පසුගිය පෙබරවාරි 24වෙනිදා මිය ගිය සුරූපී බොලිවුඞ් නිළි ශ‍්‍රී දේවි කපූර් පිළිබඳ මතකය ආවර්ජනය කරමින් ඇගේ වැඩිමහල් දියණිය ජාන්වී කපූර් සිය ට්විටර් ගිණුමේ අනුවේදනීය සටහනක් තබා තිබුණේ මාර්තු මස තුන් වනදා ය. ඒ ශ‍්‍රී දේවිගේ මරණයෙන් දින දහයක් ගත වූ තැන උදා වූ ජාන්වීගේ 21වන උපන්දිනය දවසේදීය.
බොනී කපූර් සහ ශ‍්‍රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්වී උපත ලැබුවේ 1997වසරේ මාර්තු 6වන දා මුම්බායේදීය. ඒ වනවිට ඇයට සිය පියාගේ පළමු විවාහයෙන් අර්ජුන් කපූර් නමින් සහෝදරයෙක් සහ අන්ෂුලා කපූර් නමින් සහෝදරියක් සිටි අතර අර්ජුන් කපූර් වර්තමානයේ බොලිවුඩයේ සුපිරි නළුවෙකි.
ධිරුබානි අම්බානි ජාත්‍යන්තර පාසලෙන් මූලික අධ්‍යාපය ලැබූ ජාන්වී ඉන්පසු උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටා ඇති ලී ස්ට‍්‍රැස්බර්ඞ් තියටර් සිනමා පාසලට ඇතුළු වූවාය. මේ විට ඇය සිනමාව පිළිබඳ උපාධියද ලබා සිටින අතර ඇගේ පළමු සිනමා අත්දැකීම Dhadak නමින් එළඹෙන ජුනි මස 6වන දා ප‍්‍රදර්ශනය සඳහා සූදානම්ව තිබේ.
මව සහ පියා බොලිවුඞ් සිනමාවට නැතිවම බැරි යුවළක් වුවද මුල් කාලයේදී ඇයට සිනමාවට පිවිසීම සඳහා එතරම් උනන්දුවක් තිබුණේ නැත. එයට හේතු වූයේ මව සහ පියා මෙන් අධික කාර්යබහුල සහ වෙහෙසකර ජීවිතයක් ගත කිරීමට තිබූ අකමැත්ත නිසාය. නමුත් සිනමාව පිළිබඳ මව සහ පියාගෙන් යම් යම් දේ ඉගෙන ගැනීමත් සමග ඇයට රංගනයට පිවිසීම සඳහා කැමැත්තක් ඇති වෙන්නට පටන් ගෙන තිබිණි. නමුත් සිය දියණියන් දෙදෙනා බොලිවුඞ් සිනමාවට යොමු කරවීම සඳහා ඇගේ මවගේ කිසිදු කැමැත්තක් තිබුණේ නැත.

ජාන්වී තුළ රංගනයට එක් වීමට තිබූ කැමැත්ත නිසාම ශ‍්‍රී දේවිය ඇයට එක් චිත‍්‍රපටයක රංගන අවස්ථාවක් සඳහා පමණක් අවසරය ලබා දී තිබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇය සිය කුළුඳුල් චිත‍්‍රපටය ලෙස ශෂංක් කයිටාන් අධ්‍යක්ෂණය කළ Dhadak හි ප‍්‍රධාන චරිතය වූ පාරි සඳහා පණ පෙව්වාය. ධඩක් යනු මරාති චිත‍්‍රපටයක් වූ සයිරාත් හි හින්දි පිටපතයි. එහි ජාන්වී සමගින් 22හැවිරිදි ඉෂාන් කටර් ප‍්‍රධාන චරිතය ර`ගපානු ලබයි.
2014වසරේදීද ඇයට රංගනයට එක්වීම සඳහා ආරාධනයක් ලැබුණි. ඒ දකුණු ඉන්දියානු කඩවසම් නළු මහේෂ් බාසු සමග ප‍්‍රධාන චරිතයක් ර`ගපානු සඳහාය. නමුත් ජාන්වී විසින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර කියා තිබුණේ සිනමාව සහ රංගනය පිළිබඳ හොඳ අවබෝධයකින් පසු රංගනයට එක්වනු මිස එසේ නොමැතිව රංගනයට පිවිසීමට තමන්ගේ කිසිදු කැමැත්තක් නැති බවයි.
ඒ අනුව ඇය රංගනයට පිවිසීම සඳහා සිනමාව පිළිබඳ උපාධි අධ්‍යයන කටයුතු අවසන් කරන තුරු ඉවසා සිටියාය. ජාන්වීගේ රංගන කෞෂල්‍යය දැකීමට මහත් වූ ආශාවෙන් සිටි ශ‍්‍රී දේවියට කිසිදා සිය දියණිය ර`ගපෑ චිත‍්‍රපටයක් දකින්නට අවස්ථාවක් ලැබුණේ නැත.
දෙමාපියන්ගේ ප‍්‍රසිද්ධිය නිසාම ජාන්වීට මාධ්‍යයෙන් ගැලවී සිටින්නට අවස්ථාවක් උදා වී නැති ආකාරයක් මේ වනවිට පෙනෙන්නට තිබේ. එයට හේතුව මේ වනවිටත් ඇයගේ නම ඈඳුණු නළුවෙකු පිළිබඳව කතාවක් ක්ෂේත‍්‍රය පුරා පැතිර යන්නට පටන් ගෙන ඇති බැවිනි. අක්ෂාත් රන්ජන් නම් වූ මෙම රංගන ශිල්පියා සහ ජාන්වී අතර පේ‍්‍රම සම්බන්ධයක් පවතින බවට කතාවක් පැතිරෙන්නට පටන් ගත්තේ ඇය ධඩක් හි ර`ගපාන්නට පටන් ගත් කාලයේ සිට ය.
ඇය සමග දර්ශන තලයට පැමිණෙන අක්ෂාත් ඉතා ආදරණීය ආකාරයට ඇගෙන් සමුගෙන ගොස් රූගත කිරීම් අවසන් වූ පසු නැවත පැමිණ ඇය සමග පිටව යන ආකාරය පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ‍්‍රී දේවිගේ මරණය සිදු වෙන්නටද පෙර සිට ය. ඉන්දියානු සිනමා මාධ්‍ය පවසන්නේ අක්ෂාත් සහ ජාන්වී අතර පේ‍්‍රම සබඳතාවක් පැවැති බවත් එයට දෙපාර්ශ්වයේම මාපියන්ගේ කැමැත්ත ලැබී තිබූ බවත්ය.
ඒ කෙසේ වුවද රංගනය පිළිබඳ විචාරක අදහස වන්නේ ජාන්වී යනු ශ‍්‍රී දේවිය මෙන් ආදරණීය චරිතවලට පමණක් සීමා කළ නොහැකි ආකාරයේ රංගන ශිල්පිණියක බවකි. එනම් ජාන්වීගේ මුහුණේ ඉරියව් සහ ඇගේ පෙනුම අනුවත් ඇගේ රංගන කුසලතාව අනුවත් ඇයට චරිතාංග නිළියකගේ ලක්ෂණ ඇති බව ඔවුන්ගේ මතයයි. ඒ අනුව ජාන්වීට බොලිවුඞ් සිනමාවේ ඉතා දිගු දුරක් යන්නට අවස්ථාව ඇති බවත් එය බොහෝ නිළියන්ට නැති කුසලතාවක් බවත් විචාරක අදහස වී තිබේ.