මෙම අත්දැකීම විඳගත හැකිය. ලෙහ් ලඩක් කන්දේ පවතින චුම්බක ශක්තියට ලෝහමය ද්‍රව්‍ය ඇදගැනීමේ හැකියාවක් පවතින අතර වාහනයක එන්ජිම ක්‍රියා විරහිත කොට තිබෙන අවස්ථාවක පැයට කිලෝමීටර 20 පමණ වේගයකින් ඉහළට ඇදගැනීමේ ශක්තියක් ඇතැයි පැවසේ.   

කඳු වැටිය පාමුල ඇති මාර්ගයේ ගමන් ගන්නා වාහන පමණක් නොව ඉහළින් යන හෙලිකොප්ටර් සහ කුඩා ගුවන් යානා ද ඉහත කී චුම්බක ක්‍රියාවලියට නතු වන බව කියැවේ. කඳුවැටිය ආසන්නයෙන් ගමන් ගන්නා ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා එහි චුම්බක ක්ෂේත්‍රයට හසු වූ කල දෙදරීමකට ලක්වන්නේ යැයි ඉන්දු – ටිබෙට් දේශසීමා පොලිස් නිලධාරීන් සඳහන් කර තිබේ.

අනතුරු අවම කර ගැනීම සඳහා නිශ්චිත වේගයකින් හා ඉහළ මට්ටමකින් ගමන් කරන ලෙසට දැක්වෙන සංඥා පුවරු එම ප්‍රදේශයේ සවි කර ඇත. ඉන්දියානු ගුවන් නියමුවෝ මෙම චුම්බක කන්ද පිළිබඳ දැනුම්වත් බැවින් බොහෝ විට එය මග හැර යෑමට පුරුදුව සිටිති.

ලඩක්හි චුම්බක කන්දේ රහස කුමක්ද? ඒ සම්බන්ධයෙන් විවිධ මත පවතී. එම ප්‍රදේශයේ පවතින චුම්බක ශක්තිය අධික බැවින් කන්ද දෙසට වාහන ඇදගනු ඇතැයි ඇතැම්හු මත දක්වති. තවත් පිරිසකගේ මතය වනුයේ මෙය කිසියම් අද්භූත ක්‍රියාවලියක බලපෑමක් මත සිදුවෙන බවය.

තුන් වැනි මතය වනුයේ චුම්බක කන්ද අවට භූමිය මඟින් කිසියම් ආකාරයක දෘශ්‍ය මායාවක් නිර්මාණය කරන බවයි. ඒ අනුව පහතට ඇති බෑවුම ඉහළට ඇති බෑවුමක් මෙන් පෙනෙන්නේ යැයි ඔවුන්ගේ අදහසය. එම දෘශ්‍ය මායාව හේතුවෙන් ගියරය මුදා ඇති වාහනයක් ඉහළට ඇදී යන්නාක් මෙන් දර්ශනය වන බැව් ඔවුහු ප්‍රකාශ කරති.

ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පිහිටා ඇති ලෙහ් යනු ලඩක්හි ඇති දිස්ත්‍රික්ක දෙකින් එකකි. අනෙක් දිස්ත්‍රික්කය කාර්ගිල්ය. චුම්භක කන්ද පිහිටා ඇත්තේ ලෙහ් සහ කාර්ගිල් ශ්‍රී නගර් අධිවේගී මාර්ගය ආසන්නයේය. ටිබෙටයේ සිට ගලා බසින ඉන්දු නදිය ලෙහ් දිස්ත්‍රික්කයට දකුණු දෙසින් පාකිස්තානය දෙසට ගලා බසියි.

මුහුදු මට්ටමේ සිට අඩි 12,000ක් ඉහළින් පිහිටි සික් ගුරුද්වාර පතාර් සහීබ් පුදබිම පිහිටා ඇත්තේ ද චුම්බක කන්ද ආසන්නයේය. ගුරුද්වාරය ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 1517 සික් දහම බිහි කළ ගුරුවරයා වූ ගුරුනායක් දේව් සිහිපත් කිරීම සඳහාය. ගුරුද්වාරය සහ චුම්බක කන්ද හේතුවෙන් මෙම ප්‍රදේශය සංචාරක පාරාදීසයක් බවට පත් වී තිබේ.

 

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top