පුරුෂයන්ගේ ලිංගික බෙලහීනතාව ලොව පුරා නිබදවම සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවකි. දියවැඩියාව හෙවත් මධුමේහය ආදී රෝග තත්ත්වය නිසාත් වියපත් බව නිසාත් ප්‍රවේණිගත සාධක නිසාත් ඇතැම් පිරිමින්ගේ ලිංගික ශක්තිය මඳ බවට පත්වේ.
එබැවින් ඒ සඳහා අප බටහිර වෛද්‍ය ක්‍රමය නමින් හඳුන්වන ඇලෝපති වෛද්‍ය ක්‍රමයෙන් සේම භාරතයෙන් අප රටට පැමිණි සිද්ධ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලින් මෙන්ම දේශීය හෙළ වෙදකමින් ද බටහිර වෛද්‍ය ක්‍රමයෙන් බෙදී ගිය හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන්ද, අරාබිකරයෙන් පැමිණි යුනානි වෛද්‍ය ක්‍රමයෙන්ද, අකුපන්චර් නමින් හැඳින්වෙන චීන කටු චිකිත්සාවෙන්ද නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කෙරේ.
මේ අතර කිසිදු පිළිගත් වෛද්‍ය ක්‍රමයකට අයත් නොවන ‘ජන වෙදකමේ’ (Folk Medicine) ද පුරුෂ ලිංගික බෙලහීනතාව සඳහා විවිධ අත්බෙහෙත් ප්‍රතිකාර සහ කෙම් ක්‍රම හඳුන්වා දී තිබේ. මේ සියළු තත්ත්වයන් යටතේ පුරුෂ ලිංගික බෙලහීනතාව සඳහා අත්දුටු සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන ඔසුවක් තිබේ. අපට බෙහෙවින් ආසන්න ඉන්දියාවේ; විශේෂයෙන් කේරළ ආදී ප්‍රාන්ත වල ඖෂධයක් සේම කුළුබඩුවක් වශයෙන් යොදා ගැනෙන අමුක්කරා නැතහොත් අශ්වගන්ධා වෙනත් රටවල ද ඔසු පිණිස භාවිත වන පැළෑටියකි.

අශ්වගන්ධා ලෙස සකුවෙනුත්, ද්‍රවිඩ භාෂාවෙන් පිල්ලි අංගා, අමුක්කීරම්, අමුතුලංගා, අමුක්කරා ලෙසත්, සිංහලෙන් අස්ගොඳු නාමයෙනුත් හඳුන්වන මෙම පැළෑටිය විද්‍යාත්මකව Withania Somnifera (L) Gunal / physilisSomnifera L. ලෙස නාමකරණය කරන ලද කන්ඨකාරී (SOLANASEAE)කුලයේ ශාකයකි.Indian ginseng, Poison Gooseberry, Winter Cherryයන ඉංග්‍රීසි නම් වලිනුත් මෙය හඳුන්වනු ලැබේ.
සකු බසින් අශ්වගන්ධා නාමයට අමතරව පර්යාය නාම රාශියක් එම ගෘකය හැඳින්වීමට යොදා ගෙන ඇත. ඒ අතරින් සෘක්ෂගන්ධා, තුලාංහණ, වර්ගකාරී, ප්‍රියකාරී, ශ්‍යාමලා, අවරෝහිකා වාතඝනී, බලජා වාජිනී, අශ්වාරෝහිකා, තුරඟගන්ධා,කුෂ්ඨගන්ධ, වර්ගාත්‍රකරී, කුෂ්ඨගන්ධිනී, ගන්ධපත්‍රී,පාලපර්ණි, අශ්නක්ධිකා, අශ්වාරෝහ, අශ්වකන්ධිකා, බල්‍යා, තුරඟී,වරාහකර්ණ, වාරිගන්ධා වැනි පර්යාය නාම වැඩිපුර භාවිතා වේ. අශ්වගන්ධා යන නම පැමිණ තිබෙන්නේ මෙම ශාකයේ අල නැති නම් අමු මුල් පොඩි කල විට අශ්ව මුත්‍රා වල ගන්ධයට සමාන ගන්ධයක් ඇති කරනා නිසාවෙන් යැයි අදහසක් ඇත.
මෙම අමුක්කරා පිළිබඳව මා හා අදහස් පළ කළ බටහිර විශේෂඥ වෛද්‍යවරයෙකු වරක් කියා සිටියේ අශ්වයා ලිංගිකත්වයේ සංකේතයක් සේ ගැනෙන බැවින් අශ්වයාගේ ලිංගේන්ද්‍රි පද්ධතියට සම්බන්ධ මුත්‍රා ගන්ධයට සමාන බැවින් මෙම ශාකය පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වඩවන්නක් බවට සංකල්පයක් බිහිව ඇති බවය. මෙයින් පුරුෂයන්ගේ ලිංගික ප්‍රාණවත් වීම කෙරෙහි මෙය බලපානුයේ හුදු මානසික උත්තේජනයක් මත පදනම් වන තුෂ්ඨක බලයක් (Placebo Effect) ලෙසින් පමණක් බවද හෙතෙම කීය. එහෙත් ඔහුගේ එම ප්‍රකාශය සත්‍ය නොවන බව මම කියා සිටියෙමි.

නූතන රසායන හා උද්භිද විද්‍යාවේ දී මෙම ශාකය Anti-inflammatory, Antitumor, Antistress, Antioxidant Effect, Immunomodulatory, Hemopoetic Effect, Rejuvenating Effect, යන ගුණ ලබා දෙන අතර,Effects on the Endocrine System, Nervous System Effects, Effects on the CardiopulmonarySystem, යන පද්ධතිවල ඔසුවක් ලෙස ක්‍රියාකරන බව විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු වී ඇත. Alternative Medicine Review,Volume 9, Number 2, 2004. පර්යේෂණය මඟින් විද්‍යාත්මක ලෙස අශ්වගන්ධා වල ඖෂධීය ගුණාංග පිළිබඳ නිබන්ධන (Monograph) ලබා දී ඇත.
එම නිසා මෙම ඔසු ගුණ විද්‍යාත්මකව ප්‍රකාශයට පත් වීතිබේ.
පඳුරු ශාකයක් වන අමුක්කරා උපරිම වශයෙන් මීටර් එකක් පමණ උසට වැඩෙන කඳ කොටසෙහි දැඩි බූව ඇති අර්ධ කාෂ්ටීය ශාකයකි. අතු බෙදේ. අණ්ඩාකාර පත්‍ර ඇත. පත්‍ර වල යටි පැත්තේ සිහින් තාරකාකාර බූවක් ඇත. මල් පිපෙනා විට වේගයෙන් විශාල වී උපරිම සෙන්ටිමීටර 1-2 පමණ වේ. පුෂ්ප කොළ පැහැයට හුරු ලා අළු පැහැයක් ගනී. රතු පැහැ ඵලයක් ඇතිවේ.
වියලි දේශගුණික කලාප වල බහුල ව සහ පහසුවෙන් වැවෙන මෙම ශාකය ශ්‍රී ලංකාවේ ද වියලි කලාපිය කැලෑ ආශිත ප්‍රදේශවල පහසුවෙන් සොයා ගත හැක. උතුරු ඉන්දියාව, පාකිස්ථානයේ උතුරු ප්‍රදේශ වල සේම අරාබි රටවල සහ අප්‍රිකානු වියලි ප්‍රදේශ වල ද මෙම ශාකය බහුල වශයෙන් ව්‍යාප්ත ව ඇත.අමුක්කරා ඉන්දියානු ප්‍රභේදයේ, මුල්වල පිටිමය ස්වභාවය අධිකය. ශ්‍රී ලාංකීය ප්‍රභේදය තත්තුමය ස්වභාවයකින් යුක්තය.
ප්‍රභේද වශයෙන් වණ්‍ය (වනගත) හා ග්‍රාම්‍ය (ගැමි) යන අමුක්කරා දෙවර්ගයක් ඇති අතර දෙවගය ම ඔසු පිණිස ගැනේ.
අමුක්කරා වල ප්‍රයෝජන කීපයකි.
1. ස්නායු උත්තේජක
2. පෝෂණ
3. වාජීකරණ
4. කායික රෝග සඳහා ඔසුවක් ලෙස ආදී වශයෙන් සිව් ආකාරයකින් මෙම පැළෑටිය වැදගත් වේ.
ස්නායු උත්තේජක ගුණය හේතුවෙන් වේදනා නැති කිරීමට ද නින්ද ඇති කිරීමටද කුසගිනි වැඩීමට ද හිතකරය. පෝෂණීය බැවින් අමුක්කරා ශරීරය පුෂ්ටිමත් කරයි. ශරීරය කාන්තිමත් කරයි. ලේ පිරිසුදු කරයි. මලබද්ධය නසයි. අකලට මහලු වීම හා ජරාවට පත්වීම වළකයි. වාජීකරණ ඔසුවක් ලෙස පුරුෂ ලිංගික දුර්වලතා පහසුවෙන් මඟහරවා ගත හැකිය.
එමෙන් ම ස්ත්‍රීන්ගේ වඳ භාවයට ප්‍රතිකාර කිරීමට ද වැදගත් ඔසුවකි. මානව දේහයේ ඇති සියලු ඉන්ද්‍රිය පද්ධති වල ඇතිවන ගැටලු සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ඔසුව වැදගත් මෙහෙයක් ඉටු කරයි. බාහිර ප්‍රයෝජ්‍යතාව ලෙස කෘෂිකාර්මික කටයුතු වල දී කෘමිනාශකයක් ලෙස ද වැදගත් වේ.ඉන්දියාවේ සහ ලංකාවේ භාවිත වන ආකාරයේ ද යම් යම් වෙනස්කම් දක්නට ඇත. ඉන්දියානු ආයුර්වේදයේ මෙම පැළෑටිය බොහෝ නිෂ්පාදිත ඔසුවලට යොදා ගනී.

ඒවා අරිෂ්ඨ, ආසව, අවලේහ, ඝෘත, ඵාණ්ඨ, ආදී නම් වලින් හැඳින්වෙන ඔසු කාණ්ඩවල දී අශ්වගන්ධා නමින් ම ද තවත් නොයෙක් වෙනත් ඔසුවල ද භාවිත කරයි. ශ්‍රී ලංකාවේ පැවැතෙන ආදී දේශීය වෙදකමේ ද මෙම ඔසුව භාවිතවන අතර බොහෝ ක්ෂායවල ප්‍රධාන සංඝටකයක් ලෙස භාවිත කර ඇත. බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය ‘අශ්වගන්ධාරිෂ්ඨය’ මෙය මූලික සංඝටකය කොට නිපදවන ලද්දකි. එයද පුරුෂ ලිංගික ශක්තිය වැඩීම සඳහා ආයුර්වේදය මඟින් නිර්දේශ කෙරේ.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක්ද තිබේ. එනම් ඉන්දියාවේ බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්නා සිසුනට අනුකලන වෛද්‍ය ක්‍රමය (Integrative Medicine) නම් විෂයන් ඉගැන්වෙන අතර එමඟින් අවශ්‍ය පරිදි දේශීය ශාක සාර ඖෂධ යොදා ගැනීමක් සම්බන්ධයෙන්ද එම සිසුන් දැනුවත් කෙරේ.
නිදසුනක් ලෙස කැස්ස, සෙම්ප්‍රතිශාව ආදී රෝග තත්ත්වයන් සඳහා දේශීය වෙදකමින් ගන්නා ශාක සාර ඖෂධ ප්‍රාථමික ප්‍රතිකාර ලෙස ගැනීම කෙරෙහි වෛද්‍ය සිසුන් දැනුවත් කරනු ලබයි. ඒ එම ඖෂධයන් හි ඇති රසායනික සංයෝගන්හි සාධනීය ගුණය පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ගැනීමෙන් පසුවය. එහෙත් අවාසනාවකට මෙන් අප රටේ බටහිර වෛද්‍ය විද්‍යාව සිසුනට ඉගැන්වීමේදී ආයුර්වේදය ඇතුළු දේශීය වෛද්‍ය ක්‍රම කෙරෙහි අවතක්සේරුවක් සිසුන්ගේ මනැස් තුළ ස්ථාපිත කෙරෙන අවස්ථා අපි අත්දැක ඇත්තෙමු. එය ඉතා කණගාටුදායක තත්ත්වයකි.
මෙම අමුක්කරා මුල් සහ අල වශයෙන් සේම කුඩු වශයෙන් ද මිලදී ගත හැකි අතර ඒවා බොහෝවිට ඉන්දියාවෙන් ආනයනය කරන ඒවාය.
විවිධ ආකාරයෙන් භාවිතයට ගත හැකි මෙම ඖෂධය කිරි සමඟ පානය කිරීමෙන් පුරුෂ ලිංගික ශක්තිය වැඩෙන බව විද්‍යාත්මකව තහවුරු වී ඇති සේම සායනික අත්දැකීම් වලදී අපටත් නොයෙක්වර තහවුරු වී තිබේ.
ආයුර්වේද වෛද්‍ය ආචාර්ය ආර්.ඒ.ආර්.පී.සුසන්ත (PhD)
උපුටාගැනීම ලක්බිම