දැනුම

පෝලන්තයේ වක ගැසුණු වනාන්තරය

පෝලන්තයේ බටහිර පොමරේනියාවේ ග්‍රයිෆිනෝ නගරයට නුදුරින් පිහිටි පටු තීරයක කුඩා වන ළැහැබක් දැකිය හැකිය. එය හැඳින්වෙන්නේ ‘කෲකඩ් ෆොරස්ට්’ නොහොත් ‘වක ගැසුණු වනාන්තරය’ නමිනි. එයට එම නම ලැබී ඇත්තේ එහි ඇති සියලු ගස් වක ගැසී ඇති බැවිනි. එම ගස් වක ගැසීමට ලක් වූයේ මන්දැයි යන්න පිළිබඳව වසර ගණනක් පුරා විවිධ මත ප්‍රකාශ වුවද ඒ පිළිබඳ පැහැදිලි නිගමනයක් නොවීය. 

වක ගැසුණු වනාන්තරයේ පයින් වර්ගයට අයත් වෘක්ෂ 400ක් පමණ දැකිය හැකිය. ඒ අතරින් ගස් 100ක් පමණ වක ගැසුණු පයින් ගස්ය. ඒ සෑම ගසකම පාමුලින් ඉංග්‍රීසි සී අකුරේ හැඩය ඇති නැම්මක් පෙන්නුම් කරයි. එමෙන්ම සියලු ගස් වක්‍රව ඇත්තේ උතුරු දෙසටය. එසේ වීමට බල පෑ සාධකය කුමක්ද? පරිසරයද? යුද්ධයද? පිටසක්වළ ජීවීන්ගේ බලපෑමක්ද?

එම ප්‍රදේශයේ පවතින විශේෂිත ගුරුත්වාකර්ෂණ බලපෑමක් මත මෙවැන්නක් සිදු වන්නට ඇතැයි යන්න ඇතැමකුගේ මතය විය. එහෙත් එම න්‍යාය පහසුවෙන් බැහැර කළ හැක්කේ කිසියම් වස්තුවක් ගුරුත්වාකර්ෂණ බලය මඟින් ඇදගනු ලබන්නේ කිසියම් දිසාවකට නොව භූමිය දෙසට වන බැවිනි.

අධික හිමපතනය හේතුවෙන් මෙම වෘක්ෂ මෙලෙස වක ගැසෙන්නට ඇතැයි යන්න තවත් මතයකි. ශීත ඍතුවේ සිදුවන අධික හිමපතනය පයින් පැළෑටි මත දිගු කලක් පතිතව තිබීම හේතුවෙන් ඒවා නැමී තිබී වසන්තයේ හිම දිය වී යන විට වක්‍රාකාරව වැඩෙන්නට ඇතැයි යන්න එම අදහසයි. එහෙත් එසේ වූවා නම් ඒ අවට ඇති වෙනත් ශාක ද එලෙස වක ගැසිය යුතුය. එහෙයින් එම මතය ද නිෂේධනය වේ.

දෙවැනි ලෝක යුද සමයේ පෝලන්තය ආක්‍රමණය කළ සතුරු යුද ටැංකි වැඩෙමින් තිබූ ගස් මතින් ගමන් කිරීම හේතුවෙන් ඒවා යළි රෝපණය වීමේදී වක ගැසීමට ලක්ව ඇතැයි යන්න තවත් මතයකි. මෙම වනාන්තර අවම වශයෙන් වසර 80ක් වත් පැරණි බවට පරිසරවේදීන් හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙම දින වකවානු ගැළපේ. මෙම මතය පිළිබඳව ද ගැටලුවක් පවතී. යුද ටැංකි මඟින් ඇති වූ කම්පනය මත මෙලෙස වක ගැසී වැඩුණේ නම් වනාන්තරයේ එක් කොටසක් පමණක් වක ගැසීමට ලක්වූයේ කෙලෙසකද යන්න එම ගැටලුවය.

මෙම වනාන්තරය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක්ය යන්න තවත් මතයකි. එය යම් පමණකට විශ්වාස කළ හැකි සාධකයකි. එම වෘක්ෂ සියල්ල එකිනෙකට අනුරූප වන ආකාරයෙන් සකස් වී තිබේ. 1925ත් 1928ත් අතර කාලයේ එම ප්‍රදේශයේ ගොවීහු ඉදිකිරීම් සඳහා අවශ්‍ය දැව ලබා ගැනීම සඳහා පයින්, ඕක් වැනි රුක් රෝපණය කළහ. ඒ අතර ගෘහ භාණ්ඩ සහ නෞකා තැනීම සඳහා යොදා ගැනුණු ගස් වර්ග ද විය.

කවාකාර ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට හා නෞකාවන්හි ඉදිරිපස කොටසේ ශක්තිය වැඩි කිරීම සඳහා ඒවා තැනීමේදී ස්වාභාවිකව වක ගැසුණු දැව වර්ග යොදා ගැනීමට කම්හල් හිමියෝ පෙළඹී සිටියහ. එහෙයින් එවැනි ගස් ස්වාභාවිකව එක්තරා රටාවක වකයක් සහිතව වර්ධනය කිරීම සඳහා ඔවුහු විවිධ උපක්‍රම භාවිත කළහ. ඒ සඳහා යොදා ගත් තාක්ෂණය පිළිබඳ තොරතුරු අනාවරණ වී නොමැත. වසර 10ක් පමණ වැඩුණු පසු ඒවා කපා දැව ඉරා ගන්නා ලදී. මෙම වක ගැසුණු දැව ඔවුන් හැඳින්වූයේ ‘කොම්පස්’ දැව නමිනි.

ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කොට එය අත්පත් කර ගැනීමෙන් පසු ග්‍රයිෆිනෝ නගරය ද විනාශ වූ අතර එහි වාසය කළ ජනතාව එම ප්‍රදේශයෙන් එළවා දැමිණි. එහි ප්‍රතිඵලය වූයේ වක ගැසුණු ගස් වගාකිරීමේ නිරතව සිටි ගොවීන් ප්‍රදේශය හැර දමා යෑමය. ග්‍රයිෆිනෝ නගරය ආසන්නයේ පිහිටි මෙම වනාන්තරය ද ඔවුන් විසින් අත්හැර දමන ලද භූමියක් විය. එම ප්‍රදේශය යළි ජනාකීර්ණ වූයේ 1970 වසරේ බලාගාරයක් ඉදිකිරීමත් සමඟිනි. මෙම වක ගැසුණු වනාන්තරය පිළිබඳ සැබෑ පුවත කිසිවකු නොදැන සිටීමට හේතු වූයේ 1970 වසරින් පසු එම ප්‍රදේශයේ පදිංචිවූවන් එහි ඉතිහාසය දැන නොසිටි බැවිනි.

එහෙයින් වක ගැසුණු වනාන්තරය කිසියම් ක්‍රියාවලියක ප්‍රතික්‍රියාවක් ලෙස නිර්මාණය වූවක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක්ය යන මතය පිළිගත හැකිය.

යාළුවන්ටත් කියවන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top