කිලිිනොච්චිය ප්‍රදේශයේදී පිරිසක් විසින් දිවියෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ වු පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට පොලීසියට නියෝගයක් ලැබුණ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.සී. සූරියබණ්ඩාර පවසයි.

ඒ අනුව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ලැබි ඇති තොරතුරු අනුව මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම පැවැසීය.
මෙම දිවියා ගම්මානයට පැමිණි අවස්ථාවේ වනජීවී නිලධාරීන් දිවියා ඇල්ලීමට එම ස්ථානයට ගියද, ප්‍රදේශවාසීන්ගේ බාධා කිරීම නිසා දිවියා අල්ලා ගැනීමට නොහැකි වී ඇති බවට තමාට තොරතුරු වාර්තා වී ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා ‘ලක්බිමට’ පැවැසීය.
කිලිනොච්චියේදී දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් පරීක්ෂණයක් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ මෙම අමානුෂික ක්‍රියාව හෙළා දකිමින් වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් කළ ඉල්ලීමෙන් පසුවය.


