ලෝකය

දස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සමූලඝාතනය කළ ඇඩොල්ෆ් හිට්ලර්

ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබුවේ 1889 අප්‍රේල් මස 20 වන දින ඔස්ට්‍රියානු-ජර්මන් දේශ සීමාවේ Braunau-am-Inn ගම්මානයේය.

ඔහුගේ පියා රේගු නිලධාරියෙක් විය. කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොලබා අවුරුදු 16 දී පාසලෙන් ඉවත් වී වියානා නුවර චිත්‍ර ශිල්පියෙකු ලෙස ජීවත් වීමට වෑයම් කළ හිට්ලර්ගේ අන්තවාදී දේශපාලන හා වාර්ගික අදහස් බොහොමයක් මතුවූයේ මෙම කාලවකවානුව අතරතුරදීය.

1913 දී පළමුවන ලෝක යුද සමයේ මියුනික් නගරයට පැමිණ ජර්මානු හමුදාවට බැඳුණු හිට්ලර් යුද ක්‍රියාන්විතයක දී තුවාල ලැබීය.

1919 දී ඔහු ෆැසිස්ට් ජර්මන් කම්කරු පක්ෂය (DAP) සමග එක් විය. හිට්ලර් ඇතුළු බොහෝ පිරිස් ජර්මනියේ පශ්චාත් යුද ගැටලුවලට හේතුව යුදෙව්වන් හා බොල්ෂෙවික්වාදීන් යැයි දොස් පැවරූහ. දක්ෂිණාංශිකයන් තුළ ජනිත වෙමින් තිබූ විරෝධය මත පශ්චාත් යුද ගැටලුවලට ඔහු අන්තවාදී “පිළියම්” යෙදීමට ප්‍රතිඥා දුන්නේය.

වර්ෂ 1921 වන විට ඔහු ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂයේ (NSDAP හෝ නාසි පක්ෂය) නායකතත්වයට පත් විය.

1923 දී මියුනික් නුවර අසාර්ථක ආයුධ සන්නද්ධ අරගලයක් සිදු කළ හිට්ලර්ට මාස නමයක සිර දඬුවමක් නියම කෙරිණ. සිරගත වී සිටින කාලය ඇතුළත ඔහු සිය දේශපාලන මතවාදය ගෙනහැර දක්වමින් ‘Mein Kampf’ නම් ග්‍රන්ථය ලිවීය. සිරෙන් නිදහස් වූ ඔහු යළිත් නාසි පක්ෂය යළි ගොඩනැගීමට පටන් ගත්තේය.

මෙවර ඔහු සිය අන්තවාදී අදහස් පැතිරවීම සඳහා ප්‍රචණ්ඩත්වය යොදවමින් මහජන සන්නිවේදන ක්‍රම භාවිත කිරීමට කටයුතු කළේය.

රට තුළ පැවති ආර්ථික අවපාතය සහ දේශපාලන කැලඹීම් තුළ වුවද නාසි පක්ෂය දිනෙන් දින ශක්තිමත් විය. 1932 පැවති මහ මැතිවරණයේ දී ජර්මානු පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමි පක්ෂය බවට පත් වීමට ඔවුනට හැකි විය.

හිට්ලර් 1933 ජනවාරි මස පිහිටුවන ලද සභාග ආණ්ඩුවේ චාන්සලර් (නායකයා) පදවියට පත්විය. ඉතා ඉක්මනින් සිය ඒකාධිපති බලය භාවිත කිරීම ආරම්භ කළ හිට්ලර් යුදෙව් විරෝධී නීති තැනීමට පටන් ගත්තේය. ඔහු ජර්මනිය හමුදාකරණය කිරීම සහ භූමිය ව්‍යාප්ත කිරීම ආරම්භ කළ අතර, එය දෙවෙනි ලෝක යුද්ධය ඇති වීමට ප්‍රධානතම හේතුව විය. මුලින් ඉතාලිය සමග සම්බන්ධතා ගොඩනගා ගත් හිට්ලර් පසුව ජපානය සමග අත්වැල් බැඳ ගැනීමට කටයුතු කළේය.

1938 දී අසල්වැසි ඕස්ට්‍රියාව ආක්‍රමණය කළ හිට්ලර් එය ජර්මනියට ඈඳා ගෙන එහි නාසිවාදී පාලනයක් ආරම්භ කළේය.

අනතුරුව චෙකොස්ලොවැකියාවේ සිටි චෙකොස්ලොවැකියානුවන් සහ ජර්මන් ජාතිකයන් වෙන් කර සුඩෙටන්ලන්තය (Sudetenland) යනුවෙන් වෙනම ඒකකයක් පිහිටුවනු ලැබිණ. අනතුරුව සුඩෙන්ටන්ලන්තය පමණක් නොව චෙකොස්ලොවැකියාව ද ආක්‍රමණය කිරීමට හිට්ලර් කටයුතු කළේය.

1939 සැප්තැම්බර් මස හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කරන තෙක් බටහිර රටවලින් ඔහුට සැලකිය යුතු විරෝධයක් මතු වූයේ නැත. නමුත් මෙම ආක්‍රමණයත් සමග බටහිර රටවල් ජර්මනියට එරෙහිව යුද්ධයක් ආරම්භ කළ අතර එය දෙවන ලෝක සංග්‍රාමයේ ආරම්භය විය.

ඩෙන්මාර්කය, නෝර්වේ සහ බටහිර යුරෝපයේ ක්‍රියාත්මක කළ හමුදා මෙහෙයුම් සාර්ථක වූ පසු සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීමට හිට්ලර් නියෝග කළේය. නමුත් 1941 දී බ්‍රිතාන්‍ය යටත් කර ගැනීමේ මෙහෙයුම් සාර්ථක නොවීය. එම වසරේ දෙසැම්බර් මස හිට්ලර් එක්සත් ජනපදයට එරෙහිව ද යුද ප්‍රකාශ කළේය.

නාසීන් අල්ලාගත් රටවල යුදෙව් ජනගහනය සමූලඝාතනය කරන ලදී. ඔවුන් වාර්ගිකව පහත් යැයි සලකනු ලැබූ තවත් මිලියන ගණනක පිරිසක් මරා දැමුණු අතර, සමහර පුද්ගලයන්ට මිය යන තෙක් නාසි සිර කඳවුරුවල වැඩ කිරීමට සිදු විය.

හිට්ලර් පාලනය තුළ යුදෙව් ජාතිකයන් අවම වශයෙන් මිලියන හයක් ඝාතනය කර තිබේ.

අවුෂ්විට්ස්, බර්ගර් බෙල්සන්, බෙල්ෂෙග්, සොමිබොර් නමින් හැඳින්වෙන හිට්ලර්ගේ සිර කඳවුරුවල ලක්ෂ ගණනක් ජනතාව ගෑස් කාමර තුළ සිර කර සමුලඝාතනය කරන ලද අතර නොයෙකුත් වධබන්ධනවලට ද ලක් කෙරිණ.

මේ අතර, වැඩි අපහසුතාවකින් තොරව රුසියාව අල්ලා ගත හැකි වෙතැයි හිට්ලර් සැලසුම් කළේය. ඊට පෙර රුසියාව ආක්‍රමණය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රංශ මහා අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට්ට සිදු වූයේ අන්ත පරාජයක් ලබා දස දහස් ගණනක් තුවාලකරුවන් සමඟ පසු බැස යාමටය. ඉන් වසර සියයකට වැඩි කාලයකට පසු හිට්ලර්ට ද එබඳු පරාජයක් අත්විඳීමට සිදු විය.

ජර්මනිය සමඟ මෙබඳු සටනකට සූදානම්ව සිටි සෝවියට් හමුදාව, සතුරන් මුලා කිරීමට අවශ්‍ය සියලු උපායන් ක්‍රියාත්මක කළේය. දැඩි සීත සෘතුව එළඹෙන තෙක් ජර්මන් හමුදාව රඳවා ගැනීම රුසියාව අනුගමනය කළ එබඳු එක් උපායකි.

එදා නැපෝලියන් හමුදාව සීත සෘතුවේ දී මුහුණ දුන් ඉරණමට නාසි හමුදාවට ද මුහුණ දීමට සිදු විය. ජර්මන් හමුදාව තද සීත සෘතුවකට මුහුණ දීමට සූදානම්ව සිටියේ නැත. අධික සීතල, ආහාර හිඟය, ලෙඩ රෝග ආදියෙන් අතිවිශාල වශයෙන් ජර්මන් හමුදා මිය යන්නට විය.

1944 ජුනි මස බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදා ප්‍රංශයේ කඳවුරු පිහිට වූහ.

මෙසේ සන්ධානගත වූ මිත්‍ර හමුදා හිට්ලර් පරාජය කිරීමේ දැවැන්ත මෙහෙයුම අරඹා තිබිණි. ඔවුන්ගේ ශක්තිය සහ අධිෂ්ඨානය හඳුනා ගත් හිට්ලර්, ඇමරිකානු හා බ්‍රිතාන්‍යය හමුදාවන්ට එරෙහිව ඔහුගේ ඉතිරි ජංගම සංචිත භාවිත කිරීමට තීරණය කළේය. නමුත් අනපේක්ෂිත ලෙස යුද්ධයෙන් පරාජය වෙමින් සිටි හිට්ලර් ඔහුගේ මූලස්ථානය බර්ලිනයට රැගෙන ගියේය. හිට්ලර් එහි ‘චාන්සලර්’ මන්දිර භූමියේ තැනූ භූගත බංකරයට වී සිය අවසන් දින කිහිපය ගත කර තිබේ.

භූගත බංකරය තුළ ජීවත්ව සිටිද්දී ඔහු සිය දිගු කාලීන පෙම්වතිය, ඊවා බ්‍රෝන් සමග විවාහ විය.

කෙසේනමුත්, නාසී හමුදාවට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වූ රුසියානු ‘රතු හමුදාව’ ජර්මනියේ අගනගරය වූ බර්ලිනය යටත් කර ගැනීමත් සමග 1945 අප්‍රේල් 30 වන දින බර්ලින් නුවර පිහිටි සිය භූගත බංකරය තුළ දී හිට්ලර් සිය දිවි නසා ගත්තේය.

යාළුවන්ටත් කියවන්න SHARE කරන්න

උපුටා ගැනීම ලක්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top