රටේ වර්තමාන තත්වය සහ ඒ සදහා ගත් ක්‍රියා මාර්ග ගැන අගමැති රනිල් වික්‍රමසිංහ ගත් තීරනය ගැන facebook සටහනක් සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමෙහි පල කර තිබුණි.එය මෙසේයි
ඊයේ සවස ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වූ අතර එහිදී සාමාන්‍ය ජනජීවිතය කිසිදු බාධාවකින් තොරව ගෙනයාමට අවශ්‍ය වටපිටාව සකස් කරන ලෙසටත්, කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත්, ඕනෑම ආකාරයක නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට සූදානම්ව සිටින ලෙසටත් එහිදී ආරක්ෂක ප්‍රධානීන්ට හා පොලීසියට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.
මෙම සියලු ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් රජයක් වශයෙන් අප තරයේ හෙලා දකිනවා. වගකිව යුතු රජයක් වශයෙන් මෙවැනි නීතිවිරෝධී හා ප්රචණ්ඩ ක්‍රියා අනුමත කිරීමට කිසිදු හැකියාවක් නැහැ. තිස් වසරක කුරිරු යුද්ධයකින් පීඩා විඳි රටක් වශයෙන් සාමයේ, එකමුතුකමේ හා නිදහසේ වටිනාකම අප සියලු දෙනා ඉතා හොඳින් දන්නවා. දේශපාලන බල තණ්හාවෙන් සිටින සමහර කොටස් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමට විවිධ උපක්‍රම, විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සැලසුම් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා.
ඔවුන්ගේ එකම තුරුම්පුව ජාතිවාදය ඇවිස්සීමයි. රට තුළ භීෂණය ඇති කොට ජන ජීවිතය කඩාකප්පල් කොට හෝ බලය ලබාගැනීම ඔවුන්ගේ එකම අරමුණයි. ජාතීන් අතර වෛරී හැඟීම් ඇති වන ආකාරයේ නොමඟ යවන සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම, විශේෂයෙන්ම සමාජ ජාලා හරහා විකෘති තොරතුරු පතුරුවා හැරීම වැනි ක්‍රියා සංවිධානාත්මකව සිදුවන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.
මේ රටේ බහුතරය සිංහල බෞද්ධයින්. සිංහල බෞද්ධයින් ලෙස අපි ඒ උරුමය ආරක්ෂා කරනවා. ඒ උරුමයට හෝ අයිතිවාසිකම්වලට හානියක්, තර්ජනයක් සිදුවී නැහැ. එසේ සිදු වීමට අපි ඉඩදෙන්නේ නැහැ. ශ්‍රී ලාංකිකයින් ලෙස වෙනත් ජාතීන් හා ආගම් මේ රටේ ජීවත් වෙනවා. සියලු ජාතීන්ට හා ආගම්වලට කිසිම හිරිහැරයක් නැතිව තමන්ගේ සංස්කෘතිය භුක්ති විදීමටත්, ආගම ඇදහීමටත් අයිතියක් තිබෙනවා. මෙය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සිට ශ්‍රී ලාංකික සංකල්පයයි. අපි එය ආරක්ෂා කරනවා.
ජාතිවාදය මතින් තම අරමුණු ඉටුකරගැනීමට මාන බලන දේශද්‍රෝහීන්ගේ ගොදුරු බවට පත් නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස රටේ සියලුම ජනතාවගෙන් මා අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා.
