News

ඇල්ලුවේ ගණිකාවන් නම් ඔවුන් සමග සිටි අය කෝ

නගර සෝභනියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් සමග යහන්ගත වන සැකකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි සැකකාරියන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කිරීමත් සමග සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ නිලධාරීන් හා නීතිඥවරයා අතර විවෘත අධිකරණයේද උණුසුම් සංවාදයක් ඇතිවිය.

Image result for PROSTITUTE

‍පොසොන් උත්සවය ආරම්භ වීමට පෙර අනුරාධපුර නගරය ආක්‍රමණය කරමින් ස්ථානගත වන නගර සෝබනියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස දූෂණ මර්දන නඩු මෙහෙයුම් අංශය අධිකරණයෙන් ඉල්ලා සිටීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් සංවාදය ඇතිවිය.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියන් දෙදෙනා ලබන මස (04) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා නියෝග කළ අතර ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සමාජ රෝග සායනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරියට තවදුරටත් නියෝග කළේය.

Image result for Court

සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ දූෂණ මර්දන අංශයේ ‍පොලිස් කොස්තාපල් (47687) සරත් මහතා කියා සිටියේ සැකකාරියන් ‍පොසොන් උත්සවය ඉලක්ක කර අනුරාධපුර නගරයේ ස්ථානාගත වී ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

සැකකාරියන් මැදවච්චියේ පදිංචිව සිටියත් අනුරාධපුර නගරයේ ගැවසෙමින් සිටි බවත් ඔවුන්ට ඇප ලබාදීම සිදුනොකර ඔවුන් දෙදෙනා සමාජ රෝග වාර්ථාවක් කැඳවීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සමාජ රෝග සායනයට ඉදිරිපත් කරන ලෙසත් ‍පොලිස් කොස්තාපල් සරත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාරියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම අයකුට ඕනෑම තැනක යෑමට ඒමට අවස්ථාව තිබෙන බවයි. හැමදාම අයා‍ලේ යන කාන්තාවන් කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් එක්ක යහන්ගත වන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නෑ. ‍පොලීසිය ඒ අයවත් අධිකරණය ඉදිරිපත් කරන්න. බොරුවට කාන්තාවන් විතරක් අධිකරණයට ගේන්න එපා.

අපි බොරුවට සැකකාරියන් අධිකරණයට ගේන්නෑ. මැදවච්චිය පැත්තට ගියා නම් මේ අයගේ තත්ත්වය දැන ගන්න පුළුවන්. උගත් නීතිඥතුමා කියන විදියට පිරිමි අධිකරණයට ගේන්න ගියොත් කී දෙනෙක් මතෛන්ට ගේන්නද? හැබැයි අවශ්‍ය වේලාවට අපි ඒ අයවත් ඉදිරිපත් කරන්නම් යනුවෙන් ‍පොලිස් කොස්තාපල් සරත් අධිකරණයට දැන්වූයේය.
දෙපාර්ශ්වයේ කරුණු පිළිබඳව අවධානය යොමු කළ විනිසුරුවරයා සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ දූෂණ මර්දන ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ඩී.බි.අයි. ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නඩු මෙහෙයුම් අංශයේ සැරයන් (48319) අජිත්, හේරත් හා ‍පොලිස් කොස්තාපල් (47687) සරත් යන නිලධාරීන් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීහ.

උපුටා ගැනීම ලක්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top