දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ පාතාලයට බියෙන් පාතාලයකුගේ විවාහ මංගල්‍යයක් පැවැත් වූයේ පසුගිය සතියේ ය.
පල්ලියේ දේව මංගල්‍යයේ සිට විවාහ උත්සවය පැවැත්වෙනතුරුම දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දෙන්නටද මධුසමය පවා ආරක්ෂාව මැද ගෙවන්නටද කටයුතු කෙරෙන්නේ පොලිස් මූලස්ථානයෙන්ම නිකුත් කළ නියෝග මතය.
පොලිස් ස්ථාන පහකින් ආරක්ෂාව ලැබෙද්දී මංගල රියට ඩිෆෙන්ඩර් රථ දෙකක්, ලෑන්ඩ් කෘෂර් ජීප් රථයක් හා පොලිස් යතුරුපැදි දෙකකින්ද ආරක්ෂාව සපයා දී තිබුණේය.
මේ කියන විවාහ මංගල්‍යය පැවැත් වූයේ ඉකුත් බදාදා (25) ය. මෙදින මෝදර, මට්ටක්කුලිය, බ්ලූමැන්ඩල්, වත්තල පොලිස් ස්ථානවලටද පෑලියගොඩ පොලිස් ලොක්කන්ටද විශේෂ රාජකාරිය වී තිබුණේ මෙම මංගල්‍යයට ආරක්ෂාව සැපයීමය.
මේ සියල්ල සිදුවන්නේ ඉන්දියාවේ චිත්‍රපටවල ඇති ජවනිකාවක් ලෙසය. මේ ආකාරයට පොලිස් ආරක්ෂාවක් මැද සිදු වූ විවාහ මංගල්‍යයට මෙතරම් ආරක්ෂාවක් සැපයෙන්නේ පොලිස් බුද්ධි අංශ වාර්තාවක් මුල් කරගෙනය. පොලිස්පතිවරයා යටතේ ජුවම ක්‍රියාත්මක වන මෙකී බුද්ධි අංශය වාර්තා කර තිබුණේ විවාහ උත්සවයට පාතාලයේ ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ගැනය.
මනමාල පාර්ශ්වය හා මෝදර පාතාල නායකයා වන වැල්‍ලේ සුරංග අතර ඇති වූ පාතාල ගැටුමක් දුරදිග යාමේ අවදානමක් ගැන බුද්ධි අංශ වෙත තොරතුරු ලැබි තිබිණි.
මෝදර වැල්‍ලේ බළකොටුවක් ලෙස පවත්වා ගනිමින් පාතාල බලය පෙන්වන වැල්‍ලේ සුරංග මේ වන විටත් සිටින්නේ පාතාල මර්දන ඒකකවලට කට්ටි පනිමිනි. මෑතකදී පාතාල මර්දන ඒකක වැල්‍ලේ සුරංග කොටු කරන්නට ගිය මොහොතේ බෝට්ටුවක නැගී මුහුදු මාර්ගයෙන් පැනගොස් තිබුණේය. බෝට්ටුවලින් වැල්‍ලේ සුරංග හඹා ගියද පාතාල මර්දන ඒකක අතින් ඉලක්කය ගිලිහී ගියේ ය.
තමන් කොයි මොහොතේ හෝ කොටුවෙන්නට හෝ පාතාල මර්දන ඒකකවල උණ්ඩයකට නතු වේ යැයි බියෙන් වැල්‍ලේ සුරංග පසුගිය කාල සීමාවේ සැඟවුණු චරිතයක් වී සිටියේ ය.
තමන් කොටුවෙන්නට පෙර තමාට අභියෝගයක් වීමට හැකි ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට පහර දී අධිකරණයට භාර වීමට මෝදර වැල්‍ලේ සුරංග සූදානම් වන බව බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය විය.
මෙම බුද්ධි තොරතුරුට අනුව වැල්‍ලේ සුරංගගේ සූදානම වී තිබුණේ ප්‍රතිවිරුද්ධ කල්ලිය අවසන් කර භාර වීමය.
වැල්‍ලේ සුරංගගේ ඉලක්ක වී තිබුණේ මෝදර සුරංග හා වැල්‍ලේ ප්‍රදීප්වය. මේ දෙදෙනාම වැල්‍ලේ සුරංග සමග එකට සිටි මත්ද්‍රව්‍ය ජාවාරමට නම තැබූවන්ය.
වැල්‍ලේ සුරංග මත්ද්‍රව්‍ය ජාවාරම නිසා උපයාගත් මුදල් බලයෙන් තමා වටා පාතාල බලය ගොඩනගා ගත්තේ කෙටි කාලයකදීය. මෝදර වැල්‍ලේ සුරංගගේ බළකොටුවට ගොස් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසියටවත් ඉඩක්නැත. මෝදර වැල්‍ලේ අත්අඩංගුවට ගැනීමත් සඳහා යන ජීප් රථ පවා වටකරන්නට කලක් වැල්‍ලේ සුරංග ක්‍රියාකර තිබුණ ද කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස ලයනල් ගුණතිලක මහතා පත් වී පැමිණීමත් සමග වැල්‍ලේ සුරංගගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය.
මෝදර වැල්‍ලේ මිනිසුන් වැල්‍ලේ සුරංග වටා අකැමැත්තෙන් පවා එක් වී සිටින්නේ වැල්‍ලේ මිනිසුන්ගේ දුකේදීත්, සැපේදීත් අත දිගහැර වියදම් කරන්නට සුරංග කටයුතු කරන නිසාය. මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියාවල නිරත වන්නන්ගේ ස්වභාවය එසේය. සියලු දෙනාට අතදිගහැර වියදම් කර තමන්ට හිතවත් කරගන්නට තරම් ඔවුන් උපක්‍රමශීලීය.
මෝදර වැල්‍ලේ සුරංග තම බල ප්‍රදේශයත්, මාලිගාවත්ත පාතාලයේ බළකොටුව මෙන් කරගන්නට සිහින මැවු පාතාලයෙක් විය.
මාලිගාවත්තේ සියලු දෙනා කලක් යටත්ව සිටියේ ඇපල් වත්තේ මාමාස්මි නමැති පාතාල නායකයාගේ ශරියා නීතියටය. එදා මාමාස්මිගේ මව නඩු ඇසුවේ නඩුකාරියක ලෙසය. මාමාස්මිට එරෙහිව ඔත්තු බලන්නට ආ බව කියමින් යුද හමුදාවේ සේවය කළ සිවිල් සේවකයකු කෑලිවලට කපා ඇළට දමා තිබුණේ ය. මාමාස්මිගේ බලපරාක්‍රමය අවසන් වූයේ පොලිස් විශේෂ කාර්ය බළකාය අතින් මාමාස්මි වෙඩි කා මැරුණු පසුවය.
එදා මාමාස්මි මාලිගාවත්තේ ක්‍රියාත්මක කළ පාතාල උසාවිය වැල්‍ලේ සුරංගත්, මෝදර වැල්‍ලේ ක්‍රියාත්මක කළේ ය. රටේ පවතින නීතිය සුරංගට අදාළ වූයේ නැත. කිසිදු අයකුට වැල්‍ලේ ජීවත්වන්නට ඕනෑ නම් පොලිසියට පැමිණිලි කිරීමට ඉඩ ලැබුණේ ද නැත. පොලිසිය වෙනුවට වැල්‍ලේ මිනිසුන්ගේ නඩු විසඳුවේ වැල්‍ලේ සුරංගය. සුරංග වටා ආවතේවකරන්නට පාතාලයේ ගැත්තන් වූ හැඩි දැඩි තරුණයන් විසි දෙනකු පමණ නිතරම ළඟ රැඳීසිටියේ ය. කෙසඟ සිරුරකින් යුත් වැල්‍ලේ සුරංගගේ අත සෝදන්නට, අත පිසදමන්නට පවා හැඩිදැඩි ගෝලබාලයන් පාතාල බලය වටා රැඳී සිටියේ ය.
මෝදර වැල්‍ලේ පාතාලය රජ කෙරවූ වැල්‍ලේ සුරංගගේ කණ්ඩායම දෙකඩ වී යන්නේ මෝදර සාරංග හා වැල්‍ලේ ප්‍රදීප් දෙකඩ වීමත් සමගය. මේ සියලු දෙනා එකට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවන්ය.
පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසින් පෙනී සිටි මාලිගාවත්තේ කුඩු ලාල් යටතේ සිටි රූබන් නමැති ප්‍රංශයේ සිටින මත්කුඩු හා කේරළ ගංජා බෙදා හරින ප්‍රධාන ජාවාරම්කරුගේ ලංකාවේ මෙහෙයුම් කරන්නේ සාරංගය. කුඩු බෙදාහැරීමේ ප්‍රශ්නයක් නිසා සාරංගව මෝදර වැල්‍ලේ දණ ගැස්වීමට වැල්‍ලේ සුරංග කටයුතු කිරීමත් සමග මෝදර වැල්‍ලේ කුඩු පාතාලය දෙකඩ වූයේ ය.
ඉන්පසුව සාරංග හා සුරංග අතර ගැටුම දුරදිග ගොස් සාරංග කොට ගාමිණීගේ නිවසක නවත්වන්නේ කොට කුමාර හා රිම්සාන් යන පාතාලයන් දෙදෙනා විසිනි. සාරංග කොයි මොහොතේ හෝ තමාට එරෙහිව නැගිටින බවට ඇති බිය නිසා වැල්‍ලේ සුරංග තම රැකවල් වැඩි කරගෙන සාරංග වඩා ඉක්මන් වීමට සැලසුම් යෙදුවේය.
ඉන්පසුව මෝදර පාතාලය යළි දෙකඩ වී වැල්‍ලේ ප්‍රදීප්ද, වැල්‍ලේ සුරංග සමග ගැටුමකට මුල පිරෙන්නේය. වැල්‍ලේ සුරංග වැල්‍ලේ ප්‍රදීප්ව මෝදරින් පලවා හැරීමත් සමග ප්‍රදීප් පවුලේ අය සමග නවාතැන් ගන්නේ මට්ටක්කුලිය අලිවත්තේ බිල්ඩර් ක්‍රිෂාන්තගේ නිවසේය. බිල්ඩර් ක්‍රිෂාන්තන් ප්‍රබල පාතාල චරිතයකි. පසුගිය රජය සමයේ සුදුවෑන් කල්ලියකින් බිල්ඩර් ක්‍රිෂාන්ත පැහැර ගැනීමත් සමග ඔහු අතුරුදන් වූ චරිතයක් වූයේ ය. ප්‍රදීප් අලිවත්තේ බිල්ඩර් ක්‍රිෂාන්තගේ නිවසේ නවාතැන් ගන්නේ වැල්‍ලේ සුරංගට පාඩමක් උගන්වන්නටය.
වැල්‍ලේ සුරංග තමා සමග ගැටෙන්නට එන ප්‍රදීප්ට එරෙහි සටනේ දී ඩුබායි සිටින මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ සහාය පතන්නේය. ඩුබායි මධුෂ්ව වැල්‍ලේ සුරංගට සම්බන්ධ කරන්නේ අංගොඩ ලොක්කාගේ හිවත්කමටය. අංගොඩ ලොක්කා හා වැල්‍ලේ සුරංග සබඳකම් අරඹන්නේ සෆාරි සමන්ත නමැති ප්‍රින්ස් කොලම්ගේ රියැදුරු මගිනි. පාතාලයේ සිටි ප්‍රබල නායකයකු වු ප්‍රින්ස් කොලම් පාතාල බලයෙන් ඉපයූ රත්තරන් ඇතුළු වත්කම් භාරව සිටියේ සෆාරි සමන්තය.
මෙකී හිතවත්කම් හරහා අඳුනාගන්නා මාකඳුරේ මධුෂ්ගේ සහාය පතන වැල්‍ලේ සුරංගට මාතර ලොක්කා හරහා කුඩු විකුණන ජාවාරමටද සම්බන්ධ වුයේ ය. මාතර ලොක්කාගේ කොළඹ කුඩු ජාලය මෙහෙය වූයේ වැල්‍ලේ සුරංගය.
වැල්‍ලේ සුරංගට ප්‍රදීප්ට එරෙහි සටනේ දී මාකඳුරේ මධුෂ්ගේ සහාය පතද්දී මහරගම ප්‍රකාශ් මෝදරට පිටත්කර යවන්නේය. මහරගම ප්‍රකාශ් වැල්‍ලේ ප්‍රදීප් සොයාගෙන අලිවත්තට ගොස් ඉමෝ තාක්ෂණයෙන් අරන් දුන් දුරකථන ඇමතුමට කතා කරන්නේ මධුෂ්ගේ ප්‍රබලයා වූ මාතර ලොක්කාය. මාතර ලොක්කා යනු කළුතර, එතනමඩල දී කඩුවෙල සමයං ඝාතනයට මධුස් දකුණේ සිට යැවූ වෙඩික්කරුවෙකි. වැල්‍ලේ සුරංග සමග තිබෙන ආරවුල නවත්වන්නට නොහැකි නම් මරාදමන බවට මාකඳුරේ මධුෂ්ගේ පණිවුඩය ඉමෝ ඇමතුම හරහා ලබා දීමට මාතර ලොක්කා දෙන්නේ වැල්‍ලේ ප්‍රදීප්ටය.
මෙවන් අර්බුද මැද කාලය ගවෛද්දී වැල්‍ලේ ප්‍රදීප් හා වැල්‍ලේ සුරංග අවුල අළුයට ගිනි මෙන් ඇවිළෙමින් තිබිණි. වැල්‍ලේ ප්‍රදීප් සමග ඔහුගේ සොහොයුරා වූ වැල්‍ලේ අසිතද මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ අතර ඔවුන්ගේ ආධිපත්‍යයද සුරංගට ගැනීමට සැලසුම් සකස් විය.
වැල්‍ලේ සුරංග එකම තැනකදී ඉලක්ක රැසක් සපුරාගන්නට පෙරුම්පුරද්දී එයට අවස්ථාව උදාවන්නේ ප්‍රදීප්ගේ මල්ලි අලිවත්තේ අසිතගේ විවාහ දිනය සැලවීමත් සමගය.
මෙම විවාහ මංගල්‍යයට ප්‍රහාරයක් එල්ල කර ප්‍රදීප්, අසිත, සාරංග සියලු දෙනා අතවර කරන්නට වැල්‍ලේ සුරංග සැලසුම් කරන බවට පොලිස් බුද්ධි අංශවලට තොරතුරු ලැබෙන්නේ මේ අතරය.
අලිවත්ත මට්ටක්කුලියේ අංක 45/8බි නිවසේ පදිංචි අසිත චතුරංග නොහොත් අලිවත්තේ අසිතගේ විවාහය අප්‍රේල් 25 දා උදෑසන නවයේ සිට සවස 4.00 වනතුරුත් පැවැත්වෙන බවත්, විවාහයේ දෙවැනි දිනය අප්‍රේල් 28 දා සවස 4.00 සිට රාත්‍රී 11.00 දක්වාත් වත්තල පොලිස් වසමේ ඇලබඩවත්ත පාරේ සුමාරි හෝටලයේ පැවැත්වෙන බවට පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගත්තේය.
විවාහ මංගල්‍යය අප්‍රේල් 25 දා මට්ටක්කුලිය ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වෙන බවත්, බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණේ ය.
මෙම විවාහ මංගල්‍යය ඉලක්ක කරගෙන අප්‍රේල් 28 දා වත්තලදී ප්‍රහාරයක් එල්ල කරන්නට වැල්‍ලේ සුරංග සූදානම් වන බවට අසිතගේ පාර්ශ්වයට සැලවීමත් සමග ප්‍රති ප්‍රහාරයකට සූදානම් වන බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණේ ය.
මේ සියලු කාරණා සඳහන් කරමින් පොලිස් බුද්ධි අංශය පොලිස්පතිවරයාට යොමු කළ බුද්ධි වාර්තාවෙන් පාතාල ප්‍රභලයකුගේ විවාහ මංගල්‍යයකට ප්‍රහාරයක් එල්ල කිරීමට වැල්‍ලේ සුරංග පාර්ශ්වය සූදානම් වන බවත්, එය ආරංචි වීමත් සමග මනමාල පාර්ශ්වයද අවි ආයුධ සන්නද්ධව ප්‍රතිප්‍රහාරයකට සූදානම් වන බවත් මේ මොහොතේ ක්‍රියාත්මක වුවහොත් දෙපාර්ශ්වයේම පාතාල කල්ලි අවි ආයුධ සමග කොටුකරගත හැකි බවත් සියලු කාරණා සහිතව දන්වා යවා තිබිණි.
මේ අනුව අදාළ බුද්ධි වාර්තාව අනුව ගතයුතු පියවර ගැන පොලිස්පති කාර්යාලයෙන් යළිත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට හා කොළඹ උතුර පොලිස් කොට්ඨාසයටත්, කැලණිය කොට්ඨාසයටත් ඇතුළුව නියෝග ලැබෙන්නේ වහාම ආරක්ෂක විධිවිධාන සැපයීමටය.
තම පොලිස් වසම් තුළ කිසිදු පාතාල ක්‍රියාවක් සිදු නොවිය යුතු බවටද පොලිස් ස්ථාන වෙත නියෝග නිකුත් කෙරුණේය. පාතාලයේ යමෙක් තම පොලිස් බල ප්‍රදේශයේ මරණයට පත් වුවහොත් පොලිස් ස්ථානාධිපති හෝ කොට්ඨාස භාර පොලිස් අධිකාරී වගකිවයුතු බවට ඉහළින් නියෝග ලැබි තිබුණේය.
පොලිස් මූලස්ථානයෙන් නිකුත් කළ නියෝග සැලකිල්ලට ගෙන අවසානයේ පාතාලයේ අසිතගේ විවාහය විශේෂ ආරක්ෂක රැකවල් මැද සිදු කෙරුණේ මේ අකාරයටය.
මට්ටක්කුලියේ ශාන්ත මරියා දේවස්ථානයේ විවාහ මංගල්‍යය කටයුතු අතරතුර ආරක්ෂාව සැපයීම මට්ටක්කුලිය පොලිසියට පැවරී තිබුණේය. එම ආගමික කටයුතු සඳහා ආරක්ෂාව දීමට අමතරව මෝදර, මට්ටක්කුලිය, බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග ලැබි තිබුණේ වත්තල විවාහ මංගල්‍යය ශාලාවට යනතුරු ආරක්ෂාව ගැන වගකියන ලෙසටය.
විවාහය පැවැත්වෙන හා විවාහ යුවළ ගමන් ගන්නා ප්‍රදේශවල ආරක්ෂාව තර කරන ලෙසත්, මනමාලිය අදාළ පොලිස් වසම තුළ පදිංචි නම් ඇයටද ප්‍රහාරයක් එල්ල විය හැකි නිසා ආරක්ෂාව ගැන සොයා බලන ලෙසටත් පොලිස් නියෝග නිකුත් කර තිබිණි.
විවාහ මංගල්‍යය පැවැත්වෙන වත්තල සුමාරි හෝටලය අවට ආරක්ෂාවට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් හා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාස ඒකකයෙන් විශේෂ රාජකාරී සඳහා යොදවා තිබුණේය.
පාතාල ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ අප්‍රේල් 28 දා විවාහයේ කැන්දන් එන උත්සව දින බවට බුද්ධි අංශ අනතුරු හැඟවීමද පොලිස් ලොක්කන් බිය වී කල්තියාම පළමු දිනයේත්, විශේෂ ආරක්ෂාවක් යෙදවිය.
මෝදර සිට වත්තල දක්වා යන මනමාලයාගේ පෙජරෝ රථයට ආරක්ෂාව දීමට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් හා සංවිධානාත්මක අපරාධ ඒකකයෙන් ලෑන්ඩ් කෲෂර්, ඩිෆෙන්ඩර් ජීප් රථද, කොළඹ උතුර පොලිස් කොට්ඨාසයෙන් පොලිස් ඩිෆෙන්ඩර් රථයක්ද, පොලිස් අපරාධ කොට්ඨාසයෙන් යතුරු පැදි දෙකක් ද පැමිණ තිබුණේය.
වත්තල පොලිසියෙන් සුමාරි හෝටලයට එන අතරමග මාර්ග බාධක යොදවා හෝටලයටද ආරක්ෂාවක් සපයා තිබුණේය. මනමාලයා සමග වාහන විස්සක් පමණ විවාහයට පැමිණ තිබූ අතර, පොලිස් නිලධාරින් මනමාලයාගේ රථය පවා පරීක්ෂාවකට ලක් කළහ.
විවාහ මංගල්‍යය උත්සවය සවස 4.30 ට අවසන් වනතුරු දැඩි ආරක්ෂක රැකවල් මැද පැවතුණ අතර මට්ටක්කුලිය පාලම දක්වා යනතුරු වත්තල පොලිසිය මධුසමයට යන යුවළගේ ආරක්ෂාව බලා ගත්තේය.
ඉන්පසුව වත්තල පේරගසස් හෝටලයේ මධුසමයට පැමිණෙන යුවළට බුද්ධි අංශ හා සිවිල් ඇඳුමින් යෙදවූ පොලිස් කණ්ඩායම් ආරක්ෂාව සපයා තිබුණේ ය.
මෙම විවාහය පැවැත්වෙන මොහොතේ 28 දා රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු හඟවා පාතාලයන් කොටුකරගන්නට බුද්ධි අංශ යැවූ වාර්තාව පොලිස් ලොක්කන් යොදා ගත්තේ පාතාලයේ කෙරුමකුගේ විවාහයට ආරක්ෂාවක් සපයන්නටය. තමන්ගේ බල ප්‍රදේශයේ සිද්ධියක් ඇති නොවීමට කටයුතු කළ සියලු දෙනාට දැන් යළිත් පොලිස් මූලස්ථානයට උත්තර බඳින්නට සිදු වී ඇත්තේ ය.
ඒ පොලිස් ආරක්ෂාව මැද විවාහය පවත්වන සමාජ ජාලා ඔස්සේ මාතෘකාවක් බවට පත් වීමත් සමගය.
මහජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකිව තිබූ පාතාල කණ්ඩායමේ ප්‍රහාරය නැවත්වීමට හා ප්‍රතිප්‍රහාර දැක්වීමට සූදානම් වූ මනමාල පාර්ශ්වයේ අවි ආයුධ බුද්ධි මෙහෙයුමකින් කොටු කරන්නට අවකාශ තිබියදී රටටම පෙනෙන්නට පොලිස් ආරක්ෂාව සපයමින් නැටූ පොලිස් නාඩගම දැන් පොඩ්ඩන්ගේ කරමතින් යවන්නට වන වගක් පැහැදිලි ය.
පාතාලය සමග සබඳකම් පවත්වමින් ආරක්ෂාවක් දීමට බියෙන් සිටි පොලිස් නිලධාරින්ටද ඉහළින් ලද නියෝග පාදක කරගෙන පාතාලයට ආරක්ෂාව සපයන්නටත්, විවාහ මංගල්‍යයට සහභාගි වන්නටත් හැකි වූ වගද දැන් කියවෙන්නේ ය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
උපුටා ගැනීම රිවිර පුවත්පත